Sinead O’Connor ‘gave us strength’, says Magdalene laundry survivor

A woman who suffered abuse in one of the same institutions as Sinead O’Connor said the singer ‘made Ireland a different place

කතෝලික පල්ලි තුළ සිදුවන ළමා අපචාර පිළිබඳ වර්තමානයේ බෙහෙවින් සාකච්ඡාවට භාජනය වුවද ඒ සඳහා පැමිණි ගමන කිසිසේත්ම පහසු ගමණක් නොවේ. සියවස් ගණනක  පල්ලිය සහ රාජ්‍යය අතර අන්‍යොන්‍ය සම්බන්ධයක පැවති කාල සීමාවේ මේ කරුණ සාකච්ඡා කිරීම පවා සිහිනයක් විය. නුමුත් පල්ලිය හා රාජ්‍ය අතර පැවති සමාජ ආර්ථික හා දේශපාලනික සම්බන්ධය ඉරිතලායාමත් සමඟ ඒ පැල්මවල් තුළින් පල්ලියේ අඳුරු මර්ධිත සත්‍යයන් මදින් මද මතුවීමට පටනු ගැනුනි. මුල් වරට පල්ලි තුළ සිදුවන ළමා අපචාර සම්බන්ධයෙන් කරුණු වාර්තා වීමට පටන් ගැනෙන්නේ 1950 පමණය. එහෙත් ඒ පිළිබඳව විශාල අවධානයක් යොමුවන්නේ නැත.

පළමුවරට ළමා අපචාර සම්බන්ධයෙන් මාධ්‍ය අවධානය යොමුවන්නේ 1980 දී පමණ ඇමෙරිකානු හා කැනඩාවේ පල්ලි තුළසිදුවූ ළමා අපචාර සිදුවීම් සම්බන්ධයෙන්ය. නුමුත් මේ පිළිබඳව වඩාත් සමාජ අවධානය යොමුවන්නේ අනූව දශකයේදී ලෝකයේ විවිධ ප්‍රදේශවලින් ළමා අපචාර සිදුවීම් වාර්තාවීමට පටන්ගැනීමත් සමගය. මෙහිදී විශේෂයෙන් අයර්ලන්තයේ වාර්තාවූ සිදුවීම් ලෝකයේ විශාල අවධානයක් දිනා ගත්තේය. එමෙන්ම ඇමෙරිකාවේ බොස්ටන් ග්ලෝබ් පුවතපත විසින් සිදුකරණලද නිර්භිත ගවේශනාත්මක වාර්තාකරණය හරහා එළිදරව්වූ පල්ලියේ අවිචාරමත් ක්‍රියාකලාපය ලොව වටා මෙවන් අපචාරවලට ගොදුරුවූ පුද්ගලයන්හට ඉදිරියට පැමිණීමට අවකාශ විවිර කලේය. 2004 වසරේ පළවූ වාර්තාවකට අනුව පසුගිය පනස්වසරක කාලය තුළ ඇමෙරිකාවේ රෝමානු කතෝලික පූජකවරු 4000ට පමණ ලිංගික අපචාර චෝදනා එල්ලවී ඇත. මේ අපචාරවලට භාජනයවූ ළමුන්ගේ සංඛාව 10000 පමණ වන අතර බහුතරයක් පිරිමි ළමයින්ය. එමෙන්ම ඔස්ට්‍රේලියාවේ 2017 වසරේ එළිදැක්වූ පස්වසරක් පුරා සිදුකරන ලැබූ පර්යේෂණ වාර්තාවකින් දශක ගණනාවක් පුරා දස දහස් ගණනක් ළමුන් ඔස්ට්‍රේලියාවේ පල්ලි තුළ, පාසැල් තුළ සහ ක්‍රීඩා සමාජ තුළ නිරන්තරයෙන් ලිංගික අපචාරයන්ට ගොදුරුවන බව සොයා ගැනුනි.

ළමුන්ට සිදුවන අනෙකුත් ශාරීරික හිංසන අතරින් ලිංගික හිංසන වෙනස්වන්නේ එමගින් ඇතිවන කායික බලපෑම් ක්‍රමයෙන් සුවවුවද එයින් ඇතිවන මානසික බලපෑම් මුළු ජීවිත කාලය පුරාවට නොනැසී පවතින නිසාය. යමෙකුගේ ලිංගිකත්වය ඹහුගේ හෝ ඇයගේ මානසික ජීවිතය ව්‍යුහගතකරන ප්‍රධානතම සාධකයක්වන හෙයින් විශේෂයෙන් ළමා කාලයේ සිදුවන ලිංගික හිංසන අනාගත මානසික ජීවිතය වෙත එල්ලකරන බලපෑම ඉතාම සංකීර්ණය. මෙය හුදෙක් පසු කාලීනව සමාජ ජීවිතයෙහි අත්කරගන්නා සාර්ථකත්වයන් හරහා සරලව මකා දැමිය හැකි නොහැකිය. සමාජ ජීවිතයේ සාර්ථකත්වයන් පුද්ගලික ජීවිතයේ අදුරු ක්ෂතීන් පළවා නොහරින බවට ජීවමාන උදාහරණයක් ජනප්‍රිය ගායිකා ශෙනේඩ් ඕ කෝනර් සපයයි.

A floral wreath designed by Karen Kehoe, on behalf of victims of abuse in Ireland, placed outside Sinead O’Connor’s former home in Bray, Co Wicklow (Liam McBurney/PA)

1990 වසරේදී ප්‍රින්ස් විසින් නිර්මාණය කරන ලද නතින්ස් කම්පෙයාර්ස්  ටු යු ගීතය ගායනා කිරීමෙන් ලෝකය පුරා ජනප්‍රියත්වයට පත්වූ ශෙනෙඩ් ඕ කෝනර් තමන්ගේ අති සාර්ථක වෘත්තීය සංගීත දිවිය හදිසියේ කඩාකප්පල් කරගත්තේ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කිරීමෙනි. 1992 වසරේදී ඇමෙරිකානු ජනප්‍රිය සජීවි රෑපවාහිනී වැඩසටහනක්වන සැටර්ඩේ නයිට් ලයිවි අතරතුර II වන ජෝන් පෝල් පාප්තුමාගේ ඡායාරූපයක් ඉරා දැම්මේය. ඇයගේ විරෝධය එල්ලවුයේ කතෝලික පල්ලිය එයට එල්ලවූ  ලිංගික අතවර පිළිබඳ ක්‍රියාකල ආකාරය පිළිබඳවය. සමාජයේ දරුණු විරෝධයකට ලක්වුනු ශෙනෙඩ්ගේ මේ ක්‍රියාව එක් අතකින් ලාබ ජනප්‍රියත්වයක් වෙනුවෙන් කල දෙයක්, නොමේරූ විරෝධතාවයක් හා බහුතර ජනතාවකගේ ආගමික හැගීමි පිළිබඳ අසංවේදීවීමක් ලෙස අවතක්සේරුවට ලක්වුනු අතර තවත් අතකින් ශෙනෙඩ්ගේ අතාගත වෘත්තීය සංගීත ජීවිතයට නැවතීමේ තිත සළකුණු කලේය.

මේ සිදුවීමෙන් පසුව වුවද පල්ලිය සමඟ ඇයගේ පැවති දැඩි විවේචනාත්මක ගැටුම අවසානයකට පත්වූයේ නැත. එමෙන්ම ඇයගේ පුද්ගලික ජීවිතයද හැල හැප්පීම් රාශියක් හරහා ගමන් කලේය. ඇය සියදිවි නසාගැනීමේ මානසික අවපීඩනයෙන් පෙළෙන බවට මේ අතර වාර්තා විය. ඇයගේ ජීවිතයේ පැවති මෙම අර්බුදකාරීත්වයේ      ප්‍රහේලිකාරීත්වය ඇය විසින්ම විසදනු ලැබුවේ 2013 වසරේදී දෙනූ ලැබූ සම්මුඛ සාකච්ඡාවකිනි. එහිදී ඇය වසර පහළවක ළමයකුවී සිටිය දී සෙරකම් කිරීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වී ඇති බව හෙළිකලාය. එහි ප්‍රතිඵලයක් ලෙසට ඇයව අයර්ලන්තයේ ඩබ්ලින් නගරයේ පිහිටි පල්ලියේ කන්‍යා සොයුරියන් විසින් පවත්වාගන යනු ලබන ලොන්ඩරියකට යවන ලදි.

ඇය එම අත්දැකීම විස්තර කලේ මේ ආකාරයෙනි. මාව මගේ පියා මාස දහ අටකට පසු නිදහස් කර ගන්නා තෙක් මම එහි සිරවී සිටියා. ඒක බන්ධනාගාරයක් වගෙයි. එය තුළ සිරකල සිටි ගැහැණු ළමයින් දිනපතා හඩමින් පසුවුනා. අපිට අපගේ පවුල් දකින්න අවස්ථාවක් ළබා දුන්නේ නැහැ. අපි අපේ සාමාන්‍ය ජීවිතයෙන් කපා වෙන් කරල තිබ්බ. අපය ළමා වියක් තිබුනේ නැහැ. අපට කිව්වේ අප නරක මිනිස්සු නිසා මෙහෙම හිර කරල තිබෙනව කියලයි. සමහර ගැහැණු ළමයින් ගෙවල් වලදී දූෂණයට ලක්වී සිටියා. කවුරුවත් ඒ බව විශ්වාස කලේ නැහැ. එක ගැහැණු ළමයෙක් එතෙනට ගෙනල්ල තිබ්බේ ඇයගේ උකුල් ඇටයේ ගැටළුවක් තිබුණ නිසයි. ඇයගේ දෙමව්පියන්ට ඇයට කුමක් කළ යුතුදැයි තේරුමක් තිබුනේ නැහැ. ඉතින් ඇයව මෙතෙන්නට ගෙනල්ල තිබුණ. ශෙනෙඩ් පැවසුවේ ඇයට මාස දහ අටක් විදින්නට සිදුවූ මෙම අත්දැකීම පාප් වහන්සේගේ ඡායාරූපය ඉරා දැමීමට එක් හේතුවක්වු නු බවයි.

1993 වසරේ අගෝස්තු මාසයේ අයර්ලන්තයේ ඩබ්ලින් නගරයේ උතුරු පෙදෙසේ දී සමූහ මිනී වලකින් තරුණියන් 155 දෙනෙකුගේ සිරුරු සොයාගන්නා ලදි. මිනීවළ පිහිටා තිබී ඇත්තේ කලක් කතෝලික පල්ලියට හා සහෝදරියන්ගේ පුණ්‍යායතනයට අයත් දේපලකය. මෙම සමූහ මිනීවල සොයාගැනීමත් සමගම වසර 150ක් පමණ පැරණි රහසක් විවෘත විය.  මියගොස් සිටි සියලුම කාන්තාවන් කන්‍යා සොහොයුරියන් විසින් පවත්වාගෙන යනු ලැබූ මැග්ඩලීන් ලොන්ඩරියක සිටි අයයි. මෙම මැග්ඩරීන් ලොන්ඩරිවල ඉතිහාසය මධ්‍යතන යුගය දක්වා දිව යයි, මැග්ඩලීන් ලොන්ඩරී නම් කර ඇත්තේ ගලවාගත් ගණිකාවක් වන මේරි මැග්ඩලීන් නම් වූ යේසුස්ගේ අනුගාමිකයෙකුගේ නමිනි. පසුතැවිලි වන ගණිකාවන් සඳහා මැග්ඩලීන් කන්‍යාරාම මධ්‍යතන යුගයේ කතෝලික සභාව විසින් නිර්මාණය කරන ලදී. කෙසේවෙතත්, පසුව පල්ලියේ දැඩි ස්ත්‍රී සදාචාරය උල්ලංඝනය කළ බවට චෝදනා ලැබ සිටින කාන්තාවන් බලහත්කාරයෙන් කම්කරුවන්ලෙස සිරකරන කඳවුරුබවට මෙම ආයතන මාරු විය.

Magdalene Laundries in Ireland

1996 වන තෙක්ම රජය විසින් අනුමත කරන ලද වහල් ශ්‍රමය භාවිතා කරන සහ ලිංගික අපයෝජන සිදුවන ආයතන ව්‍යුහයක් ලෙසට මෙය ක්‍රියාත්මක විය. මෙම කාන්තාවන්ට වැටුප් නොගෙවන ලද අතර, ලොන්ඩරියේ සිටි කාලය තුළ පිළිසිඳ ගත් බවට චෝදනා ලැබ සිටින ඔවුන්ගේ දරුවන් ඔවුන්ගෙන් බලයෙන් ලබා ගන්නා ලදී. පසුව එලිදක්වන ළද සමිස්තරාත්මක වාර්තාවකට අනුව ඒවන විටත් කාන්තාවන් 10000ට අධික පුමාණයක් මේ තුළ මියගොස් තිබිණි. මැග්ඩලීන් ලොන්ඩරිය පිළිබද කතාව වූ කලි නොමඟ ගිය මූලධර්ම හා අසීමිත කෑදරකම විසින් මෙහෙයවන ලද බිඳුණු හා දූෂිත පද්ධතියක තුළින් අහිමි වූ අහිංසක ස්ත්‍රීත්වයේ දුෂ්කර හා හද කම්පා කරවන කතාන්තරයකි. බලධාරීන් “ආකල්පමය ගැටලු” ඇති තරුණ ගැහැණු ළමයින් මැග්ඩලීන් ලොන්ඩ්රීස් වෙත යවනු ලැබීය. ගැහැණු ළමයෙකු මැග්ඩලීන් රෙදි සෝදන යන්ත්‍රයකට යැවිය හැකි හේතු ලැයිස්තුවට සීමාවන් තිබුනේ නැත. අවිවාහක ගර්භනී තරුණියන්ට මේතුළ දඩුවම් නියම වූ අතර ඔවුන්ගේ ළදරුවන් දරුකමට හදා ගැනීම සඳහා ඔවුන් වැලපෙමින් සිටියදී වෙනත් අය වෙත බළයෙන් ළබා දෙන ලදි.

මෙම ආයතනතුළ ශාරීරික, ලිංගික හා චිත්තවේගීමය හිංසනය ඉතාමත් බලවත් ලෙස පැතිරී තිබුණී. දිවි ගලවා ගත් එක් අයෙක් සිහිපත් කරන්නේ මෙම ආයතනයට ඇයව ගෙනගිය දිනයට පසු දිනයේම  ඇයට ලිංගික අතවර සිදුවූ බවයි.  ස්ත්‍රී දූෂණය වාර්තා කිරීම සඳහා ඇගේ මව පොලිසියට කතා කළ අතර පොලිසිය පැමිණ දැරිය අත්අඩංගුවට ගෙන යලි ලොන්ඩරිය වෙතම යවනු ලැබිනි. අනෙක් වින්දිතයින්ට ද ඒ හා සමාන කරදරකාරී කථා ඇත. දූෂිත රාජ්‍යයක් සහ පල්ලියක් විසින් මෙහෙයවනු ලැබූ මෙම අසාධාරණ ආයතන පද්ධතිය හේතුවෙන් අහිංසක තරුණියන් දහස් ගණනක් මෙලොවින් අතුගා දැමිණි. බොහෝ දෙනෙක් දරිද්‍රතාවයෙන් පෙළෙන පරිසරයක දිවි ගෙවූ හෝ අනාථ වූවෝ වූහ. මැග්ඩලීන් රෙදි සෝදන ආයතනයකට ඇතුළු වූ පසු කන්‍යා සොහොයුරියන් ඔවුන්ගේ නම් වලින් කාන්තාවන් ඉවත් කර ඔවුන් තෝරාගත් වෙනත් නමක් ඔවුන්ට පවරන ලදී. වින්දිතයින්ට දිගු, දුෂ්කර පැය ගණනක් වැඩ කිරීමට සිදවූ අතර ඒ පිළිබදව නිශ්ශබ්දව සිටිය යුතු විය

මේ තුළ දඩුවම් ආකාරලෙස දරුණු පහරදීම් මෙන්ම දින ගණනක් වැසිකිලියක සිර කර තැබීම ද ඇතුළත් විය මෙම ආයතනවල ලිංගික අතවර සාමාන්‍ය සිදුවීමක් වූ අතර දිවි ගලවා ගත් අය වාර්තා කරන්නේ එවැනි සිදවීම්වලට විරෝධය දැක්වීම ඊටත් වඩා දරුණු දඩුවම් ලැබීමට හේතු වූ බවය. මැග්ඩලීන් ලොන්ඩරිවල සම්භවය පිළිබඳ රෙබෙකා ලී මැකාර්ති විසින් ලියනලද මේ පිළිබඳ පුසිද්ධ ග්‍රන්ථයේ මෙම ආයතන යුරෝපය පුරා බලාපොරොත්තුවේ නිවාසවල සිට බලාපොරොත්තු සුන් වූ සිරගෙවල් දක්වා පරිවර්තනය වූ ආකාරය විස්තර කර ඇත.  ඇය පවසන ආකාරයට මෙම තත්වය වෙනස් වීම ආරම්භ වන්නේ ගෝලීය ධනවාදයේ නැගීමත් සමඟ රෝමානු කතෝලික පල්ලියේ ආර්ථික ප්‍රතිපත්ති හා පාප්තුමාගේ අධිකාරිය වෙනස් වීමත් සමඟ ය.

‘I want an apology before I die’: The ‘wayward’ women abused by nuns in Ireland’s notorious Magdalene laundries who are still demanding justice more than two decades after the last one closed 

1996 දී අවසන් වරට මැග්ඩලීන් ආයතන වසා දමන විට අයර්ලන්ත කාන්තාවන් 30,000 කට ආසන්න සංඛ්‍යාවක් මෙම එක් ආයතනයක සේවය කළ බවට ගණන් බලා ඇත. කම්කරු නීති සහ ආරක්ෂණ ප්‍රමිතීන්ගෙන්. මෙම ආයතනවල සිටියදී කාන්තාවන් ආවරණය වූයේ නැත. ඔවුන්ගේ රැදවුම් කාලය අවසන් වූ පසු, ඔවුන්ව වීදිවලට ​​විසි කරන ලදී. දිවි ගලවා ගත් අය චෝදනා කරන්නේ උසාවි පද්ධති, ව්‍යාපාර, රජය සහ පල්ලිය අතර සම්බන්ධයක් ඇති බවත්, සෑම තරුණියකටම ලොන්ඩරීය වෙත යවනවිට එසේ යවනු ළැබූවන්ට මුදල් ත්‍යාග හිමිවූ බවත්ය. 1999 දී අයර්ලන්ත රජය මේවාට එරෙහිව නැගුනු මහජන පීඩනයට හිස නමා අයර්ලන්ත ආයතන තුළ ළමා අපයෝජන පිළිබඳව සොයා බැලීමේ අරමුණින් ළමා අපයෝජන පිළිබඳ විමර්ශනය කිරීමේ කොමිසම (CICA) නිර්මාණය කළේය. 2004 දී, ජස්ටිස් ෆෝ මැග්ඩලීන් නම් අයර්ලන්ත කණ්ඩායම මැග්ඩලීන් ආයතන පද්ධතියේ පීඩාකාරී ක්‍රමය යටතේ පීඩා විඳි සැමට යුක්තිය ඉල්ලා දිවි ගලවා ගත් අය සහ මියගිය අයගේ පවුල් එක්රැස් කිරීම ආරම්භ කළේය.

2009 දී රයන් වාර්තාව ලෙස හැඳින්වෙන කොමිසමේ පොදු සොයාගැනීම් අයර්ලන්ත ටයිම්ස් පුවත්පත විසින් “අයර්ලන්ත නිරයේ සිතියම” ලෙස ප්‍රකාශයට පත් කරන ලදී. මෙම ආයතන තුළ ළමුන්ට සළකා තිබුනේ වහලුන් හෝ රැදවියන් ලෙස කිසිම ආකාරයේ මානව අයිතිවාසිකමක් අත් නොවන ආකාරයටබව වාර්තාවේ සදහන් වේ. මේ හේතුවෙන් කතෝලික පල්ලිය විසින් පවත්වාගෙන යනු ලබන මෙම ආයතන යටතේ පීඩා විඳි දස දහස් ගණනකට සමාව අයැදීමට අයර්ලන්ත රජයට බල කෙරුණු අතර පසුව වින්දිතයින්ට ඩොලර් බිලියනයක වන්දියක් ගෙවීමට සිදුවිය. නුමුත් වින්දිතයන් පවසන්නේ රජය මේ හරහා සැබෑවටම මෙම ආයතන තුළ සිදුවූ දෙය සෙවීමට හා ඒ සදහා අනුග්‍රහය දැක්වූ සංකීර්ණ ව්‍යුහය වෙත අවධානය යොමු කිරීම පැහැර හැරීමකට ලක් කර ඇති බවය.

Maureen Sullivan was one of the thousands of women incarcerated in Magdalene laundries (Claudia Savage/PA).

මේ අතීතය මගින් අපට සිහිපත් කරන්නේ අපගේ සමාජය ළමයින්ට සහ බල රහිත පුද්ගලයින්ට කෙතරම් අනාරක්ෂිත ස්ථානයක් ද යන කාරණයයි. හිංසනය හා අපයෝජනය පවතින්නේ තනි හුදකලා ගැටළුකාරී පුද්ගලයකුගේ පුද්ගලික ක්‍රියාකාරීත්වයක් තුළ නොවේ. එය සමාජයේ පවතින බල සම්බන්ධතා භාවිතා කරමින්, පවතින අධිපති සංසකෘතික අදහස්වල ආවරණය ලබමින් සහ විවිධ පුද්ගලයින්ගේ ආර්ථික සමාජීය සහ මානසික අස්ථාවරත්වයන් සහ ආතතීන් උපක්‍රමශීලීව ප්‍රෙයාජනයට ගනිමින් ක්‍රියාකාරීවන සමාජ හිංසාකාරී පද්ධතියකි. මෙම පද්ධතිය කෙතරම් ශක්තිමත්ද යන්න අපට වැටහෙන්නේ යම් අපයෝජනයක් හෝ ලිංගික බලහත්කාරයක් සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත්කරන්නට යන විට සමාජයෙන් නැගෙන විරෝධතා, නිදහසට කරුණු දැක්වීම් සහ වින්දිතයාව චූදිතයා කරවීමට දක්වන මහත් උද්වේගය දකින විටය. මැග්ඩලීන් ලොන්ඩරි යනු අතීතයට එක්වූ තවත් එක් ඛේදවාචකයක් පමණක් නොවේ. එය අපගේ සමාජයේ අභ්‍යන්තරයේ සැගවී පවතින රුදුරු අදුරු කලාපයක හෙළිදරව්වූ එක් අවස්ථාවක් පමණි. අදුර තවම අප පසුපස නිරුපද්‍රතව විවිධ ස්වරෑපවලින් ඇත.  අප නිරන්තරයෙන් අවධිව සිටීමක් කොන්දේසි විරහිතව මේ හිංසාකාරී ව්‍යහයන්ට විරැද්ධව සටන් කිරීමත් අවශ්‍යවන්නේ එබැවිනි.

බුද්ධික බණ්ඩාර