unnamed

කළු ජාතිකයන් කෙරෙහි ඉන්දියානු ජාතිවාදය, සුදු ජාතික ජනයාගේ ජාතිවාදයට වඩා නරක තරම් ය.” අරුන්දතී රෝයි සමඟ ‘දලිත් කැමරා’ සඟරාව කළ සාකච්ඡාව – අවසන් කොටස

දලිත් කැමරා – ශීග්‍ර ආර්ථික වර්ධනය සහ පුරවැසි සවිබල ගැන්වීම සඳහා “සන්නද්ධ ඩිජිටල් තාක්ෂණයන්” වලට ඩිජිටල් ඉන්දීය ව්යාපෘති ආණ්ඩුව විසින්ම හඳුන්වාදී ඇත. ආරෝග්‍යා සේතු ඇප් එක සහ MyGovCoronaHub යන මෙම ව්යාපෘතියේ කොටසක් ලෙස හඳුන්වා දී තිබේ. ඔබේ අදහසට අනුව, ඩිජිටල් තාක්ෂණයන් භාවිතා කිරීමෙන් ඇත්තටම ඉන්දීය රජය අදහස් කරන්නේ කුමක්ද? එය විසින් සවිබලගැන්වීමට අදහස් කරන ඉන්දීය පුරවැසියා සමන්විත වන්නේ කාගෙන්ද සහ කුමන ආකාර වලින්ද? අදහසක් හැටියට වුවත් , ඔවුන්ගේ බහුතරයක් දෙනා පුරවැසියන් වුවද, කාවද එය විසින් බැහැර කරන්නේ?

අරුන්දතී – 2022 වන විට ස්මාට්ෆෝන් භාවිතා කරන්නන් සංඛ්යාව මිලියන 440ක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. යෝජිත ජනගහණයෙන් තුනෙන් එකකටත් වඩා එය අඩුය. මාර්ගගත ඉගෙනීම සඳහා ස්මාට් දුරකථන ඔවුන් සතුව තිබෙනු ඇතැයි දැන් ලමයින්ගෙන් පවා අපේක්ෂා කෙරේ. ඉතින් මෙම ඩිජිටල් ඉන්දියාව සඳහා වන මහා සැලසුම් විසින් ජනගහණයෙන් බහුතරයක් බැහැර කරයි. ඔබ සඳහන් කළ ඇප්ස්… ඒවා තවමත් නොමේරූ සහ අසම්පූර්ණ වුවද ඒවා හඳුන්වා දී ඇත. තාක්ෂණය සහ කෘතීම බුද්ධිය ඇතුළු තවත් ඒවා විසින් දැවැන්ත සෞඛ්ය ගැටලු, අධ්යාපනය සහ දරිද්රතාවය විසදාවි කියා විශ්වාස කරන මෙම බිල් ගේට්ස් පන්නයේ ප්‍රවේශය අනතුරුදායකය. අපිට අවශ්‍යයි දේශපාලනික විසඳුම්. අයුක්තිය, සාගින්න, නව-ජාතිවාදය,නව-කුලවාදය, ඉස්ලාම් භීතිකාව සහ පාරිසරික විනාශය නව ලිබරල් ධනවාදය තුළට කේතනය කර ඇත. ඇප්ස් සහ ව්යාජ ඩිජිටල් කාර්යක්ෂමතාවයට ගැටලුව විසදිය නොහැකි වගේම විසදන්නේ ද නැත. ඒවායින් අදහස් කරන්නේ අපව පුද්ගලීකකරණය කළ ධනවාදී ආවේක්ෂණ රාජ්යයට ගැටගැසීමටයි.

දලිත් කැමරා – කේරළ ආණ්ඩුව විසින් විධිමත් කිරීමට උත්සාහ කළ අධ්‍යාපන මාදිලියක් වන මාර්ගගත අධ්‍යපනයට ප්‍රවේශ වීමට හැකියාවක් නොතිබූ නිසා දේවිකා නම් දලිත් ශිෂ්‍යාව මෑතකදී සියදිවි නසා ගත්තාය. තාක්ෂණය යන්න ඓතිහාසිකව, සමාජය ප්‍රජාතන්ත්‍රීකරණය කරනා මාධ්යයක් ලෙස සැලකේ. කෙසේවෙතත්, ඉන්දියාව තුළ තාක්ෂණය තවදුරටත් බැහැකිරීමට සහ ආන්තිකකරණය කිරීමට අවස්ථාවක් බවට පත් වෙනවා, හරියට අපි දැක්ක දේවිකා සහ මාර්ගගත අධ්යාපන පිළිබඳ සිද්ධිය යනාදිය වගේ. කොහොමද අපගේ සුවිශේෂ සංදර්භය තුළ මෙම පරස්පරතාවය අපට හැසිරවිය හැක්කේ?

අරුන්දතී – මම හිතනවා ඔබගේ පෙර ප්‍රශ්නයට දුන් පිළිතුර තුළ මෙම ප්‍රශ්නයට ගොඩක් දුරට මම උත්තර දී තිබුනා කියා. අවවරප්‍රසාදිත පසුබිම් වලින් එන දරුවන්ට මාර්ගගත අධ්‍යාපනය ව්‍යසනයක් බවට පත්විය හැක. දේවිකා සිය දිවි නසාගත්තේ  බැහැර කිරීමේ ගැඹුරු ළිඳ තුළට තමාව වැටෙනවා දුටු නිසා ය. මොකද ඇයට ස්මාට් ෆෝන් එකක් තිබුණේ නැහැ සහ රූපවාහිනිය අලුත්වැඩියා කිරීමට නොහැකි තරම් ඇගේ පවුල දුප්පත් වූ නිසාය. ඇය වගේ අය මිලියන් ගණන් ඉන්නවා. එහෙත් ස්මාට් දුරකථන ඇති අයට පවා- පාසල්, විශ්වවිද්යාල, කැම්පස් සහ පන්තිකාමරවලින් පිටත සිදුවන සියල්ල ද  පන්තිකාමරවල ඇතුළත සිදුවෙන දෙය තරම්ම තරුණ අය සඳහා වැදගත් වේ. දලිත්, ආදිවාසී සහ දැන් වැඩි වැඩියෙන් මුස්ලිම් ශිෂ්‍යයන් පාසල්, විශ්වවිද්යාලවල විශාල දුෂ්කරතාවයක ට මුහුණ දී සිටිති. නමුත් අපි හැමෝම විසින් එම අරගල කළ යුතුය. මාර්ගගතව අපිව හුදෙකලා කිරීම අපෙ සමාජය තුළ වඩාත් භයානකම දෙය වෙනු ඇත. මම මෙම මාර්ගගත අධ්යාපනයේ අදහස මුල් බැසගැනීම ගැන දැඩිව බිය වෙමි-  දිගු කලක් තිස්සේ අධ්යාපනයෙන් නිරායෝජනය කිරීමට සහ පුද්ගලීකරණයට අපේක්ෂා කළ ආණ්ඩු මෙම මාර්ගයට පිවිසෙන්නට උත්සාහ කරනු ඇතැයි දැඩිව බියවෙමි . අපට එයට ඉඩ දිය නොහැක.

දලිත් කැමරා – මෑතකදී, ඔබත් බොහෝ ජාත්යන්තර ක්රියාකාරීන් සහ විද්වතුන් සමඟ ප්‍රගතිශීලී ජාත්‍යාන්තරය නම් වැඩසටහනක් දියත් කලා. අපිට දැනටමත් තියෙනවා වාමාංශික ජාත්‍යන්තරවාදයක් සහ කලු ජාත්‍යන්තරවාදයක්..යනාදිය. එහෙත් මෙම උත්සාහයන් බොහොමයක් බිඳී ගොස් ඇත සහ කෙසේ හෝ දේශපාලනික පරිකල්පනයනුත් ජාතිකකරණය වී ඇත සහ ජනවාර්ගිකකරණය වී ඇත. ජාතික ජනප්‍රියවාදය සහ ලෝක පද්ධතියේ සම්පූර්ණ අසාර්ථකත්වයේ සන්දර්භය තුළ ප්‍රරගතිශීලි ජාත්‍යායන්තරවාදය ඉදිරියට යන්නේ කෙසේද?

අරුන්දතී – ජාත්‍යන්තර මුල පිරීම් වැදගත් ය. මක් නිසාද යත්, ඒවා අපිට දෘෂ්ටිකෝණයක් දෙන, අවබෝධය, ආරක්ෂාවෙන් ස්වල්පයක් සහ සහයෝගීතාවයේ මාවත් ලබා දෙන බැවිනි. විශේෂයෙන් අපගේ වගේ රටවල, දේශපාලනික වාගාලංකාරය මෙම අවලස්සන හින්දු ජාතිකවාදය බවට පත්වී ඇති දැන් වගේ කාලයක. එහෙත් දේශීය සංවිධාන ගත කිරීම් සහ විරෝධතා වලට ජාත්‍යාන්තරවාදය ආදේශ කළ නොහැකියි සහ එසේ නොකළ යුතුයි. එය විශාල වැරැද්දක් වනු ඇත. අපි අපේ අරගල සඳහා සටන් කළ යුතුයි, සහ බොහෝ දුරට අපි තනි වී සිටිනු ඇත. කිසිවෙකුට අපිට උදව් කළ නොහැකියි.

දලිත් කැමරා – ගෝලීය විරෝධතා ව්‍යාපාර ක්‍රමානුකූල ප්‍රතිසංස්කරනවාදී සර්වසුභවාදී ක්‍රියාවන්ට වඩා දැන් වඩාත් රැඩිකල් සහ පද්ධතිගත වෙනසක් ඉල්ලා සිටී. හින්දු නාසි රෙජීමය යටතේ පවතින හින්දු ලිබරල් ලෞකික මහජන බුද්ධිමතුන් ගේ සර්වසුභවාදී ප්‍රතිසංස්කරනවාදී දේශපාලනික න්‍යයාය පත්‍රය තවමත් අවධාරනය කිරීම ඉන්දීය සංදර්භය තුළ කොහොමද ඔබ දකින්නේ ?

අරුන්දතී –  ඊට කෙටි උත්තරය නම් පවතින සමාජ/ආර්ථික/බුද්ධිමය තත්ත්ව තුළ පරදුවට තැබීමට යමක් ඇති මිනිසුන් විප්ලවය සිදුකිරීමට එළබීම දුර්ලභබව  යි. ඔවුන් යම් නැවත පින්තාරු කිරීමකට හෝ නව නල ඇදීමකට කැමති විය හැක. කුඩා ඇදීම් සහ එබීම් කරාවි- එහෙත් ඊට වඩා දෙයකට කැමති නැත. ප්‍රජාතන්ත්රවාදය, සමානාත්මතාවාදය සහ යුක්තියේ පරීක්ෂණයෙන් ඉන්දියාවේ සෑම මහජන ආයතනයක්ම පාහේ අසමත් ව ඇති අතරතුර ඔවුන් ඒ කෙරෙහි විශ්වාසය තබාගනී. මෙම වර්තමාන රෙජීමය හින්දු නාසි රෙජීමයක් ලෙස ඔබගේ වාර්ගීකකරණය ඉදිරියේ බොහෝ දෙනා හැකිලෙනු ඇත. එහෙත් ස්වාමි ජාතිය පිළිබඳ ෆැසිස්ට් විශ්වාසය බ්රාහ්මණවාදය සහ භූදේව -බ්රාහ්මණයන් පෘථිවියේ දෙවියන්ය – යන සංකල්පයෙන් දුරස්ථ නැති බවයි. දිව්‍ය වරම මඟින් සමහර මිනිසුන් අනෙකන්ට වඩා නිසගයෙන්ම උසස් හෝ පහත් වන අදහස පහසුවෙන් ස්වාමි ජාතියේ ෆැසිස්ට් අදහස තුළට ලිස්සා යන්නේ කෙසේදැයි දැකීමට අසීරු නැත.

දලිත් කැමරා – දැන් ක්රියාත්මක එන් ආර් සී – සී ඒ ඒ – එන් පී ආර් විරෝධී ව්‍යාපාරයේදී, අපි දකිනවා ආණ්ඩුක්‍රම ව්යවස්ථාව සහ ඉන්දීය ජාතික කොඩිය පෙරදැරි කර ඇති අයුරු. අපගේ ප්‍රශ්නය විශේෂයෙන්ම ව්‍යවස්ථාව පිළිබඳවයි. ව්‍යාපාරයේ පෙරමුණේ සිටින අයගේ අනන්‍යතාවන් කේන්ද්‍රගත කිරීමට අප ඉඩ නොදෙන ආකාරයට, දලිත්- බහුජන්-මුස්ලිම් ප්‍රධාන ප්‍රශ්නයෙන් ඉවතට හැරවීමට ව්‍යවස්ථාව යොදාගෙන ඇති බව ඔබට හැඟෙනවාද? ඔබට අනුව මෙහි ගම්යාර්ථයන් මොනාද?

අරුන්දතී – ඇත්තෙන්ම මෙය සංකීර්ණයි. ඉතා හොඳ හේතු කීපයක් නිසා, මිනිසුන්ට ඔවුන්වම පින්තාරුවේ කොනකට කොටු කරගැනීමට බල කෙරී ඇත. ආචාර්ය අම්බෙඩ්කාර් කෙටුම්පත් කමිටුවේ සභාපති ධූරය දැරූ ඉන්දීය ව්යවස්ථාව, එය කෙටුම්පත් කළ සමාජයේ තත්ත්වය අනුව එහි කාලයට වඩා බොහෝ ඉදිරියෙන් තිබූ ලේඛනයකි. සදාචාරාත්මකව සහ නීත්‍යානුකූලව සියලු මනුෂ්‍යයන් එක හා සමානය සහ සමාන අයිතිවාසිකම් ඇතැයි යන නීතිය පළමු වරට නියම කරනු ලැබූ අවස්ථාව එයයි. ඉන්දියාවේ අප තරම් විවිධතත්වයෙන් යුතු සහ කුලය පිළිපදින සමාජයක් තුළ – ඉතා ඉහළ සහ ඉතා පහළ හැර ඉනිමගේ උඩ සිට පහලට සෑම කෙනෙක්ම පීඩිතයකු සහ පීඩකයකු වන – මෙම ව්‍යවස්ථාමය සදාචාරයේ සහ සමානාත්මතාවයේ අදහස විශාල දෙයක් විය. විශේෂයෙන් දලිත් අයට එය ශුද්ධ ග්‍රන්ථයක් බවට පත් ව ඇත. කාලය තුළ ගල් ගැසී ඇත.

උත්ප්‍රසාත්මක ලෙස, ආණ්ඩුක්රම ව්‍යවස්ථාවේ බොහෝ අංශ පිළිබඳව අම්බෙඩ්කාර් දැඩිව කලකිරීමට පත් වී එය ජීවමාන ලියවිල්ලක් විය යුතු යැයි විශ්වාස කළ අතර සෑම පරම්පරාවක්ම එය වැඩි දියුණු කිරීමට කටයුතු කළ යුතු බව විශ්වාස කළේය. එහෙත් හින්දු දක්ෂිණාංශයේ නිරන්තර ප්‍රහාරයෙන් එය ආරක්ෂා කිරීමේ අවශ්‍යතාවයෙන් පෙනී යන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීම සඳහා වන ඉල්ලීම් ප්‍රගතිශීලි නොව ප්‍රතිගාමී බව ය. එබැවින් එය ආරක්ෂා කරගැනීම සඳහා අප එය වටා පෙළගැසිය යුතුය. එය ආරක්ෂා කරන අයට, විශේෂයෙන් දැන් ආර් එස් එස් බලයේ සිටින විට, යම් ආකාරයක ව්‍යවස්ථාවාදයකට යොමු වීමට සිදුව තිබේ. 2019 කම්පිත වසරකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කර කාෂ්මීරයේ විශේෂ තත්ත්වය අවලංගු කර මුස්ලිම විරෝධී පුරවැසි සංශෝධන පනත ක්‍රියාත්මක කිරීමෙන් ගම්‍ය වන්නේ ආණ්ඩුක්රම ව්‍යවස්ථාව නැවත-ලිවීම සහ නිල වශයෙන් ඉන්දියාව හින්දු ජාතියක් ලෙස ප්‍රකාශ කරනවා වෙනුවට මෙම ආණ්ඩුව එය හුදු ලෙස කඩකරන්නට යන බව සහ අපිට තවදුරටත් ව්‍යවස්ථාවක් නොමැති ලෙස හැසිරෙනු ඇති බවයි.

ජාතික විරෝධී පකිස්ථානය කෙරෙහි අනුකම්පාවන්නන් සහ ත්‍රස්තවාදීන් ලෙස මුස්ලිම්වරුන්ව යක්ෂකරණය කිරීම, ඔවුන්ට එරෙහිව ප්‍රධානධාරාවේ මාධ්ය විසින් අවමානුෂික කරනා කුරිරු භාෂාව භාවිත කිරීම ද  උසාවි තුළ සහ පොලිස් ක්රියාමාර්ග තුළ පක්ෂග්‍රහීත්වය සහ වීදිවල ලේ වැගිරීම්  ද නිසා, විරෝධතා කරනා මුස්ලිම්වරුන්ට  තමන්ට  වීදිවලදී ආරක්ෂා විය හැකි එකම ක්රමය යැයි හැඟෙන්නේ ඉන්දියානු ධජය ලෙලදීම සහ ව්යවස්ථාවේ පූර්විකාව ගායන කිරීම බවයි. මුස්ලිම්වරුන් සමාජීයව සහ ආර්ථිකමය  ලෙස වර්ජනය කරන විට, ප්රධාන ධාරාවේ රූපවාහිනි නාලිකා  #coronajehad සහ #humanbombs ලෙස විවෘතව විකාශනය කරන අතර, සී ඒ ඒ විරෝධතා සිදුවෙන අතරතුර වගේම කොරෝනා අපට පහර දුන් පසුවද, මුස්ලිම්වරුන්ට සෞඛ්‍ය ප්‍රතිකාර ප්‍රතික්ෂේප කිරීම ගැන බිහිසුණු කතා අපට අසන්නට ලැබෙන අතර, බීජේපී පක්ෂයේ කපිල් මිශ්‍රා ආඩම්බරයෙන් එහා මෙහා යන අතර “දෙශ් කි ගඩ්ඩාරොන් කෝ, ගෝලි මාරෝ, සාලෝන් කෝ” යන ගායනයට නායකත්වය දුන් අනුරාග් තාකූර් ප්‍රාන්ත මුදල් අමාත්‍ය වන අතර මුදල් අමාත්‍යවරියගේ මාධ්‍ය සාකච්ඡාවේදී ඇය අසළින් හිඳගෙන සිටියා.

එය එක්තරා ආකාරයක නිර්ලැජ්ජිත පොදු සංඥාකරණයක්. ඉතා ඉහළ සිට. ජාතික ගීය ගායනය කිරීමට ඔහුට පොලීසිය බල කරන අතරම, පොලිසි ලතී මුගුරක් ෆයිසාන්ගේ උගුර තුළට තල්ලු කර ඔබා පාරේ කෙමෙන් මියැදෙන්නට අතැර දමා තිබූ ෆයිසාන් ගේ දර්ශනය  කවදා හෝ අපට අමතක කළ හැකිද? එක්සත් ජනපදයේ අප්රිකානු ඇමෙරිකානුවෙක්ට එය සිදු වූයේ නම් කුමක් සිදුවේදැයි ඔබට සිතා ගත හැකිද? අපේ ලැජ්ජාව කොහෙද? කෙසේ වෙතත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවාදය පිළිබඳ ඔබේ ප්‍රශ්නයට පිළිතුරු සපයන්නේ නම් , ඉන්දියාවේ විරෝධතා කිරීමට, කුමක් හෝ කීමට අවසර ඇත්තේ කාටද යන්න  ඔවුන්ගේ ආගම, කුලය,ජනවාර්ගිකත්වය සහ ස්ත්‍රී පුරුෂභාවය මත රඳා පවතී. සමානාත්මතාවය යනුවෙන් දෙයක් මෙහි නොමැත- සමානාත්මතාවය පිළිබඳ අදහසේ ඉඟියක්වත් නැත. එහි මවාපෑමක්වත් නැත. බුද්ධිමය, සමාජීය සහ ආර්ථික වශයෙන් රටක් ලෙස අපට ශාප කරන්නේ මෙයයි. සෑම කෙනෙකු සඳහා ම යුක්තිය, ප්‍රතාපය සහ ගෞරවය උදෙසා වෙහෙසීම ට වඩා විමුක්තියක්, ප්‍රමෝදයක් තවත් නැත. ඒ සඳහා අප පන්තියේ,කුලයේ, ස්ත්රී පුරුශ භාවයේ වගේම ආගමික-නිකායවාදයේ ප්‍රිස්ම හරහා බැලිය යුතුය. මෙය,  අප එරෙහිවන බලවේගයන්ට මෙන්ම විරෝධතා ව්යාපාර වලට ද අදාල වේ. අපි එය ඉගෙන ගන්නා තුරු, අපි සඳහටම වර්ධනයෙන් අඩාල වී සිටිමු.

පරිවර්තනය – ප්‍රබුද්ධ ධනුෂ්ක දික්වත්ත