විජයානන්ද ජයවීරගේ සංවිචාරණීය සමාජයක් කෘතිය තුළ සාකච්ඡාවට ලක්වන විකල්ප සංවාදයට දිගු ඉතිහාසයක් තිබේ. කතුවරයාම පෙන්වාදෙන ආකාරයට එහි මූලික සංකල්පවල ඉතිහාසය සමහරවිට වසර දහස් ගණනක් පිටුපසට දිවයයි. කෙසේ වෙතත්, විශේෂයෙන්, සංවර්ධනවාදයත්, එයට පසු නව ලිබරල්වාදයත් බලවත්වූ පසුගිය දශකවල මෙම සංකල්ප සහ භාවිතා බොහෝ විට සැලකුනේ පාර්ශවීය, ප්‍රයෝගික නොවන, විකල්ප හෝ රොමාන්තික අදහස් ලෙසටයි. නුමුත් මෙම තත්වය 60 දශකයේ සමාජ අරගල හරහා, බිම් මට්ටමේ ප්‍රජා මූල ක්‍රියාකාරකම් හරහා, ගෝලීයකරණ විරෝධී ව්‍යාපාර සහ ලෝක සමාජ සමුළුව හරහා සහ ලෝකය පුරා විසිරුණු විකල්ප හා සංසකෘතික සාමූහිකයන්ගේ භාවිතාවන් හරහා ක්‍රමිකව වෙනස් වෙමින් පැවති ආකාරය හදුනා ගත හැක.

කෙසේ නුමුත්මේ තත්වයේ සැළකිය යුතු පරිවර්තනයක් 2008 සිදුවූ මූල්‍ය අර්බුදයෙන් පසු සහ අරාබි වසන්තය, අත්පත් කරගැනීමේ ව්‍යාපාර වැනි සමාජ ව්‍යාපාරවල සහ අරගලවල පැනනැගීමෙන් පසු සළකුණු කිරීමට පුළුවන්. ඉන් පසු එතෙක් බොහෝ රටවල ප්‍රජා ව්‍යාපාර, විකල්ප දේශපාලනික කව, ස්වදේශීය ආර්ථික භාවිතා, සහ විකල්ප ආර්ථික අත්හදා බැලීම් තුළ සාකච්ඡා වුනු සහ භාවිතාවට ගැණුනු මෙම අදහස් ප්‍රධාන ධාරාව තුළ බරපතළව අවදානයට ලක්වීම දැකිය හැකියි. සංවිචාරණීය සමාජයක් කෘතිය මෙම විකල්ප ධාරාව පිළිබද ඓතිහාසික, සංකල්පීයමය සහ භාවිතාත්මක මානයන් ඇතුළත් කරගන්නා සාකල්‍යවාදි කියවීමකි.

ලංකාවට සාපේක්ෂව ගැනීමේදීත් මෙම විකල්ප සංවාදය ප්‍රධාන ධාරාවේ දක්ෂිණාංශික මෙන්ම වාමාංශික සංවාදය විසින් ආන්තික කෙරුණු සංවාදයක් ලෙස හදුනාගැනීමට හැකිය. විශේෂයෙන් ලංකාවේ ස්ථාපිත නව ලිබරල්වාදී සංවාදය තුළ වෙළඳපළ විරෝධී ලෙසත්, දක්ෂිණාංශික පනප්‍රියවාදී ජාතිකවාදී සංවාදය තුළ රාජ්‍ය නොවන සංවිධානවල අදහස් ලෙසත්, වාමාංශික ලෙනින්වාදී සංවාදය තුළ ප්‍රතිසංස්කරණ වාදයක් ලෙසත් වාමාංශික ජනප්‍රියවාදී සංවාදය තුළ අධිපති බල ව්‍යුහයන් අභිමුඛ නොකරන අදේශපාලණික භාවිතයක් ලෙසත් මෙම විකල්ප සංවාදය හදුනා ගැනුනි.

2008 ගෝලීය මූල්‍ය අර්බුදය විසින් හෝ අරාබි වසන්තය විසින් හෝ වොල් ස්ට්‍රීට් වැනි අත්පත් කරගැනීමේ ව්‍යාපාර හේතුවෙන් ගෝලීය දේශපාලන සංවාදයේ සිදුවූ වෙනස ලංකාවේ දේශපාලන සංවාදයට අදාලව ඒලෙසම බලපෑවේ නැත. ඒ සදහා ලංකාවේ දේශපාලන සංවාදයේ සුවිශේෂත්වයන් බලපෑවේය. උදාහරණයක් ලෙස අරාබි වසන්තය සම්බන්ධයෙන් ගතහොත් ලංකාවේ දක්ෂිණාංශික හා වාමාංශික සංවාදය තුළ පොදු විරෝධයක් බෙදා ගැනීම නිරීක්ෂණය කළ හැකියි.

සංවිචාරණීය සමාජයක් කෘතිය තුළ සාකච්ඡාවට ලක් කෙරෙන විකල්ප සංවාදයට ලංකාවේ ප්‍රධාන ධාරාවේ විකල්ප දේශපාලන කතිකාව තුළ අවධානය යොමුවන්නේ ලංකාවේ ආර්ථික අර්බුදයත් ගෝල් ෆේස් අත්පත්කර ගැනීමේ ව්‍යාපාරයෙ ක්‍රියාකාරීත්වයත් යන සන්ධර්භය තුළය. ඒ අර්ථයෙන් ගත්විට ගෝල්ෆේස් අත්පත්කර ගැනීමේ ව්‍යාපාරය ලංකාවේ දේශපාලන සංවාදය තුළ සුසමාදර්ශී වෙනසක් නිර්මාණය කල සිදු වීමක් ලෙස හදුනා ගැනීමට හැකිය. ගෝල් ෆේස් අරගලය නමින් යමක් සිදු නොවුනා නම් බොහෝ විට මෙම විජයානන්ද ජයවීරගේ මෙම කෘතිය තවත් එක් ප්‍රායෝගික නොවන විකල්ප භාවිතාවන් සැමරීමක් ලෙස ආන්තික කරණයට ලක් වීමට තිබූ ඉඩ වැඩිය. එම නිසා මෙම කෘතිය අත්‍යන්තයෙන්ම ගෝල්ෆේස් අරගලය විසින් පරිවර්තනය කෙරුණු සමාජ පරිකල්පනය සමග සෘජුව සම්බන්ධය. 

ඒම පසුබිමෙහි සිට මෙම කෘතිය දෙස අවධානය යොමු කරණවිට කෘතිය තුළ යෝජනා කෙරෙන ඒකිනෙකට සම්බන්ධිත සුසමාදර්ශ වෙනස්වීම් හතරක් මෙම ලිපිය තුළ සාකච්ඡාවට භාජනය වෙයි. මෙම කෘතියේ ගෙන එන සංවාදය තේරුම් ගැනීමට නම් මෙම සුසමාදර්ශ වෙනස් වීම් හුදකලාව නොව සාකල්‍යමය ලෙස ගැනීම වැදගත්ය. ඒනම් ඒවා අතර ඇති අන්තර්සම්බන්ධය වෙතත් අවධානය යොමු කළ යුතුය.

1 – බලය වෙනුවට යුක්තිය. (බලය අත්පත් කර ගැනීම ඉලක්ක කරගත් අධිපති දේශපාලන භාවිතාවට විකල්පයක් ලෙස)

2 – නියෝජනය වෙනුවට සංවිචාරණය. ( නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය තුළ අහිමිවන පුද්ගල කාරකත්වය නැවත අත්පත් කර ගැනීමේ විකල්පයක් ලෙස)

3 – රේඛීය වර්ධනය වෙනුවට චක්‍රීය වර්ධනය. ( වර්ධනය ෙක්න්ද්‍ර කොටගත් සංවර්ධනවාදී කතිකාවට විකල්පයක් ලෙස)

4 – තරඟකාරීත්වය වෙනුවට සහයෝගීතාව. (නව ලිබරල්වාදී ආර්ථික ක්‍රියාකාරීත්වයට විකල්පයක් ලෙස)

කෘතිය විසින් ඉදිරිපත් යෝජනා කරණු ලබන සුසමාදර්ශී වෙනස් කම් පිළිබද දීර්ඝව සාකච්ඡා කිරීමට අවකාශ නොමැති ඒ පිළිබද කෙටි හැදින්වීමක් ගෝල්ෆේස් අත්පත් කර ගැනීමේ ව්‍යාපාරය ඇසුරෙන් සාකච්ඡා කළ හැක.

කෘතියේ පළමුවෙන් අවධාරණයට ලක් වන්නේ බලය කේන්ද්‍රගත කෙරුණු දේශපාලනය, එයට විකල්පව, යුක්තිය කේන්ද්‍රගත කෙරුණු දේශපාලනයක් බවට පත් කරන්නා වූ සුසමාදර්ශී වෙනසක් පිළිබදවයි. කතුවරයා මෙසේ පවසයි.

‘බලය අත්පත් කර ගැනීම මුල් කොටගත් අපේ දේශපාලන කතිකාව මෙහෙය වූ දේශපාලන සුසමා දර්ශය (Paradigm) වෙනුවට අපේ පොදු අභිලාෂ සම්බන්ධයෙන් සැමට යුක්තිය මුල් කර ගැනීම මුල් කරගත් දේශපාලන සුසමාදර්ශයක් ගොඩනගාගත යුතුව ඇත.”

ඇලන් බදියුට අනුව යමින් කතුවරයා යෝජනා කරන්නේ “නව දේශපාලන සුසමාදර්ශයක් බිහිකළ හැකි කතිකාවකදී “බලය අත්පත් කර ගැනීමට“ විකල්ප වූ “යුක්තිය ඉටුකර ගැනීමේ“ සමාජ ක්‍රියාකාරීත්වය පැහැදිලි කරන වෙනස් ආකාරයක මුඛ්‍ය අදහස් පද්ධතියක් අප ඉස්මතු කර ගත යුතුය“ යන්නයි. මෙම අදහස ගෝල්ෆේස් අරගලය තුළ ඉදිරිපත් කෙරුණු පාර්ලිමේන්තු නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයට විකල්ප සෘජු ප්‍රජාතන්ත්‍රවාදී භාවිතා පිළිබද සාකච්චාව සිහියට නංවයි.

රාප්‍ය බලය අත්පත් කර ගැනීම ඉලක්කය කර නොගන්නා දේශපාලන භාවිතාවක් ගෝල්ෆේස් අරගලයට පෙර දේශපාලනය සංවාදය තුළ  නොමේරූ අදහසක් ලෙස ගැනීමට තිබූ අවකාශය වැඩිය. නුමුත් අරගලය තුළදී පාර්ලිමේන්තුව හරහා රාජ්‍ය බලය ලබාගැනීමේ ලිබරල් දක්ෂිණාංශික ( සජබ විසින් නියෝජනය නියෝජනය වුනු) දක්ෂිනාංශික ජනප්‍රියවාදී ( පොදු ජන පෙරමුණ මගින් මූලිකව නියෝජනය වුණු) දේශපාලනයත්, ජනප්‍රිය වාමවාදී ( ජාතික ජන බලවේගය මගින් මූලිකව නියෝජනය වූ) දේශපාලනයත් යන්නට විකල්පව රාජ්‍ය බලය අරමුණු කර නොගන්නා දේශපාලන භාවිතාවක් සහ සංවාදයක් ඉදිරියට පැමිණියේය. සංවිචාරණීය සමාජයක් කෘතිය තුළ  නව සුසමාදර්ශී වෙනසක් ලෙස “බලය අත්පත් කර ගැනීමට” විකල්ප වූ “යුක්තිය ඉටු කර ගැනීමේ” දේශපාලනීය ක්‍රියාකාරීත්වය ලෙස හදුනා ගැනෙන්නේ එම සංවාදයයි.

සංවිචාරණීය සමාජයක් කෘතිය තුළ යොජනා කෙරෙන දෙවන සුසමාදර්ශී වෙනස ලෙසට නියෝජනත්වය වෙනුවට සංවිචාරණීයත්වය හදුනාගත හැක. ඉහත බලය සම්බන්ද සුසමාදර්ශී වෙනස තුළ නියෝජිත පාර්ලිමේන්තුවාදයේ හිස්තැන පුරවනු ලබන්නේ සංවිචාරණීය භාවිතාවක් විසින්ය. නියොජිත ප්‍රජාතන්ත්‍රවාදය තුළ යමෙන් තමන් වෙනුවෙන් නියෝජනය වීම සදහා වෙනත් අයෙකුට බලය හුවමාරුකරයි. සංවිචාරණීය සමාජයක් කෘතිය තුළ මෙම නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී භාවිතය හරහා පුද්ගලයකුගේ කාරකත්වය අහිමිවීම යන කාරණය දීර්ඝව සාකච්ඡාවට ලක් කරයි. සංවිචාරණ ප්‍රජාතන්තුවාදී භාවිතයක් තුළ දී සහභාගිවන්නන් අතර ඇතිවන දැණුවත් සංවාදමය භාවිතයක් හරහා නියෝජන ප්‍රජාතන්ත්‍රවාදී භාවිතයක නිර්මානයවන අකර්මන්‍ය ඡන්දදායක පුද්ගලභාවය අතික්‍රමනය කිරීමක් යෝජනා කරයි.

මේ සදහා භාවිතාත්මක උදාහරණ ගණනාවක් මෙම කෘතිය තුළ සාකච්ඡාවට ලක් වෙයි. උදාහරණ ලෙස අතීතයේ ඇතීනියානු ජූරි සභා ක්‍රමය, සමකාලීනව ගතහොත් 2010 සිට 2013 වසර දක්වා කාලයේ අයිසිලන්තයේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කරගැනීමට ගත් ක්‍රියා මාර්ග, මොංගෝලියානුවන්ගේ සංවිචාරණ ඡන්දය ප්‍රකාශකිරීමේ විවෘත ප්‍රජාතන්ත්‍රවාදී භාවිතා සහ අත්පත්කර ගැනීමේ ව්‍යාපාර තුළ ක්‍රියාත්මක වූ මහජන සභා පෙන්වාදිය හැකිය. ගෝල් ෆේස් අරගලය තුළදීද මෙවැනි විවෘත සහ සෘජු ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහ නිර්මාණය කර ගැනීමේ තියුණු උත්සාහයන් නිරීක්ෂණය කල හැක.

සංවිචාරණීය සමාජයක් කෘතිය තුළ යෝජනා කෙරෙන තුන්වන සුසමාදර්ශී වෙනස රේඛීය වර්ධනය වෙනුවට චක්‍රීය වර්ධනය පිළිබද අදහසයි. මෙහිදී කෘතිය තුළ සංවර්ධන කතිකාවේ රේඛීය වර්ධනය පිළිබද අදහසත්, බටහිර නූතනවාදය තුළ ගෙන එන ප්‍රගතිය පිළිබද අදහසත්, ඒහා බැදුනු ඉතිහාසයත් දීර්ඝව සාකච්ඡාවට ලක් කරණු ලබයි. මෙහිදී විශේෂයෙන් ධනවාදී හා සමාජවාදී රාජ්‍ය පොදුවේ ක්‍රියාත්මක කරන ලද සහ විශ්වාස කරන ලද මානව කේන්ද්‍රීය සංවර්ධනවාදී  ඒක කේන්ද්‍රීය මාවත වෙනුවට මානවයා  සහ පරිසරය එකවිට ඇතුළත් කරගන්නා ආකාරයේ සාකළ්‍යමය සහ චක්‍රීය වූ වර්ධනය පිළිබද දැක්මක් මේ තුළ සාකච්ඡාවට ලක් කරයි. මෙහිදී කේට් රේවර්ත්ගේ ඩෝනට් ඉකොනොමික්ස් සංකල්පය මූලිකව භාවිතා කිරීම නිරීක්ෂණය කළ හැක.

සංවිචාරණීය සමාජයක් කෘතිය තුළ යෝජනා කෙරෙන හතරවන සුසමාදර්ශී වෙනස තරඟකාරීත්වය වෙනුවට සහයෝගීතාව පිළිබද අදහසයි. මෙය ප්‍රධාන වශයෙන් ඉලක්කගත කෙරෙනුයේ නව ලිබරල්වාදී ආර්ථික කතිකාව විවේචනය කිරීමටත් එයට විකල්ප භාවිතාවන් ඉදිරිපත් කිරීමටය. නව ලිබරල් කතිකාව තුළ ගෙන එන නිදහස් වෙළදපළ, තරඟකාරීත්වය, ආර්ථික මිනිසා සහ පුද්ගලත්වය වැනි අදහස් ප්‍රබල විචාරයකට ලක් කිරීම දැකිය හැක. තරඟකාරීත්වය නම් අදහස මනුශ්‍යයාගේ ස්වාභාවිකත්වය සහ ආවේනික ආත්මාර්ථකාමීත්වය තුළින් මතුවන දෙයක් ලෙස ගෙන නව ලිබරල්වාදී දෘෂ්ථිවාදී දැක්ම සුසමාදර්ශී වෙනසකට ලක් කරමින් සහයෝගීත්වය, සහකම්පනය ආර්ථිකයක් සියළු මිනිසුන්ට සහ ජෛව ලෝකයට සමාන ප්‍රතිලාභ ලබා දෙන භාවිතාවක් බවට පරිවර්තනය කිරීමට හැකි සුසමාදර්ශි වෙනසක් මෙමගින් යෝජනා කෙරේ. මෙහිදී අමාර්යා සෙන් ඉදිරිපත් කරණ අදහස් සහ වර්තමානයේ ප්‍රමුඛව ජාලගතව ඇති සමාජ සහ සහයෝගීතා ආර්ථික ආකෘති පිළිබද දීර්ඝ ලෙස සාකච්ඡා කරණු දැකිය හැක.

ඉහත සදහන් කළ තුන්වන සහ හතරවන සුසමාදර්ශ වල භාවිත ආකෘති ගෝල්ෆේස් අරගලය තුළ බහුලව දකින්නට ලැබිණි. ලංකාවේ අතීතයේ ඇතිවුණු සමාජ අරගල සමඟ සාපේක්ෂව ගතහොත් ගෝල‍ෆේස් අරගලය සහ පරිසර සංවිධාන හා ක්‍රියාකාරිණියන් අතර ඇතිවුණු සම්බන්ධය සුවිශේෂය. එමෙන්ම ගෝල්‍ෆේස් අරගලය හරහා යලි මතුවූ ප්‍රජා මුළුතැන්ගෙවල්, සමූපාකාර සහ සහයෝගීතා ක්‍රියාකාරීත්වයන්, අන්තර් වාර්ගික ගනුදෙනු, අන්තර් පරම්පරා හමුවීම්, බහු සංස්කෘතික ඉදිරිපත් කිරීම්, බහු ලිංගික සමාජභාවයන් බාර ගැනීම් සහ අන්ධ සහ බිහිරි ප්‍රජාවගේ ක්‍රියාකාරකම් මෙයට තවත් උදාහරණය.

මෙම කෘතිය තුළ ඉදිරිපත් කරන සුසමාදර්ශ වෙනස් කම් පිළිබද සාකච්ඡාවේදී එම සුසමා දර්ශ එකිනෙකට බද්දව ඇත යන කරුණ විශේෂයෙන් වැදගත්ය. උදාහරණයක් ලෙසට නව ලිබරල්වාදී ආර්ථික ක්‍රමයට විකල්පව ඉදිරිපත් කරන විකල්ප ආකෘති ඒවා නිවැරදි යැයි අප සිතන පමණින් සමාජය මත බලෙන් පැටවිය නොහැක. එය සංවිචාරණත්ව භාවිතය හරහා බැදී පවතී. එය සංවිචාරණ භාවිතයක් හරහා සංවාදමය එකගතාවයකට යටත් විය යුතුය. එම සංවිචාරණය චක්‍රීය වර්ධනය විසින් ඉදිරිපත් කරනු ලබන සමස්ත ජෛව ගෝලය ඇතුලත් කරගන්නා භාවිතාවකට යටත් විය යුතුය. එම චක්‍රීය භාවිතය හුදු තරඟකාරීත්වය ඉක්මවූ සහකම්පනය සහ සහයෝගීතාවය මත පදනම් වූ භාවිතයක් විය යුතුය. මෙම කෘතිය පිළිබද සාකළ්‍යමය කියවීමකට යා හැක්කේ මෙම අන්තර්සම්බන්ධය පිළිබද අවධානය යොමු කිරීමෙනි.

එසේ නොමැතිව මෙම කෘතිය පිළිබඳ පාර්ශවීය කියවීමකටද යා හැකිය. එනම් එක්තරා ආකාරයේ සුපර් මාකට් කියවීමකටද යා හැකිය. එනම් සංවාදයට තමන් කැමති තැනින් ඇතුළු වී තමන්ට අවශ්‍ය දේ රැගෙන පිටත්ව යා හැකිය.

උදාහරණයක් ලෙසට ාතිකවාදීන්ට මෙම පොත තුළ බටහිර ප්‍රබුද්ධවදයට හා යටත්විජිත කරණයට එරෙහිව ගෙන එන විවේචනයට පහසුවෙන් අනන්‍ය වී විශ්වීය මානව අයිතිවාසිකම් ගැන ගෙනඑන සංවාදය මගහැර එළියට යා හැක. ජනබලවේගයට නව ලිබරල් ආර්ථික ක්‍රමය හා එය මත යැපෙන දූෂිත ගෝලීය ප්‍රභූ තන්ත්‍රයට ගෙන එන විවේචනයට පහසුවෙන් අනන්‍ය වී පාර්ලිමේන්තු නියෝජන ප්‍රජාතන්ත්‍රවාය සහ බලය ලබා ගැනීම අරමුණු කරගන්නා දේශපාලන භාවිතය සම්බන්ධයෙන් ගෙනඑන විවේචනය මගහැර එළියට යා හැකිය. පෙරටුගාමී පක්ෂයට සහ එහි පාර්ශවීය සංවිධාන වලට පාර්ලිමේන්තු නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයට පිටතින් නිර්මාණය කරගත යුතු ස්වාධීන මහජන සභා පිළිබද සංවාදයට පහසුවෙන් අනන්‍ය වී පක්ෂ ආකෘතිය සහ නවකවධය වැනි ධූරාවලිගත සහ අධිකාරීවාදී ප්‍රවනතාවන්ට එරෙහිව ඉදිරිපත්වන සමානයන් අතර ඇතිවිය යුතු සංවිචාරණාත්මක සංවාදී භාවිතාවක් පිළිබද සංවාදය මගහැර එළියට යා හැක. පරිසරවාදී සංවිධානවලට මෙම කෘතිය විසින් මතු කරණ වර්ධන කේන්ද්‍රගත නොවන පරිසර හිතවාදී සංවර්ධන ආකෘති සම්බන්ධ සංවාදයට පහසුවෙන් අනන්‍ය වී ගෝලීය දරිද්‍රතාවය ආමන්ත්‍රණය කරන ආර්ථික ක්‍රියාවලියක් පිළිබද සංවාදය මගහැර එලියට යා හැකිය.

නුමුත් එවැනි ක්‍රියාකාරීත්වයක් මෙම පොත විසින් යෝජනාකරණු ලබන සංවිචාරණිය සමාජයක් පිළිබද අදහසේ සාරය අහිමි කිරීමකි. මෙම පොත විසින් ගෙන එන සංවාදය වඩාත් යහපත් සමාජයක් වෙනුවෙන් සමාජයේ පවතින බහුවිධ අරගල සමග බද්ද කරගත හැක්කේ මෙම පොත විසින් ඉදිරිපත් කෙරෙන සංවිචාරණීය භාවිතා හරහා තමන්ගේ භාවිතය සහ අදහස් පුළුල් සමාජ සංවිඡාරණයකට ලක් කිරීම හරහාමය. මෙම කෘතිය තුළ අඩංගුව පවතින කතිවරයාගේ අසීරු ශුමයට අපට ගරු කල හැකි එක් ආකාරයක් වන්නේ මෙම කෘතිය සාකල්‍යමය කියවීමකට ලක් කිරීමකිනි.

මෙම කෘතිය විසින් ඉදිරිපත් කරණු ලබන සංවාදය අභිමුඛ කිරීම සදහා යොදාගත හැකි සංවාදයන් දෙකක් ලිපිය අවසානයේ කෙටියෙන් සදහන් කළ හැකිය. එකක් නම් මෙවන් සාකකල්‍යවාදී කතිකාවන් සම්බන්ධයෙන් මනොවිශ්ලේෂණය ආශ්‍රයෙන් මතු කරණ අදහසයි. එනම් යම් සමස්ථයක් ගොඩනැගීමේදී යම් දෙයක් බහිශ්කරණය වෙන බවත් සමස්ථය ගොඩ නැගෙන්නේ මෙම බහිශ්කරණය කරණ දෙය වටා බවත් යන අදහසයි. එසේනම් මෙම සාකළ්‍යවාදී සංවාදයේ නිශේදය කුමක්ද? එය ආමන්ත්‍රණය කිරීමේ සහ සළකා බැලීමේ විධික්‍රමයක් මෙම සංවාදය තුළ තිබෙනවාද? මෙම නිශේදය පිලිබද කරුණ සුමිත් චාමින්ද විසින් මෙම කෘතිය සම්බන්ධව කරන ලද ඔහුගේ සටහනේ දී මතුකර තිබුනි.

අනෙක් සංවාදය නම් ප්‍රංශ දාර්ශනිකයකු වන එතේන් බලිබාර් දේශපාලනිකය (The Political) සම්බන්ධයෙන් මතු කරන අදහසයි. එනම් දෙශපාලන තලය තුළ නියෝජනය වෙන්න පුළුවන් කාටද යන්න කියන කරුණ සම්බන්ධයෙන් මතුකරණ අදහස. උදාහරණයක් විදියට කෘතියේ කතුවරයා සංවිචාරණීය භාවිතාවක් පදනම් විය යුත්තේ සහ එම භාවිතාව සමාජයේ ක්‍රියාත්මක කළ යුත්තේ කා හරහාද කියන කරුණ සම්බන්ධයේදී සිවිල් සමාජයට යම් බරක් දක්වන බව හදුනාගත හැකියි. බලිබාර්ට අනුව දැනට පවතින දේශපාලන අවකාශය ව්‍යුහගත වී ඇත්තේ ඇතැම් පීඩිත කොටස් එයින් පිටමං කිරීමෙනි. ඒ තුළ දේශපාලනය යන ක්ෂේත්‍රයේ නියෝජනය ‌නොවන පිරිස් ඉවත් කිරීමේ ව්‍යුහයම හිංසාකාරී ය. එවැනි තත්ත්වයක් තුළ දේශපාලනය යනු කුමක්ද යන්න සළකුණු කිරීමේ වැඩි බලයක් වරප්‍රසාද තිබෙන අයට අත් වේ. සිවිල් සමාජයත් එයට ඇතුලත්. හඬක් නැති අය මෙම සංවිාරණීය අවකාශය තුළ පෙනී සිටින්නේ කොහොමද යන කරුණ මෙම සංවිචාරණීය සමාජය පිළිබද සංවාදයේදී සළකා බැලෙන්නේ කෙසේද? සිවිල් සමාජය ඔවුන් වෙනුවෙන් කරනු ලබන්නේ නියෝජනාත්මක කාර්යක්ද? එසේ නම් නියෝජිතත්වය පිළිබද සංවිචාරණාත්මක විවේචනය මෙම සංවාදයට අදාල වන්නේ නැත්ද?

ඉහත ගැටළු මෙම කෘතිය පිළිබද ඉදිරි සංවාදයකදී වැදගත් විය හැක.

බුද්ධික බණ්ඩාර