ලිංගික සම්බන්ධතාවයකදී අනෝන්‍ය එකගතාවය තිබිය යුතු බවටත් එසේ නොමැතිව සිදුවන ලිංගික සමිබන්ධයක් ලිංගික හිංසනයක් හෝ අපචාරයක් වන බවටත් බොහෝ රටවල පිළිගත් සම්මතයක් හා නීතියක් වශයෙන් පවතී. නුමුත් මෙහිදී එකඟතාවය වශයෙන් හදුන්වන්නේ කුමක්ද යන්නත්, එකගතාවය නොදීම ප්‍රකාශමාන වන්නේ කෙසේද යන්නත් පිළිබද දීර්ඝ කාලීන විවාදයක් පවතී. එමෙන්ම නීතිමය වශයෙන් ද මෙය නිරන්තර ප්‍රති නිර්වචනයවීම්වලට භාජනය වී ඇත. මේ සම්බන්ධයෙන් නීතිමය තත්වය සියළු රටවල සමාන මට්ටමේ නැත. මෙය වඩාත් මතු වන්නේ ලිංගික හිංසන සිදුවීමක් සම්බන්ධයෙන් කටයුතු කිරීමට යාමේදීය. උදාහරණයක් ලෙසට සම්බන්ධතාවයකදී එක් පාර්ශවයක් වාචිකව එපා නොකීම හෝ නිශ්ෂබ්දව සිටීම ලිංගික සම්බන්ධයකට එකඟතාවය ප්‍රකාශ කිරීමක්ද?

ලිංගික හිංසන සිදුවීම් පරීක්ශා කිරීමේදී එවන් ක්‍රියා බහුලව සිදුවී ඇත්තේ තමන්ගේ සමීපතමයකු අතින් බව පෙනී යයි. මෙවැනි අවස්ථාවක හිංසනයට පාත්‍රවන්න බොහෝ විට සිටින්නේ කුමක්ද කරන්නේ යන්න පිළිබද අවිශ්වාසජනක තත්වයකය. මෙවන් අවස්ථාවක අප කැමැත්ත නිර්වචනය කරගන්නේ කෙසේද? එසේත් නැත්නම් යම් බල ධූරාවලියක් තිබෙන තැනක එහි පහළ සිටින පාර්ශවයක් එම බල ධූරාවලියේ ඉහළ තැනකට යාම සදහා එහි ඉහළ සිටින පාර්ශවයක් සමග ලිංගික සම්බන්ධතාවයකට යාමේ අවස්ථාවක් ගන්න. එවන් කෙනෙකු තමන් ඉලක්කකරගත් ස්ථානය ලබා ගත් පසු තමා ලිංගික හිංසනයට ලක් වූයේ යැයි පැවසීම අප එකඟතාවය යන්න හරහා නිර්වචනය කරන්නේ කෙසේද? එය එකගතාවය ප්‍රකාශ කිරීමක්ද? නැතිනම් ආයතනික ව්‍යුහය සිය බල ධූරාවලියේ ඉහළට යාම සදහා පහළ සිටින අයට  ලිංගික යටත්වීමකට අනුබල සපයන අවකාශයක් නිර්මාණය කර තැබීම නිදහස් එකගතාවයේ ප්‍රකාශමාන වීමක් ලෙසට අර්ථකතනය කල හැකිද? ලිංගික සම්බන්ධතාවකදී එකගතාව යන කාරණය සැලකිය යුතු කරුණක් බවට පත්වීමට ඉතිහාසයක් ඇත. එය හුදෙක් ඉබේ මතුවූ අදහසක් නොව දීර්ඝ අරගලයක ප්‍රතිඵලයකි

70 දශකයේ දූෂණ විරෝධී ව්‍යාපාරය

ලිංගික සම්බන්ධතාවකදී එකගතාව යන කාරණය පිළිබද සංවාදය බටහිර ආරම්බ වන්නේ 70 දශකයේ ස්ත්‍රී වාදී ව්‍යාපාරයේ නැග ඒමත් සමගය. එයට පෙර ලිංගික සම්බන්ධයකදී අනෙක් පාර්ශවයේ එකගතාවය යන්න සැලකිය යුතු කරුණක් ලෙසට සැලකීමේ සම්ප්‍රධායක් නොතිබූ අතර එය හුදෙක් සලකන ලද්දේ පුද්ගලික ජීවිතයට අදාල කාරණයක් ලෙසටය. මෙම නිසාම ලිංගික හිංසනය වැනි දෙයක් සමාජය තුළ සාකච්ඡාවට භාජනය වීම සිදු නොවූ අතර එය සමීප සහ පුද්ගලික තලයේ විසදූම් කරා යොමු විය. හැටේ දශකයේ ලිංගික විප්ලවය හරහා සමාජය තුළ ලිංගික නිදහස  සම්බන්ධයෙන් විශාල පිබිදීමක් ඇති වුවද එය තුළ ලිංගික සම්බන්ධය ස්වාභාවික දෙයක් බවට ඔසවා තැබීම හේතුවෙන් ලිංගික සම්බන්ධයකදී එකගතාවය යන කාරණය යටපත් වී යෑම දැකිය හැක. එනම් ලිංගික සම්බන්ධයක් යනු ස්වාභාවික මිනිස් අවශ්‍යතාවයක්නම් එයට යමෙකු අකමැති වීමට ස්වාභාවික පදනමක් තිබිය නොහැක. පැවතිය හැක්කේ එයට ප්‍රතිරෝධීයව නිර්මාණය වූ සංස්කෘතික අදහස් පමණි. ලිංගික විප්ලවයේදී ලිංගික සම්බන්ධයක් කරා යාමට බාධා කෙරුණු මෙවැනි සංස්කෘතික අදහස් පසුගාමී සහ බලහත්කාරී යැයි හදුනාගැනුනු අතර ඒවාට එරෙහි වීම නිදහස් සහ ප්‍රගතිශිලී ලෙස හදුනාගැනුනි. ඒ හරහා එක් අතකින් ලිංගික සම්බන්ධතා සදහා නිදහස් අවකාශයක් නිර්මාණය වූ අතර තවත් පැත්තකින් ලිංගික සම්බන්ධතා පරමත්වයකට පත් වීම හරහා ඒ තුළ පුද්ගලික කැමැත්ත යන කාරණය ද්වීතීක දෙයක් බවට පත් විය.

70 දශකයේ ස්ත්‍රීවාදී කතිකාව මතුවන්නේ ලිංගිකත්වය පුද්ගලික දෙයක් ලෙසට සැලකූ සම්ප්‍රධායික අදහස් පද්ධතියටත්, ලිංගිකත්වය ස්වාභාවික දෙයක් ලෙසට සැලකූ හැටේ දශකයේ ලිංගික විප්ලවයටත් ප්‍රතිචාරයක් ලෙසටය. මෙම ස්ත්‍රීවාදී ව්‍යාපාරය විසින් පුද්ගලික දේ දේශපාලනිකයි යන ප්‍රකට ස්ථාවරය ඉදිරියට ගෙන ආ අතර  ස්ත්‍රී හිංසනය, විශේෂයෙන් ලැජ්ජාව, පුද්ගලිකත්වය සහ සමාජ මිත්‍යා අතර සැගව තිබූ ස්ත්‍රී දූෂණය සමාජ කතිකාව තුළට රැගෙන ආවේය. ඇමෙරිකාව පුරා විසිරී තිබුණු ස්ත්‍රී කණ්ඩායම් එවන් අත්දැකීම්වලට භාජනය වූ ස්ත්‍රීන් සමග සම්බන්ධව කටයුතු කල අතර එම අත්දැකීම් හරහා මෙම ගැටළුව පොදු සමාජ ගැටළුවක් ලෙසට ඉදිරියට ගෙන ඒමට ක්‍රියා කලේය. 1971 දී ඇමෙරිකාවේ ප්‍රථම වරට රැඩිකල් ස්ත්‍රීවාදීන් විසින් ස්ත්‍රී දූෂනවලට ලක්වූ ස්ත්‍රීන්ගේ අත්දැකීම් ප්‍රසිද්ධියේ කතාකිරීමේ අවස්ථාවක් සංවිධානය කරන ලදි. මින් ඇරඹි ස්ත්‍රී දූෂණ විරෝධී ව්‍යාපාරය සමාජය තුළ සහ නීතිමය ක්ශේත්‍රය තුළ ස්ත්‍රී හිංසනය සම්බන්ධයෙන් පැවති සම්ප්‍රධායික මත වෙනස් කිරීම වෙනුවෙන් විශාල දායකත්වයක් ලබා දී ඇත. උදාහරණයක් ලෙස ඇමෙරිකාවේ ප්‍රාන්ත රාශියක ලිංගික හිංසන සිදුවීමක්  නඩු මාර්ගයට යෑමට සුදුසුකම් ලැබීමට පවා එම හිංසන සිදුවීමට සාක්ෂි සපයන බාහිර අයකු අනිවාර්යව තිබූ අතර වින්දිතයාගේ ප්‍රකාශය කිසිසේත්ම අදාල  නොවීය. මෙය වෙනස් වන්නේ දීර්ඝ ලෙස ඇදී ගිය ස්ත්‍රීවාදින්ගේ අරගලය හේතුවෙනි.

70 දශකයේ ඇමෙරිකානු ස්ත්‍රී ව්‍යාපාරයේ මූලික චරිතයක් වූ ග්ලෝරියා ස්ටැනම්

1970 දශකය පුරාවට ස්ත්‍රීවාදීන් සමාජයේ ලිංගික හිංසනය සම්බන්ධයෙන් පැවති ඒකාකෘතික මත බිදහෙලීම සදහා විශාල ව්‍යාපාරයක් ගෙන ගිය අතර මේ පිළිබද බරපතල සාහිත්‍යයක්ද නිර්මාණය කලේය. කේට් මිලට්ගේ Sexual Politics, ශුලාමිත් ෆයර්ස්ටෝන් ගේ The Dialectic of Sex සහ පැමෙලා කෙරෝන් ගේ Rape: An Act of Terror මේ සදහා ඇති උදාහරණ කිහිපයකි. මෙලෙස නිර්මාණය කරන ලද ලිංගික හිංසන විරෝධී මතවාදයේ ප්‍රධාන අදහසක් වූයේ ලිංගික හිංසනය ලිංගිකත්වය සම්බන්ධයෙන් වූ කාරණයක් නොව බලය සම්බන්ධයෙන් වූ කාරණයක් බවයි. මෙම වටහා ගැනීම ලිංගික හිංසනය සම්බන්ධයෙන් වූ සංවාදයට නව අර්ථයක් එක් කල අතර ඒ හරහා ලිංගික හිංසන සිදුවීමකදී එතෙක් ප්‍රචලිතව පැවති චින්දිතයාට වැරැද්ද පැටවීමේ භාවිතාව අභියෝගයට ලක් කිරීමට හැකි විය. එනම් ලිංගික හිංසනය හුදු පුද්ගල අත්දැකීමට එහා ගිය පිරිමි බලයේ සහ පුරුෂාධිපත්‍යයේ ප්‍රකාශමාන  වීමක් බවත් මෙම ගැටළුව විසදීමට නම් සමාජයේ අධිපතිව පවතින ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ පරාමිතීන් ව්‍යහාත්මක වෙනසකට භාජනය විය යුතු බවත් ඔවුන් මතුකල අදහස විය.   

එමෙන්ම මෙම රැඩිකල් ස්ත්‍රීවාදීන් අද බහුලව භාවිතා වන “ලිංගික දූෂණ සංස්කෘතිය” නැමති සංකල්පයද හදුන්වාදෙන ලදි. මෙය ලිංගික හිංසනයේ සමාජීය මානය වටහා ගැනීම පහසු කිරීමක් විය. ලිංගික දූෂන සංස්කෘතිය යනු ලිංගික හිංසනය සාමාන්‍ය දෙයක් ලෙස සලකන සහ වින්දිතයන්ගේ හිංසන අත්දැකීම්වලට වින්දිතයන්ටම දොස් පැවරෙන සංස්කෘතියකි. එය ලිංගික හිංසනය පමණක්ම නොව, ස්ත්‍රී හිංසකයන් ආරක්ෂා කරන, ඔවුන්ගේ නිර්දෝශීභාවය ප්‍රවර්ධනය කරන, වින්දිතයින් ලැජ්ජාවට පත් කරන සහ ලිංගික හිංසනයෙන් වැළකීම සඳහා කාන්තාවන්ට අසාධාරණ කැපකිරීම් කරන ලෙස ඉල්ලා සිටින (උදා – පිරිමින්ගේ ලිංගිකත්වය උද්දීපනයවන ආකාරයේ ඇදුම් නොඇදීම, රාත්‍රී කාලයේ ගමන් නොකිරීම) සංස්කෘතික සම්මතයන් සහ ආයතන වලින් ගොඩනැගී ඇත. 70 දශකයේ ස්ත්‍රීවාදී ව්‍යාපාරය සටන්කරන ලද්දේ මෙම සංස්කෘතියට එරෙහිවය. ඔවුහු සංකල්පීය තලයේ සිදුකරන ලද මෙම මැදිහත් වීම් වලට සමගාමීව ඇමෙරිකාව පුරා ලිංගික හිංසනයට භාජනයවන පුද්ගලයින්ට තම අත්දැකීම් බෙදා ගැනීමට සහ එවාට එරෙහිව ක්‍රියා මාර්ග ගැනීමට ප්‍රජා මට්ටමේ ආයතන ගනනාවක් මෙම යුගයේ ගොඩනගන ලදි.

 

No means No ව්‍යාපාරය 

ලිංගික සම්බන්ධතාවයකදී එකඟතාවය සම්බන්ධයෙන් සැලකියයුතු අවධානයක් යොමුවන්නේ 1990 දී  කැනේඩියන් ෆෙඩරේශන් ඔෆ් ස්ටුඩන්ස් නම් කැනඩාවේ ශිෂ්‍ය ක්‍රියාකාරී සංවිධානය විසින් දියත් කරන ලද නෝ මීන්ස් නෝ නැමති ව්‍යාපාරයත් සමගය. මෙහිදී ඔවුන් විසින් ප්‍රධාන වශයෙන් එකගතාවය සම්බන්ධයෙන් පැවති සම්ප්‍රධායික අදහස අභියෝගයට ලක් කලේය. සාමාන්‍යයෙන් ලිංගික සම්බන්ධයකදී ස්ත්‍රියක් එකගතාවය සෘජුව ප්‍රකාශ නොකරන බවත් එය දිනාගත යුතු දෙයක් බවටත් විශ්වාසයක් පැවතුනි. මෙහිදී ස්ත්‍රියක් ලිංගික සම්බන්ධතාවයකදී එයට විරුද්ධතාවය ප්‍රකාශ කිරීම එයට සහභාගීවීමට දක්වන අකමැත්ත ප්‍රකාශ කිරීමක් නොව එය එක්වරම ප්‍රකාශ කිරීම කිරීම පිලිගත් සංස්කෘතික භාවිතාවක් නොවන නිසා සිදුවන දෙයක් බවටත් අර්ථ දැක්විනි. මෙහිදී විරුද්ධත්වය ප්‍රකාශ කිරීම ලිංගික එකගතාවය ප්‍රකාශකිරීමකම මුල් අවස්ථාවක් ලෙස සැළකුනි. නෝ යනු යර්ස් ලෙස සැලකුනි. නෝ මීන්ස් නෝ යන ප්‍රචාරක ව්‍යාපාරය ඉහත කී ශිෂ්‍ය කණ්ඩායම නිර්මාණය කරන්නේ මෙම අදහසට විරුද්ධවය. ඔවුන් ඉදිරිපත් කරන අදහසට අනුව ලිංගික සම්බන්ධයකදී යමෙක් එයට බැහැ යැයි කියන විට එය බැහැ කීමක් ලෙස ගත යුතුය. එහි සැගව ඇති අරුතක් නැත. නෝ යනු නෝ මිස වෙන කිසිවක් නොවේ. මෙම ශිෂ්‍යයින් විසින් දියත් කරන ලද ව්‍යාපාරය කැනඩාවේ පමණක් නොව ඇමෙරිකාවේ සහ තවත් රටවල් රාශියක ජනප්‍රිය වූ අතර එම රටවල නීති පද්ධතිවල ලිංගික එකඟතාව සම්බන්ධයෙන් පදනම් අදහසක් ලෙස මෙය පසුව භාවිතයට ගැනීම ආරම්භ විය. එමෙන්ම මෙම සටන් පාඨය ලොව පුරා ලිංගික හිංසන විරෝධී රැලිවල ජනප්‍රියතම සටන් පාඨයක් බවට පත් විය. ( මෑත කාලයේ ජනප්‍රිය වූ Pink හින්දි චිත්‍රපටය තුළ මෙම තේමාව සාකච්ඡාවට ලක් කර ඇත)

ලිංගික හිංසන සහ දූෂණ සම්බන්ධයෙන් පවතින දත්ත පරීක්ෂා කිරීමේදී එම සිදුවීම්වලින් සියයට 90ක්ම පාහේ සිදුවී ඇත්තෙත් තමන්ගේ සමීපතමයකු අතින් වීම විශේෂයකි. මෙනිසා මෙවන් අවස්ථාවක ලිංගික හිංසනයට භාජනයවන අයෙකු පැහැදිලිව වාචිකව එයට අකමැත්ත ප්‍රකාශ කිරීම හෝ විරෝධය  පෑම එකඟතාවයේ පදනම ලෙස ගැනීම යම් දුරකට ගැටළුකාරීය. එමෙන්ම ස්නායු වෛද්‍යවරුන් පෙන්වාදෙන ආකාරයකට ලිංගික හිංසන සිදුවීමකදී වින්දිතයන්ගේ ශරීර සමහරවිටක  ක්ෂනික අක්‍රියතාවයකට, අකර්මන්‍යතාවයකට  පත්වන බැවින් එම සිදුවීමට ක්‍රියාකාරී විරෝධය පෑමට නොහැකි වී යා හැක. (හොලිවුඩ් චිත්‍රපට නිශ්පාදක හාවී වයින්ස්ටයින් පිළිබඳ නිර්මාණයකර ඇති Untouchable: The Rise and Fall of Harvey Weinstein වාර්තා චිත්‍රපටයේ සම්මුඛ සාකච්ඡා ලබාදෙන වින්දිතයින් මේ පිළිබඳ තමන්ගේ අත්දැකීම් විස්තර කර ඇත) මෙවන් අවස්ථාවලදී ලිංගික හිංසනයකදී වින්දිතයා එයට පැහැදිලි වාචික හෝ ශාරීරික විරෝධයක් දක්වා ඇත යන්න ඔප්පු කිරීමට වින්දිතයාට වඟකීමක් සේ පැවරීම ගැටළුකාරීය. නෝ මීන්ස් නෝ යන්න සීමාකාරී වන්නේ මේ පදනමෙනි. තවද ලිංගික සම්බන්ධයක එකඟතාවය යන කරුනේදී එයට විරුද්ධත්වය ප්‍රකාශ කිරීම ස්ත්‍රීන්ගේ පැත්තට භාරවන සටන් පාඨයකදී ස්ත්‍රීන් ලිංගික විරෝධී හෝ ලිංගිකත්වය සම්බන්ධයෙන් අක්‍රීය රිනාත්මක අය ලෙස නාමකරනය වේ. ඒ හරහා ස්ත්‍රීන් ලිංගික ආශාවන් ඇති සහ තමන්ගේ ලිංගිකත්වය සම්බන්ධයෙන් කතෘත්වයක් ඇති අය ලෙස හදුනාගැනීම වැලකේ. මෙනිසා නෝ මීන්ස් නෝ යන සටන් පාඨය වෙනුවට ක්‍රමිකව ලිංගික එකඟතාවය යන කරුනේදී එයට වඩා පුළුල් නිර්වචනයක් සහ සටන් පාඨයක් වෙත ස්ත්‍රී ව්‍යාපාරයේ අවධානය යොමු විය.

මතු සම්බන්ධයි

බුදධික බණ්ඩාර

(ප්‍රගතිශීලී ස්ත්‍රී එකමුතුව සහ නාඳුනන සාමුහිකය අතර පැවැත්වූ සාකච්ඡාවක් සඳහා ඉදිරිපත් කල ලියවිල්ලකි)