අප වීරයින්ට ණය ගැතිය. අපේ ජීවිතයට අරුතක් ගෙන එන්නේ ඔවුන්ය. ඉරෙන් බැබලෙන සඳ මෙන් අප වීරයන්ගේ ආලෝකයෙන් බැබලෙයි. ඉර මියයන විට ඉරටත් වඩා කලබලවන සද මෙන් වීරයන් මියයන විට වඩාත්ම අර්බුදයට යන්නේ අපය. ඒ ඔවුන් සමග අපගේ ජීවිතයේ කොටසක්ද මිය යන නිසාය. වීරයන්ගේ සැබෑ මරණයට වඩා ඔවුන්ගේ සංකේතීය මරණය භයානකය. සැබෑ මරණයේදී වීරයාගේ වීරත්වය, අභිමානය සහ මතකය අපගේ ජීවිතය සමග ඉදිරයට යයි. අපේ මාවත හුදකලා නැත. අපට කාංසාවක් ගෙන දෙන්නේ නැත. එහෙත් වීරයාගේ සංකේතීය මරණය අප තුළ මේ සියල්ල අහිමිකරයි. එය ක්ෂතිමය අත්දැකීමකි. වීරයන්ගේ සංකේතීය මරණය හමුවේ එය රැක දීමට අප මාරාන්තිකව පෙනී සිටින්නේ වීරයා වෙනුවෙන් නොව අපම වෙනුවෙනි.

අප පාසල් යන කාලයේ පාසලෙන් කට්ටි පැන චිත්‍රපට බැලීමට යාම ජනප්‍රිය දෙයක් විය. අපගේ පාසලේ තාප්පයෙන් පැන්න විට හමුවන කඩ වීදිය දිගේ ටික දුරක් ගිය විට ෆිල්ම් හෝල් එක හමුවෙයි. පාසගේ තුන්වන පීරියඩ් එකේදී පැන චිත්‍රපටිය බලා අවසාන පීරියඩ් එකේදී අපහසුවකින් තොරව නැවත පාසලට පැමිණිය හැක. ඒ කාලය කරාටේ සහ කුංෆු චිත්‍රපටත් වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටත් අතිශය ජනප්‍රිය වී තිබූ යුගයකි. අප නිරතුරුව ගිය චිත්‍රපට ශාලාවේ සැම දිනකම චිත්‍රපටයට ආරම්භ වන තෙක් වාදනයවන සංගීත තැටියක් විය. ඒ කාලයේ එම ගායිකාවගේ හඩ පාසල් ගීය තරමටම අපගේ මතකයේ නිතරම හොල්මන් කලේය.

පසු කාලයක දැනගත්  පරිදි ඒ ගායිකාවක් යැයි සිතූ හඩ  වෙන කාගේවත් නොව මයිකල් ජැක්සන්ගේය. ගීත ඇල්බමය ත්‍රිලර් ය. මෙයට ටික කාලයකට පසු ඒ නම නොදන්න කිසිවෙක් නැතිවිය. එක් පැත්තකින් එම නම විවෘත ආර්ථිකය සමග පැමිණියායැයි සතූ සියළුම නරක දේවල්වල ප්‍රතිමූර්තිය විය. අනෙක් අතින් එය නව නිදහසේ, නූතනත්වයේ සහ තාරුණ්‍යයේ සංකේතය විය. ඒ කාලයේ සිරා පොරක් වීමට කරාටේ, කුංෆූ, ඩ්‍රග්ස් සහ බ්‍රෙක් ඩාන්ස් අනිවාර්ය පැකේජයක් විය. කළු සංග්ලාස් දෙකක් සහ ට්‍රේල් බයික් එකක් තිබේ නම් පොරත්වයේ ප්‍රෝ මැක්ස් තත්වය අනිවාර්යය.

මයිකල් ජැක්සන් සහ බ්‍රේක් ඩාන්ස් බොහෝ දෙනෙක්ගේ පිස්සුව විය. අළුතින් බ්‍රෙක් ඩාන්ස් කෑල්ලක් දැනගන්නවා යනු ජනප්‍රියත්වයට ලගාවිය හැකි කෙටිම පාරය. “දන්නවද, අරූ අළුත් කෑල්ලක් බස්සලා”. මෙවැනි ආරන්චියක් පැතිර ගියේ ලැව් ගින්නක් වගේය. ඉන් පසු එම කෑල්ල දැනගත් කෙනා පිටිපස්සෙන් වැඳ වැටෙමින් ඒ කෑල්ල දැන ගැනීමට කට්ටිය පෝලිමේ යන්නේ මේ කාලයේ අළුත් චින්තකයෙක්ගේ නමක් සොයාගත් කෙනෙක් පිටිපස්සේ කට්ටිය පෝලිමේ යන ආකාරයටමය. ඉන්පසු ඇරබෙන්නේ බ්‍රේක් ඩාන්ස් චැලෙන්ජ්ය. ඒ අළුතින් කෑල්ලක් ඉගෙනගත් කෙනා සහ පරණ පොරවල් අතර ෆයිටි එකයි. ඒ කාලයේ මෙවැනි චැලෙන්ජ් බොහෝ විට පැවතුනේ කනත්තවල් වලය. අප පාසැල් ඇරී පොත් බෑග් කරේ දාගෙන අයියලාගේ බ්‍රෙක් ඩාන්ස් චැලෙන්ජ් බැලීමට යාමට පුරුදුව සිටියෙමු.

මයිකල් ජැක්සන්ගේ බෑඩ් ඇල්බමය එන කාලයේ එම ඇල්බමය මුලින්ම සතු කර ගැනීමත්, සුදු පසුබිමක කළු ඇදුමකින් මයිකල් ජැක්සන් සිටින ජනප්‍රිය බෑඩ් පෝස්ටරය සොයා ගැනීමත් සුවිශාල අභියෝගයක් විය. සුදු කැසට් කවරයක, ජායාරෑප සහ ලිරික්ස් තිබෙන පොතකුත් සමග පැමිණි බෑඩ් කැසට්පටය ඒ කාලයේ අමුතුම අත්දැකීමක් විය. මට කැසට් එක ලබා ගැනීමට හැකිවූ නමුත් පෝස්ටරය සොයා ගැනීමට නොහැකි විය. අපට කෙසේ වෙතත් අපේ නිවෙස් වලට මෙම බ්‍රෙක් ඩාන්ස් පිස්සුව මළ වදයක් වී තිබිණි. ඒ මහ රෑ තිස්සේ බ්‍රෙක් ඩාන්ස් පුහුණු සැසි පැවතීමයි. ඒ කාලයේ පුහුණු වීමට අපහසුම කොටස වූයේ ඔළුවෙන් කැරකෙන කෑල්ලයි. මගේ යහළුවෙක් කෙසේ හෝ මෙය ඉගෙන ගන්නවා යන දැඩි අධිෂ්ඨානයෙන් පසු විය. බිමට දැමූ සිලි බෑගයක සීරැවෙන් ඔළුව තබා එක්වරම පාද දෙක උඩට ගනිමින් කැරකෙන්නට ගන්නා ඔහුගේ උත්සාහය සැමදාම කෙළවර වන්නේ කාමරයේ පුටු දෙක තුනක් පෙරලගෙන මගේ දෙමව්පියන්ද නින්දෙන් අවදි කරමින්ය.

මයිකල් ජැක්සන්ගේ බෑඩ් ගීතයේ සහ බීට් ඉට් ගීතයේ පෙන්නන ගැන්සි ඒ කාලයේ අපේ පාරවල්වලද සිටියේය. කුලියට ගන්නා ලද ගෙවල්වල මත් ද්‍රව්‍ය ගනිමින් වීඩියෝ චිත්‍රපට බලමින් සිටි මෙම තරුණ ගැන්සි වලට අවශ්‍ය ආර්ථික පරිසරය බොහෝ විට මැද පෙරදිගින් (ඩුබායි අම්මලාගේ සල්ලි) සැපයෙමින් තිබිණි. සවසට ට්‍රේල් බයික් ගණනාවකින් සන්ග්ලාස් දාගෙන පාරට බසින මෙම ගැන්සි අපූර්ව දර්ශනයක් විය. අපේ පැත්තේ සිටි මේ ආකාරයේ ප්‍රසිද්ධම ගැන්සිය කුඩු චූටාගේ ගැන්සියයි. (පසු කාලයේ ලන්ඩන් සඟරාවේ පළවූ චූටාද රෝමියෝ ලිපියේ වූටාගේ චරිතයට පාදක වූයේ මෙම චරිතයයි. ඔහු ළගදී මිය ගියේය)

එක් වරම මෙම තත්වය උඩුකුරු වූයේ නාදුනන තුවක්කුකරුගේ පැමිණීමත් සමගය. අපගේ පාරවල් වලින් බ්‍රෙක් ඩාන්ස් ගැන්සි අතුරුදහන් විය. කුඩු චූටා ආගිය අතක් නැති විය. ඩ්‍රග්ස් පමණක් නොව කසිප්පුත් මරණීය දණ්ඩනය ලැබීමේ වරදක් බවට පත් වූ ඒ සමයේ අපගේ දෙමව්පියන්ගේ සදාචාරයේ කරට අතදමා ගත් නාදුනන තුවක්කුකරුවා සංස්කෘතික ඉනිමගේ ඉහළටම නැග්ගේ සැමෝගේම අත්පොළසන් හඩ මධ්‍යයේය. විකාර ගෝෂාකාරී සින්දු අසිමින් සිටි අපි එක්වරම නන්දා මාලිනීගේ සහ කපුගේගේ සිංදු අහන්නට පටන් ගැනීම ගැන අපගේ දෙමාපියන් සතුටු කදුළු හෙළුවේ නාදුනන තුවක්කුකරුවා දෙස කෘතඥපූර්වක බැළුම් හෙළමිනි. ඒත් කාමරයේ මයිකල් ජැක්සන්ගේ පෝස්ටර්  තියාගෙන  පවන අසමින් සිටි අපගේ අළුත් දේශපාලන උණ දෙස නාදුනන තුවක්කුකරුවන් බැළුවේ සැක සහිතවය. විප්ලවයෙන් අප විසිවිය. ජැක්සන් අපගේ ජීවිතය බේරුවේය.

නාදුනන තුවක්තු කරුවන් විප්ලවයේ සිහිනත් සමඟ ශෝචනීය ලෙස වියැකී ගියේය.  ඒ 1989 වසරේ නොවැම්බරයේය. අපගේ කෙටිකාලීන විප්ලවීය සහ සුභාවිත ගී අවධිය අවසන් විය. 1991 වසරේ නොවැම්බරයේ මයිකල් ජැක්සන්ගේ ඩේන්ජරස් ගීත ඇල්බමය නිකුත් විය. මයිකල් ජැක්සන් එම ඇල්බමය සම කලේ අයිලිච් චාකොවුස්කිගේ නට්කැකර් සේ සදාකාලයටම පවතින කලා කෘතියක් ලෙසටය. බෑඩ් ඇල්බමය මෙන් නොව මෙම ගීත ඇල්බමය තුළ වාර්ගික ගැටළු, සමාජ ප්‍රශ්න, ජීවිතය සහ ළමා අයිතිවාසිකම් ආදී පළල් පරාසයක විහිදී තිබිනි. ජැක්සන් තව දුරටත් ත්‍රිල් එකක් පමණක් නොවීය. ජැක්සන් දේශපාලනික විය.  අපගේ දේශපාලනයට නව භාශාවක් හමු විය.

1993 වසරවන විට මයිකල් ජැක්සන් සිටියේ ජනප්‍රියත්වයේ ඉහළම තලයේය. ඩේන්ජරස් ඇල්බමය විචාරකයන්ගේ ඉහළ ඇගයීමකට ලක්වුනු අතර වානිජවද අති සාර්ථක විය. ජැක්සන්ට මෙම ඇල්බමය සදහා ග්‍රැමී සම්මාණ උළෙළ, ඇමෙරිකානු සංගීත සම්මාණ උළෙල, එම් ටී වී සම්මාණ උළෙල ඇතුළු සම්මාණ උළෙලවල් රාශියකින් සම්මාණ ලැබිණි. ජැක්සන් ඩේන්ජරස් සංගීත ඇල්බමය සමග සාර්ථක ලෝක සංචාරයක් ආරම්භ කර තිබිණි. උද්වේගකර රසික ප්‍රතිචාර මැද චිත්තාකර්ශනීය ලෙස පැවතිනු ඒ සංගීත ප්‍රදර්ශනයේ රෑප රාමු ලංකාවේ රෑපවාහිණියේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශනයේ පුවත් ලෙස ප්‍රකාශ විය. මේ අතර ලංකාව නව දේශපාලන පෙරළියක් අබියස සිටියේය.

දේශපාලන චිත්‍රයෙන් ජනතා විමුක්ති පෙරමුණ මැකී ගොස් තිබිණි. නාදුනන තුවක්කු කරුවන්ගේ උණ්ඩයෙන් අසීරුවෙන් දිවි ගලවාගත් 71 කැරැල්ලේ පරම්පරාවත්, ජවිපේ නොවන පැරණි සහ නව වමේ ක්‍රියාකාරිකයනුත් සිවිල් සමාජ සටන්කාමීන් ලෙස නව දේශපාලන සිතියමේ ඉදිරියෙන් සිටියේය. මගේ බාප්පා 71 කැරැල්ලේ සාමාජිකයෙක් වීමත්, විජය කුමාරතුංග වටා නිර්මාණය වූ වාමාංශික පෙරමුණේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වීමත් නිසා අපගේ නිවස මෙම ක්‍රියාකාරීන් නිතර ආගිය තැනක් විය. නුමුත් මයිකල් ජැක්සන්ගේ, ජිප්සීස්ගේ සිංදු අහන, ක්‍රිකට් ගහන අප දෙස ඔවුන්ගේ දැක්ම කෙතරම් දේශපාලනික විරුද්ධවාදීන් වුවද නාදුනන තුවක්කු කරුවන්ගේ දැක්මට සමාන විය.

මේ අය අතර සංස්කෘතික තලයේ වෙනස කපුටා සහ කොහා අතර ඇති වෙනස වැනි විය. ජාතික ගැටළුවේදී වෙනස් අදහස් දැරුවද ඔවුන් සියල්ල විප්ලවයේ බිත්තර රැකගන්නට උත්සාහ කලේ එකම සංස්කෘතික කැදැල්ලක් තුළය. ඔවුන් දෙගොල්ලන්ම අපි වැනි සූටික්කන් දේශපාලනිකව බරලතලව බාර ගත්තේ නැත. ඒත් අප සිටියේ ගෝලීය සංස්කෘතියක හෙවනැල්ලකින් ආරක්ෂා වෙමිනි. ඔවුන් එය අභියෝගයක් ලෙස සැළකුවේය. මයිකල් ජැක්සන් සමග ගෝලීය ජනප්‍රිය සංස්කෘතිය දේශපාලනයක ස්වරූපයෙන් වාමාංශය තුළට මාධ්‍ය හරහා කාන්දු වෙමින් තිබිනි. අපි නව ජවයකින් වාමාංශයේ දොරකඩ ලග රස්තියාදු ගහමින් සිටියේ ඔවුන්ට අප දෙස බලන්නැයි කොනිත්තමිනි.

එක් දිනක් මා කාමරයේ සිටින විට රෑපවාහිණි ප්‍රවෘත්ති විකාශයේ මයිකල් ජැක්සන්ගැන ප්‍රවෘත්තියක් යනු ඇසී සාලයට දිව ආවේය. ඒවන විට මාගේ බාප්පා තාත්තාත් සමග ප්‍රවෘත්ති ප්‍රකාශය නරඹමින් සිටියේය. එය වෙනදා මෙන් මයිකල් ජැක්සන්ගේ සංගීත ලෝක සංචාරය පිළිබද ප්‍රවෘත්තියක් නොවීය. මයිකල් ජැක්සන්ට 13 හිවිරිදි පිරිමි දරුවකු ලිංගික අපහරණය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වීම එම ප්‍රවෘත්තියයි. 1993 වසරේ ජූලි මාසයේ මයිකල් ජැක්සන්ට එරෙහිව එල්ල වූ මෙම වෝදනාව ලෝකය පුරා මාධ්‍යවල ප්‍රධාන පුවතක් බවට පත්විය. ජැක්සන්ගේ ඩේන්ජරස් ලෝක සංගීත සංචාරයේ තුන්වන අධියර ආරම්භයේදීම එල්ල වූ මෙම වෝදනාව හේතුවෙන් අතරමග නතර කරනු ලැබීය. මට කිසිමදාක අමතක නොවන දෙය නම් ප්‍රවෘත්ති විකාශය අවසන් වු පසු ආපසු ගෙදර යන ගමන් මගේ පිටට තට්ටුවක් දමා “අරයට කේස් එකක් නේද?“  කියා පිටව ගිය බාප්පාගේ මුහුනේ හීනියට ඇදී තිබූ සිනහවයි.

දෙවි වරුන්, වීරවරයන්, ස්වාමිවරුන් නිර්මාණය කරන්නේ අප විසිනි. ඔවුන් දිගටම පූජාසනයේ සිටින බව සිටීමට අප ආශා කළද  ඔවුන් ඔවුන්ට කැමති වේලාවල් වලට එයින් බැස යයි. එයින් අර්බුදයට පත්වන්නේ වීරයන්ට වඩා ඔවුන්ව නිර්මාණය කරන අපය. ඒ ඔවුන් බැස යන්නේ අපගේ අනන්‍යතාවයේ කොටසක්ද සාක්කුවේ දමා ගෙන නිසාය. මෙම අහිමි වීමට මුහුණ දීම සිතන තරම් පහසු නැත. අප දිවි හිමියෙන් අපගේ වීරයා දිගටම පූජාසනයේ සිටියා යැයි කියන මිත්‍යාව අනෙක් අයටද අපටමද ඔප්පු කිරීමට කැප වන්නේ මෙනිසාය. මයිකල් ජැක්සන් යනු මා හට හුදෙක් ලෝක ප්‍රසිද්ධ ජනප්‍රිය ගායකයකු පමණක් නොවේ. එය ඓතිහාසිකව මගේ අනන්‍යතාව නිර්මාණය කිරීමේ ප්‍රධාන සාධකයකි. එළියේ ලෝකය තුළ ජැක්සන් මිය ගියද මාගේ ලෝකයේ ජැක්සන් එලෙස පහසුවෙන් මිය යා නොහැකිය. මම එයට ඉඩ දෙන්නේ නැත.

මයිකල් ජැක්සන් ගේ ළමා අපචාර සිදුවීම මා බාරගත්තේද ආගමක් විශ්වාස කරණ සාමාන්‍ය බැතිමතකු ක්‍රියා කරන ආකාරයටමය. මුළින්  විශ්වාසයයි. පසුව එම විශ්වාසය ඔප්පු කිරීමට බාහිරින් කරුණු ගොඩ ගැසීමමයි. මම ජැක්සන් ළමා අපචාර සිදු කලේ නැතැයි යන කරුණ විශ්වාස කිරීමට තෝරා ගත්තේය.  ඉතිරිය සරළය. ජැක්සන් වගේ කෙනෙක් මොකටද තමන්ගේ ලිංගික ආශාව වෙනුවෙන් මේ ව‍ගේ දෙයක් කරන්නේ. මේක ජැක්සන්ගෙන් සල්ලි ගන්න කරපු වැඩක්, ජැක්සන් එක්ක හිටපු කොව්වර පුංචි ළමයි ඒගොල්ලන්ට එහෙම දේවල් වෙලා නැති බව කියල තිබෙනවද? දැකපු සාක්ෂියක් තියෙනවද? නීතියෙන් ඔප්පු වෙලා තියෙනවද? ලෝක සංගීතයට සුවිශාල දායකත්වයක් කල අයෙකු විනිශ්චය කළ යුත්තේ මෙවැනි කරුණු තුළින්ද? මෙවැනි චොදනා හරහා ඔහුගේ පුද්ගලික ජීවිතයට, ඔහුගේ නිර්මාණ ජීවිතයට සහ ලෝක සංගීත ක්ශේත්‍රයට වූ හානිය තක්සේරු කරන්නේ කවුද? මා හට මතක ලෙස ජැක්සන් මිය යනතෙක්ම ජැක්සන් වෙනුවෙන් අන් අය සමගත් මා සමගත් මෙසේ මා තර්ක කර ඇත.

මයිකල් ජැක්සන් මිය යන විට ඔහුට එල්ල වී තිබූ ළමා අපචාර චෝදනා සම්බන්ධයෙන් අධිකරණයෙන් නිර්දෝශී ලෙස නිදහස් කර තිබිණි. දැන් ඔහු මිය ගොස් වසර ගණනාවක් ගත වී ඇත. 2019 වසරේ ඩෑන් රීඩ්ගේ “ලීවින් නෙවලෑන්ඩ්“ වාර්තා චිත්‍රපටය හරහා මයිකල් ජැක්සන්ගේ ළමා අපචාර සිදුවීම යලි මතුවී ආවේය. මේ වන විට ලිංගික අපචාර සම්බන්ධයෙන් පොදු සමාජ මතයට මීටූ සමාජ ව්‍යාපාරයෙන් විශාල බලපෑමක් එල්ල කර තිබූ අතර ලිංගික අපචාර සම්බන්ධයෙන් වින්දිතයාගේ කෝණයෙන් බැලීම ප්‍රධාන කතිකාවට පැමිණ තිබිනි. මයිකල් ජැක්සන්ගේ ඩයි හාඩ් ෆෑන්ස්ලා සහ පවුලේ සාමාජිකයන් හැරෙන්නට මෙහිදී ජැක්සන් වෙනුවෙන් බොහෝ දෙනෙක් පෙනී සිටීමට ඉදිරිපත් වුනේ නැත. බොහෝ බටහිර මාධ්‍ය කෙටි කාලීනව මයිකල් ජැක්සන්ගේ ගීත වාරණයකට ලක් කලේය.

අද  දිනයේ  සිට මයිකල් ජැක්සන්ගේ ළමා අපචාර සිද්ධිය දෙස බලන කළ මයිකල් ජැක්සන් ළමා අපචාර සිදුකර ඇති බව කෙතරම් පැහැදිලි දෙයක් ද යන්න මට සිතෙන විට මගේම අතීතය පිළිබද මට සිනහවක් නැගේ. ජැක්සන්ගෙන් ලිංගික අතවරයට ලක්වූ ළමයින්ගේ වයසේ සිටින මගේ දුව ජැක්සන්ගේ ද වේ යු මේක් ෆීල් ගීතය ඇසෙන සෑම විටකම නටන්නට පටන් ගනී. මගේ සහෝදර වායෝ සංගීත කණ්ඩායමේ ප්‍රසංගවල මයිකල් ජැක්සන්ගේ ගීත කිහිපයක් බොහෝ විට අඩංගු වේ. ලෝකයේ සෑම තැනකම තවම මයිකල් ජැක්සන්ගේ ගීත වාදනය වේ. ළමා අපචාර සිදුවීම ජැක්සන්ගේ නම ලෝකයට අහිමි කර නැත.

එහෙත් මගේ දුවගේ අනාගතය තුළ ඇය දකින ඉතිහාසය මයිකල් ජැක්සන් සම්බන්ධයෙන් ඒකමානී ඉතිහාසයක් නොවනවා ඇත. මයිකල් ජැක්සන්ගේ ඉතිහාසයට සමගාමීව ඔහුගේ වින්දිතයින්ගේ ඉතිහාසයද ජීවමානව තිබෙනු ඇත. එනිසා ඇය රසිකාවියකුගේ මෙන්ම වින්දිතයකුගේ ඇසෙනුත් මයිකල් ජැක්සන් දකිනු ඇත. එවන් ලෝකයක රසිකයකු ලෙස ළමා අපචාරකයකු ආරක්ශා කිරීමේ මගේ අතීතයද විනිශ්චයට භාජනය වෙනු ඇත. සාමාන්‍ය මිනිසුන් වෙනුවෙන් දේශපාලනිකව පෙනී සිටින ගමන් මගේ අනන්‍යතාවය අර්බුදයට යන නිශ්චිත තැනේදී පීඩිතයා අතහැර වීරයා තෝරා ගැනීම ඇය දේශපාලනිකව ප්‍රශ්න කරන ලෝකයක සතුටින් චූදිතයෙකු වීමට මම කැමතිය.

බුද්ධික බණ්ඩාර