රාජනී – ඔබ සමාජ ව්‍යාපාරයකි

 2

ඇය

පා ගමන තහනම් විය. නියෝගය පැමිණියේ කාගෙන් ද යන්න එම මොහොතේ අවිනිශ්චිත විය. දෘශ්‍යමාන තහනම ට වඩා අවිනිශ්චිත තහනම සැමවිටම බලවත් ය. එ් සමග සාකච්චා කළ නොහැක.

සංස්කෘතික ප්‍රසංගයට තවත් මද වේලාවක් ඇත. අපි යාපනය පුස්තකාලය දෙසට ගමන් කලෙමු. බයිසිකල් වලින් පැමිණි තරුණයෝ කණ්ඩායමක් අපව නැවැත්වූහ. සමහරු දෙමළ ය. සමහරු සිංහළ ය. එත් ඒ දෑස්. බලයෙන් අදුරු වී ගිය දෑස්. ඒ සියල්ල එක සමාන ය.

බලය දෑස් අන්ධ නොකර යි. එය මිනිසකු තමන් වැනිම මිනිසකු දෙස බලන ආකාරය වෙනස් කරයි. අනෙකෙකු පාලනය කිරීමට ලැබෙන බලය සැම විටම ආකර්ශනීය යි. තමාට පිටතින් එල්ලවන බලයකට විරුද්ධවීම පහසු ය. එහෙත් තමා තුලම බලයට ඇතිවන ආශාවට එරෙහි වීම අපහසු ය.

අප ආවේ කොහි සිට ද?  කුමකට ද?  ශාලාව තුළ සිදුවන්නේ කුමක් ද? ඒ තුළට ගියේ මන්ද?  ශාලාව තුළ කී දෙනෙක් සිටිනවා ද?  ඔවුන්ගෙන් ප්‍රශ්න රාශියකි. උත්තර අවශ්‍ය නැත. පණිවිඩය ප්‍රශ්න තුළම අඩංගුව ඇත. යාපනයේ නිදහස මේ ආකාරය.

c3

ඇයගේ අරගලය

රාජනී මිය ගොස් වසර විසි පහකි. අතීත මතකයක් පමණක් වී ඇති මේ කෙසඟ දෙමළ ගැහැණියට කුමකටනම් බිය වනවා ද?

මට අතීත සිදුවීමක් මතකයට නැගෙයි. ඒ  2005 වසර ය. අපි කළු ජූලිය සැමරීමේ සංස්කෘතික උළෙලක් සංවිධානය කලෙමු. එවකට තවමත් ප්‍රදර්ශනයට නිකුත් නොකොට තුබූ No More Tears Sister චිත්‍රපටයේ පිටපතක් අපගේ සහෝදරයෙක් ලග තිබිණි. නුමුත් චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට ආ යෝජනාව අප අතරින්ම ආ විරෝධතා මත යටපත්ව ගියේ ය.

විරෝධතා මෙවැනිය. රාජනී වැනි තනියෙන් වැඩකල නොමේරූ පුද්ගල චරිත ඉදිරියට ගෙන ඒම සන්නද්ධ දෙමළ ජාතික අරගලයට කරන බාධාවකි. එල් ටී ටී ඊ සංවිධානයම රාජිනී ඝාතනය කළා යැයි කියන්නේ කෙසේ ද?  ඇයි ඉන්දියන් හමුදාව, ඊ පී ඞී පී, සිංහළ හමුදාව. ප්‍රභාකරන් දන්නෙ නැතිව ඇති. පහළ සාමාජිකයන්ගේ වැඩක් වෙන්න ඇති. මේ සංවිධාන එතරම්ම ප්‍රජාතන්ත්‍රවාදීය. පහළ මට්ටමේ සාමාජිකයෝ ස්වාධීනව තීරණ ගෙන වැඩ කරති.

එල් ටී ටී ඊ සංවිධානය පිළිබඳ විවේචනාත්මක වීම උතුරේ දී මෙන්ම දකුණේත් පහසු නැත. ඔබ එක්කෝ සිංහළ ජාතිවාදියෙකු ලෙස එල් ටී ටී ඊ සංවිධානයට විරුද්ධ විය යුතුය. එසේත් නැත්නම් රැඩිකල් වාදියකු ලෙස එල් ටී ටී  ඊ සංවිධානයට පක්ෂ විය යුතු ය.

ඇයගේ මතකය

ඇයගේ මතකය

රාජනී යනු ද්‍රෝහියෙකි.

බලය අපව පාලනය කරන්නේ වීරයන් හා ද්‍රෝහීන් හරහාය. වීරයෝ අපට ඉහලින් සිටිති. ද්‍රෝහියෝ අපට පහළින් සිටිති. අප උඩ බිම බලමින් සිටින විට අප අවට සිදුවන දේ අපට මගහැරී යයි.

බල ව්‍යාපෘතී යනු වීරයන් හා ද්‍රෝහීන් නිර්මාණය කරන කර්මාන්ත ශාලාය. වීරයන් සුදුම සුදුය. වැරදි කරන්නේ නැත. සිදුවන්නේ අත්වැරදීම් පමණි. ද්‍රෝහීන් කළුම කළුය. අත්වැරදීම් ද කුමන්ත්‍රනය. වීරත්වයේ පිළිම නිර්මාණය කරන්නෝ ඉදහිට උපන් ලපයක් ඉතිරි කල ද අනිත් සියළු ලප කැලැල් මකා දමති.

රාජිනී මිය ගොස් වසර ගනනක් ගතවී ඇත. දෙමළ සමාජය අද කොතනක ද? එල් ටී ටී ඊ සංවිධානය පිළිබඳ රාජනීගේ  දැක්ම 2009 න් පසු අද වන විට කෙතරම් නිවැරදි ද? මේ ඇයගේ වදන් ය.

“ The Tigers’ history, their theoretical vacuum, lack of political creativity, intolerance and fanatical dedication will be the ultimate cause of their own break up. The legendary Tigers will go to their demise with their legends smeared with the blood and tears of victims of their misdoings. A new Tiger will not emerge from their ashes. Only by breaking with whole and its dominant ideology, can a new liberating outlook be born.”1

1c

ඇයගේ අධිෂ්ඨානය

මෙවන් සැමරුමක ඇති සමාජ බලපෑම කුමක් ද?  මහා ජලාශ බිදී යන්නේ සියුම් දිය කාන්දූ හේතුවෙනි. මෙවන් ක්‍රියාවන් මිනිස්සුන්ගේ සිත් තුළ සියුම් අවිනිශ්චිතතා ඇතිකරයි. පැල්මවල්, විවර ඇති කරයි. මෙවන් පැළුම් නව බලාපොරොත්තු සඳහා අවකාශ විවර කරයි.  “බලාපොරොත්තුව කියන්නේ සුන්දර දෙයක් ”  The Shawshank Redemption චිත්‍රපටයේ දෙබසක් මට මතක් වෙයි.

එ්ත් සැම දෙනෙකුටම බලාපොරෙත්තුව සුන්දර දෙයක් වන්නේ නැත. එය සුන්දර මෙන්ම බිය ජනකය. එ් අපට නොව අපව පාලනය කරන්නන්ටය.

මහා සැළසුම් සාදන අය සියුම් බාධාවන් කෙරෙහි අපට වඩා තීක්ෂණ ය.

නව මං මාවත්, දුම්රිය මාර්ග, මංතීරු, අහස උසට ඇදී යන ගොඩනැගිලි, යාපනයට අලූතින් ලගාවූ දැවැන්ත දැන්වීම් පුවරු, දුරකතන, සිසිල් බීම, වාහන අතර මෙවැනි සැමරුම් අනවශ්‍ය කරදරයකට අත වැනීමක් යැයි ඔවුන් සිතුවා විය හැක.

සමහර විටක එදා එල් ටී ටී සංවිධානය රාජිනී ගැන සිතුව ආකාරයටම මොවුන් සිතන්නට ඇත.

ඇයගේ නගරය

අපව පාලනය කරන අය අපෙන් ඉල්ලා සිටින්නේ විශ්වාසය යි. අවිනිශ්චිත බලාපොරොත්තු විශ්වාසය කඩ වීමක පෙර නිමිතිය. ශ්‍රේෂඨ ජාතියක්, නව මිනිසෙක්, සමාජ වෙනසක්, පුර්ණ විප්ලවයක්. බලය අපට මෙසේ කියයි. “අපව විශ්වාසකරන්න. ඔබගේ බලාපොරොත්තු අත හරින්න. අපි ඔබව පොරොන්දු දේශය කරා රැගෙන යන්නෙමු.”  මට පැරණි කතාන්තරයක නලා කාරයා සිහිපත් වේ.

මිනිසුන්ගේ අවිනිශ්චිත බලාපොරොත්තුවලට මුහුණ දීම සංවිධිත අරගලයකට මුහුණදීම සේම අසීරුය. සමහර විට එයටත් වඩා අසීරුය. ඒවායේ එල්ලයන් අපැහැදිලිය. සීමා පැනවීමට අපහසුය. සමහර බලපොරොත්තු මිනිස්සු තුළ දැල් වී එම මිනිසුන් තුළම නිමී යයි. එහෙත් තවත් විටෙක ඒවා ගිනි පුළිඟු සේ තවත් මිනිසුන්ගේ ජීවිත දල්වයි. විකසිත කරයි. ලැව් ගිනි සේ පැතිර යයි.

අපගේ නගරය

අපගේ නගරය

සමාජ වෙනසක් සදහා සදා නිම කළ වැඩසටහන් නොමැත. එය මිනිස් නිර්මාණශීලීත්වය තුළ නැවත නැවත හැඩගැස්වෙමින්, සමාජ සංවාද හා භාවිතා තුළ නැවත නැවත පරීක්ෂාවට ලක්වෙමින් ඉදිරියට යයි. පුද්ගල මැදිහත් වීමක හා සමාජ ව්‍යාපාරයක අතර ඇති සීමා මායිම සැමදා බොඳවී ගිය කලාපයකි.

ටියුනීසියාවේ පේමන්ට් කඩකාරයකුගේ පුද්ගල විරෝධය සහ ටියුනීසියාවේ ඒකාධිපති පාලනය බිඳ දැමූ සමාජ ව්‍යාපාරය අතර සීමා මායිම කොතනද? දහනමවන සියවස අගභාගයේ සහ විසිවැනි සියවසේ මුල්භාගයේ අරාජිකවාදීන් රුසියාවේ, ඉතාලියේ, ප්‍රංශයේ, ඇමෙරිකාවේ සහ තවත් රටවල සිදුකල ක්‍රියාකාරකම් පළමු ලෝක යුද්ධයටත් ඉන්පසුව ඇතිවුනු අයර්ලන්තයේ හා රුසියාවේ විප්ලවවලට කල බලපෑම අප තේරුම් ගන්නේ කෙසේ ද?2 ගිනි පුපුරක හා ලැව් ගින්නක සීමාව සැමදාම පැවතියේ ඝන කැළැවක සැඟවය.

වසර විසි පහකට පසුව තම ආදරනීය දියනියන්ගේ හඩ ඇසෙන මානයේ මහමග හුදකලාව මියගිය ඇයගේ ආදරනීය මතකය සමරන හඳුනන නොහඳුනන මිනිසුන්, ඇයගේ දැක්ම, සටන, බලාපොරොත්තු ඉදිරියට ගෙන යාමට අවිනිශ්චිතව සපථ කරන මිනිසුන් ඇයට මෙසේ කියනු ඇත.

රාජනී, ඔබ නිවහල් ගැහැණියකි. රාජනී, ඔබ සමාජ ව්‍යාපාරයකි.

 

බුද්ධික

1  Remembering Rajani අනුස්මරණ ග්‍රන්ථයෙන්

2 මහාචාර්ය රොබට් ශේෆර් ගේ  Social Movements and Global Social change : The Rising Tide පොත ඇසුරෙන්

ඡායාරූප   – බුද්ධික බණ්ඩාර

 

උපුටා ගැනීම – රූප කතා බ්ලොග් අඩවියෙන්

http://ruupakatha.wordpress.com/

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )