Yes means Yes ව්‍යාපාරය 

ලිංගික එකඟතාවය සම්බන්ධයෙන් මීළඟ සාකච්චාව ආරම්භ වන්නේ ඇමෙරිකාවේ ඇන්ටෝච් විද්‍යාලයේ ශිෂ්‍යාවන් පිරිසක් එම විදුහලේ චර්යා ධර්ම පද්ධතියට විරුද්ධව ඉදිරිපත්කළ පෙත්සමක් ආශ්‍රයෙනි. මෙම පෙත්සම හරහා ඔවුන් ලිංගික සම්බන්ධයකදී එකඟතාවය නිර්වචනය කිරීමේදී එම සම්බන්ධයට එකතුවන සියළු පාර්ශවයන්ගේ උද්යොගීමත් එකඟතාවය අවශ්‍යය යනු කරුණ ප්‍රධාන විය යුතු යැයි පවසා සිටියේය. ඔවුන්ගේ මෙම පෙත්සම ජයග්‍රහණය කළ අතර ඒ හරහා  ලිංගික එකඟතාවය සම්බන්ධයෙන් නෝ මීන්ස් නෝ ප්‍රවේශයට වෙනස්ව යර්ස් මීන්ස් යර්ස් යන ප්‍රවේශය උපත ලැබීය. මෙතෙක් ලිංගික සම්බන්ධයකදී එයට සහභාගීවන එක් පාර්ශවයක් එයට විරුද්ධවන තෙක්, නෝ කියන තෙක් එය අනෝන්‍ය සම්බන්ධයක් සේ සැළකුනි. නුමුත් මින් පසු මේ තත්වය වෙනස් ලෙස අර්ථ දැක්වීමට අවකාශය උදා විය. මෙම අර්ථදැක්වීමට අනුව ලිංගික සම්බන්ධයක එකඟතාවය යන්න සළකා බැලුනේ එයට සම්බන්ධවන සියළු පාර්ශවයන් ඒ සදහා පැහැදිලි ලෙස කැමැත්ත ප්‍රකාශකරන ස්ථානයේ සිටය. මෙය හරහා නෝ මීන්ස් නෝ ව්‍යාපාරයෙන් ලිංගික එකඟතාවය සම්බන්ධයෙන් පැවති නිර්වචනයේ හිදැස් යම් තාක් දුරකට ආවරණය කිරීමට හැකියාව ලැබිනි.  

ලිංගික හිංසන සහ දූෂණ සම්බන්ධයෙන් පවතින දත්ත පරීක්ෂා කිරීමේදී එම සිදුවීම්වලින් සියයට 90ක්ම පාහේ සිදුවී ඇත්තෙත් තමන්ගේ සමීපතමයකු අතින් වීම විශේෂයකි. මෙනිසා මෙවන් අවස්ථාවක ලිංගික හිංසනයට භාජනයවන අයෙකු පැහැදිලිව වාචිකව එයට අකමැත්ත ප්‍රකාශ කිරීම හෝ විරෝධය  පෑම එකඟතාවයේ පදනම ලෙස ගැනීම යම් දුරකට ගැටළුකාරීය. එමෙන්ම ස්නායු වෛද්‍යවරුන් පෙන්වාදෙන ආකාරයකට ලිංගික හිංසන සිදුවීමකදී වින්දිතයන්ගේ ශරීර සමහරවිටක  ක්ෂනික අක්‍රියතාවයකට, අකර්මන්‍යතාවයකට  පත්වන බැවින් එම සිදුවීමට ක්‍රියාකාරී විරෝධය පෑමට නොහැකි වී යා හැක. මෙවන් අවස්ථාවලදී ලිංගික හිංසනයකදී වින්දිතයා එයට පැහැදිලි වාචික හෝ ශාරීරික විරෝධයක් දක්වා ඇත යන්න ඔප්පු කිරීමට වින්දිතයාට වඟකීමක් සේ පැවරීම ගැටළුකාරීය. නෝ මීන්ස් නෝ යන්න සීමා කාරී වන්නේ මේ පදනමෙනි. තවද ලිංගික සම්බන්ධයක එකඟතාවය යන කරුනේදී එයට විරුද්ධත්වය ප්‍රකාශ කිරීම ස්ත්‍රීන්ගේ පැත්තට භාරවන සටන් පාඨයකදී ස්ත්‍රීන් ලිංගික විරෝධී හෝ ලිංගිකත්වය සම්බන්ධයෙන් අක්‍රීය රිනාත්මක අය ලෙස නාමකරනය වේ. ඒ හරහා ස්ත්‍රීන් ලිංගික ආශාවන් ඇති සහ තමන්ගේ ලිංගිකත්වය සම්බන්ධයෙන් කතෘත්වයක් ඇති අය ලෙස හදුනාගැනීම වැලකේ. මෙනිසා නෝ මීන්ස් නෝ යන සටන් පාඨය වෙනුවට ක්‍රමිකව ලිංගික එකඟතාවය යන කරුනේදී යර්ස් මීන්ස් යර්ස් සටන් පාඨය  ඉදිරියට පැමිණ ඇත.  මේ අනුව ලිංගික සම්බන්ධයකදී එයට සහභාගීවන පාර්ශවයන්ගේ එකඟතාවය යන්න සළකා බැලෙන්නේ එයට සහභාගීවන පාර්ශව එයට විරුද්ධත්වය ප්‍රකාශකරනවාද යන පදනමේ සිට නොව එයට සහභාගීවන පාර්ශවයන් එම සම්බන්ධතාවයට උද්යොගී ලෙස කැමැත්ත ප්‍රකාශ කරනවාස යන පදනමේ සිටය. 

කෙසේ නමුත් මෙම සටන් පාඨය එය ගෙන ආ මුල් අවධියේදී විශාල විරෝධයකට සහ පොප් සංස්කෘතිය තුළ දරුණු සමච්චලයට භාජනය විය. ජනප්‍රිය සංස්කෘතිය තුළ නිරන්තරයෙන් ඇන්ටෝච් ශිෂ්‍යාවන් විසුළුකාරී ලෙස නිරූපනය විය. ලිංගික සම්බන්ධයකදී සිප ගැනීමේ සිට අන් සෑම ක්‍රියාවක් සදහාම අනෙක් පාර්ෂවය “ඔබ මෙයට කැමතිදැයි?” ඇසීම ලිංගික සම්බන්ධයක උද්යෝගය මරා දමන දෙයක් ලෙස හදුනා ගැනුනි. මෙය බොහෝ දෙනෙක් යාන්ත්‍රික, ලිංගික තෘප්තිය විනාශ කරන දේශපාලනික නිවැරදි ක්‍රියාකාරීත්වයක් ලෙස උපහාසාත්සකව නම් කලෝය. කෙසේ නමුත් ඇන්ටෝච් ශිෂ්‍යාවන් තමන්ගේ තමන්ගේ මතය පිළිබඳ ස්ථාවරයේ දැඩිව සිටියහ. ඔවුන් පැවසුවේ මෙම අදහස විසුළුකාරී ලෙස පෙනී යාහැකි වුවත් පොලිස් ස්ථානයක් තුළ සිටින විට හෝ ලිංගික හිංසනයකට මුහුණ දී සිටින විටක හෝ මෙම අදහස එසේ විසුළුකාරී නොවන බවත්ය. කෙසේ වුවත් විශාල සමාජයේ අදහස් පද්ධතීන්ට අභියෝග කල මෙම කුඩා ස්ත්‍රීන් කණ්ඩායමේ අදහස කාලයාගේ ඇවෑමෙන් ක්‍රමිකව සමාජයේ පැතිරී යන්නට විය. 2000 වසර වන විට යර්ස් මීන්ස් යර්ස් සටන් පාඨය හරහා ඉදිරිපත් වූ උද්යෝගීමත් එකඟතාවය පිළිබඳ අදහස නෝ මීන්ස් නෝ සටන් පාඨයට වඩා ලිංගික එකඟතාවය සම්බන්ධයෙන් ඉදිරිගාමී අදහසක් ලෙස ස්ත්‍රී මාධ්‍ය හරහා සාකච්ඡාවීම ආරම්බවෙනු දැකිය හැකි විය. 2008 වර්ෂයේදී ස්ත්‍රීවාදී ලේඛිකාවන් දෙදෙනෙක් වන ජැක්ලයින් ෆ්රීඩ්මන් සහ ජෙසිකා වැලෙන්ටි යර්ස් මීන්ස් යර්ස් ග්‍රන්ථය  ප්‍රකාශයට පත් කළ අතර ඒ හරහා මෙම සටන් පාඨය පනප්‍රියත්වයට පත් විය. 2014 වසරේදී ලිංගික එකඟතාවය සම්බන්ධයෙන් උද්යොගීමත් එකඟතාවය යන සංකල්පය නීතිගත කල ප්‍රථම ප්‍රාන්ථය බවට කැළිෆෝනියා ප්‍රාන්තය පත් විය. 2016 වසරේ දී ප්‍රකට ස්ත්‍රීවාදී ක්‍රියාකාරිණියක වන ග්ලෝරියා ස්ටෙනම් මෙම සංකල්පයට ප්‍රසිද්ධියේ සහයෝගය ලබා දෙනු ලැබීය.

MeToo ව්‍යාපාරය

ලිංගික එකඟතාවය සම්බන්ධයෙන් සමාජය තුළ විශාල අවධානයක් යොමු වන්නේ 2017 වසරේ සමාජ මාද්‍ය හරහා නිර්මාණය වූ මී ටූ ව්‍යාපාරය සමඟය.  මීටූ ව්‍යාපාරය 2017 වසරේ සමාජ ජාලා ක්‍රියාකාරකම් හරහා ප්‍රචලිත වීමට පෙර 2003 වසරේ සිට පැවතී තිබුනේ බිම් මට්ටමේ ප්‍රජා සංවිධානයක ස්වරූපයෙනි. නමුත් 2017 වසරේ සමාජ ජාලා ක්‍රියාකාරකම් හරහා වසර ගණනාවක් තිස්සේ ස්ත්‍රීවාදී කණ්ඩායම් බිම් මට්ටමේ සමාජ කණ්ඩායම් ලෙස ආමන්ත්‍රණය කරණ ලද ගැටළුව එක් වරම ගොලීය ප්‍රමුඛ පුවතක් බවට පත් කෙරිනි. 2017 වසරේ මී ටූ හෑශ් ටෑගය ජවප්‍රිය වීමත් සමග එම වසර අවසානවන තෙක් අන්තර්ජාල සෙවුම් යන්ත්‍රවල ප්‍රධානතම මාතෘකාව මී ටූ ව්‍යාපාරය සහ ලිංගික හිංසනය බවට පත් වූ තිබුනු අතර ලොව වටා මිලියන ගණනක මිනිසුන් මේ සාකච්ඡාවට සජීවීව සම්බන්ධව සිටියේය. එය මිනිස් ඉතිහාසයේ ලිංගික හිංසනය යන මාතෘකාවට  ලැබුණු විශාලතම අවධානය ලෙස හැදින්විය හැක.

මෙම අවධානය නිසාම බොහෝ වින්දියන්හට තමන්ගේ අත්දැකීම ප්‍රකාශ කිරීම වැදගත් දෙයක් බවත්, එය තමන් වින්දිතයෙක් ලෙසට නාමකරණය කර ගැනීමට එහා ගිය සහෝදරත්වය ගොඩනැංවීමක්  සහ සමාජ පරිවර්තනයක කොටසක් බවත් එත්තු ගොස් තිබිනි.  ලිංගික හිංසනයට ලක් වූ අය මෙලෙස ඒ පිළිබද ඉදිරියට පැමිණ තමන්ගේ අත්දැකීම් ප්‍රකාශ කිරීම දිරිමත් වීම මී ටූ ව්‍යාපාරයේ තවත් ප්‍රධාන ජයග්‍රහණයක් විය. අදාහරණයක් ලෙස මී ටූ ව්‍යාපාරය ආරම්භවීම සමග ඇමෙරිකා එක්සත් ජනපදයේ ලිංගික හිංසන සිදුවීම් දැණුම් දීම 2016 වර්ශයට සාපේක්ශව 23% ඉහළ ගොස් ඇති බව වාර්තා වී ඇත. මීටූ ව්‍යාපාරයේ හරහා ලිංගික සම්බන්ධයකදී එකඟතාවය යනු කුමක්ද යන කාරණය සම්බන්ධයෙන් විශාල සාකච්ඡාවක් ඇති විය. ලිංගික හිංසනයට ලක් වූ පුද්ගලයන්ගේ අත්දැකීම් විශාල ප්‍රමාණයක් ප්‍රසිද්ධියට පත් වීම ලිංගික හිංසනය සම්බන්ධයෙන් වඩා සමීප කියවීමකට යාමකට බොහෝ දෙනාට හැකියාව ලැබුනු අතර ලිංගික සම්බන්ධතාවයකදී එකඟතාවය යනු සළකා බැලිය කරුණක් බවට පත් විය. මේ හරහා යලි එකඟතාවය  සම්බන්ධයෙන් එතෙක් පැවති නිර්වචන ප්‍රළුල් කිරීමේ අවධානය යොමු විය. මෙහිදී එකඟතාවය සම්බන්ධයෙන් තනි නිර්වචනයකට එහා ගිය එහි සංකීර්ණත්වය ග්‍රහණය කරගත හැකි පුළුල් විස්තරාත්මක නිර්වචනයක් අවශ්‍යබව සැම දෙනාගේම අදහස විය. කැනඩාවේ ලිංගික එකඟතාවය සම්බන්ධයෙන් පවතින ප්‍රමිතීන්ට අනුව එකගතාවය යන්න වාචික ( උදා – ඔව් කියා පැවසීම), චාර්යාත්මක ( උදා – ලිංගික සම්බන්දයට ප්‍රවේශයක් ගත යුතුයි), උද්යෝගීමත් ( උදා – තමන්ම ඇදුම් ගලවා ගැනීම, පැහැදිලිව සමබන්ධයෙන් තෘප්තිමත් වීම, සහ සහභාගීවීම), සහ අඛණ්ඩ  ( ලිංගික සම්බන්ධය තුළ දිගින් දිගට වාචික හා චර්යාත්මක ඉගි සැපයීම) යන සංඝටකයන්ගෙන් යුක්ත විය යුතුය.

ඇමෙරිකා එක්සත් ජනපදයේ පෙනිසිල්වේනියා ප්‍රාන්තය එකගකාරී කැමැත්ත සදහා ප්‍රමිතීන් පනතක් මගින් සම්මත කරගෙන ඇත. එය එම ප්‍රාන්තයේ විශ්ව විද්‍යාලවල චාර්යා ධර්ම පද්ධතියේ කොටසක් ලෙසට දැන් ක්‍රියාත්මක වේ. එම ප්‍රමිතීන් පහත පරිදි වේ

එකඟකාරී කැමැත්ත  සම්බන්ධ ප්‍රමිතීන් (Affirmative Consent)

  • එකඟකාරී කැමැත්ත යනු ලිංගික සම්බන්ධයක සිටින සෑම පාර්ශවයක්ම අතර පවතින සවිඥාණික, ස්වේච්චා සහ අනෝන්‍ය එකඟතාවයකි.
  • නිහඩබව හෝ විරෝධයක් නොපෙන්වීම එකඟකාරී කැමැත්ත ප්‍රකාශමාන කිරීමක් නොවේ
  • අනෙකාගෙන් එකඟකාරී කැමැත්ත ළබා ගැනීම සෑම පුද්ගලයකුගේම වගකීමක් වේ. (වගකීම ඒක පාර්ශවීය නැත)
  • එක් ලිංගික ක්‍රියාවකට තිබෙන එකඟකාරී කැමැත්ත තවත් ලිංගික ක්‍රියාවකට ලබා දෙන එකඟකාරී කැමැත්තක් ඉගි නොකරයි.
  • ලිංගික ක්‍රියාව ආරම්භ කරන්නා මත්ද්‍රව්‍ය හෝ ඇල්කොහොල් ලබාගෙන සිටියාද නැත්ද යන්න එකඟකාරී කැමැත්ත ළබා ගැනීමේදී සළකා බැලෙන්නේ නැත
  • එකඟකාරී කැමැත්ත ඕනෑම අවස්ථාවකදී ආපසු හැරවිය හැක.
  • යම් පුද්ගලයකු  නොහැකියාවෙන් සිටින අවස්ථාවක  එකඟකාරී කැමැත්ත දිය නොහැක
  • එකඟකාරී කැමැත්ත ළබා දිය නොහැකි තත්වයකදී හෝ එය ආපසු හැරවූ අවස්ථාවකදී ලිංගික ක්‍රියාව නැවැත්විය යුතුයි.

ලිංගික සම්බන්ධතාවයකදී එකගතාවය සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇත උද්යෝගී එකඟතාවය පිළිබඳ අදහස වර්තමානයේ ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති වර්ධනීයම අදහස ලෙස හදුනාගත හැක. මේ වන විට යුරෝපයේ රටවල් ගණනාවක් මෙම අදහසට අනුව යමින් ලිංගික ළුකගතාව සම්බන්ධයෙන් ප්‍රමිතීන් ප්‍රති නිර්වචනය කරගෙන ඇත. ඇමිනෙස්ටි ඉන්ටර්නැශනල් සංවිධානය මේ සම්බන්ධයෙන් විශාල ප්‍රචාරාත්මක ව්‍යාපාරයක් නිර්මාණය කර ඇත.

කෙසේ වෙතත්, ලිංගික සම්බන්ධතාවයකදී එකඟතාවය කුමක්ද යන්න සම්බන්ධයෙන් පවතින සාකච්ඡාව තවම නිම වූ සාකච්ඡාවක් නොවේ. නුමුත් එම අදහසේ  එහි මෑත කාලීන වර්ධනයන් හරහා ලිංගික සම්බන්ධයක් වඩා නිදහස් සහ මානුශීය ආකාරයට නිර්වචනය වීමේ නැඹුරුවක් දක්නට ඇත. ලිංගික එකගතාවය සම්බන්ධයෙන් නිර්මාණය වූ ඇති මෙම කතිකාව වෙත මානව අයිතිවාසිකම් කතිකාවේ සැලකිය යුතු  සම්බන්ධයක් තිබේ. අනාගත මනුශ්‍ය සම්බන්ධතා වඩාත් පුළුල් කිරීම සදහා මෙවැනි සංවාදයක වැදගත්කම අවතක්සේරු කළ නොහැක. කෙසේ වෙතත් මෙම සංවාදය පරිපූර්ණ හෝ නිම වූ සංවාදයක් නොවේ. මනුශ්‍ය සම්බන්ධතා හුදු නීතිමය රාමුවකට හෝ පූර්ණ සවිඥාණික එකඟතා රාමුවකට ලඝු කිරීමට නොහැකිය. විශේෂයෙන් ලිංගිකත්වය යන කාරණයට මිනිස් ආශාවට සම්බන්ධ වන අතර එහි අවිඥාණික කලාපයක් ද ඇත. මෙනිසා අනාගතයේ මේ පිළිබඳව මානව අයිතිවාසිකම් සහ නීති කතිකාවෙන් ඔබ්බට යන පුළුල් සංවාදයක් අවශ්‍ය බව අනිවාර්යය. නුමුත් තවත් අතකින් අප සිටින්නේ බස් රථයක යන ස්ත්‍රියකගේ ශරීරය පොදුවේ පරිහරනය කළ හැකි ලිංගික භාන්ඩයක් ලෙස සළකන එදිනෙදා යථාර්තය තුළ යන්නද අමතක නොකළ යුතුය. එවැනි යථාර්තයක ලිංගික සම්බන්ධයක් සදහා යමෙකුගේ එකඟතාවය අවශ්‍යයි යන සරල අදහස සමාජගත කිරීමම ඉදිරිගාමී පියවරක් වනු ඇත.

බුද්ධික බණ්ඩාර

(ප්‍රගතිශීලී ස්ත්‍රී එකමුතුව සහ නාඳුනන සාමුහිකය අතර පැවැත්වූ සාකච්ඡාවක් සඳහා ඉදිරිපත් කල ලියවිල්ලකි)