විවෘත වෙළඳපළ අප සිතන තරම් විවෘත ද?

adam_smith_tezzer57

විවෘත වෙළඳ ක‍්‍රියාවලියේ සීමාවන්  –  (1 කොටස)

අප අද ජීවත් වන්නේ නිදහස් ආරථික ක‍්‍රමයක බව බොහෝ දෙනා කියනු අප අසා ඇත. එසේ නම් වෙළඳාමේ සාධාරණත්වයක් ගැන හෝ දැනුවත් පාරිභෝගිකයකු ගැන කතා කිරීමේ අවශ්‍යතාවය කුමත් ද? ඇත්ත වශයෙන්ම සධාර්මික වෙළඳාමක් ( Fair Trade ) ගැන අප කතා කළ යුත්තේ ඇයි? සධාර්මික වෙළඳාමක අවශ්‍යතාවය තේරුම් ගැනීමටත්, සධාර්මික වෙළඳාම මගින් විසදීමට අරමුණු කරන ගැටළු මොනවා ද යන්න තේරුම් ගැනීමටත්, වර්තමාන ජාත්‍යන්තර වෙළඳපළ ක‍්‍රියාත්මක වන්නේ කෙසේදැයි අප තේරුම් ගත යුතුය. විවෘත වෙළඳපළ සම්බන්ධයෙන් සම්භාව්‍ය න්‍යායචාර්යවරයකු වූ ඇඩම්ස් ස්මිත් විවෘත වෙළඳපළ යනුවෙන් හඳුන්වන්නේ පහත මූලික කරුණු සම්පූර්ණව ඇති වෙළඳ පලක් බව රිචර්ඞ් සී විලියම්ස් පවසයි.

1  මහජන වෙන්දේසියක දී මෙන් භාණ්ඩ විවෘත ලෙස හා නිදහස්ව හුවමාරු විය යුතු ය.

2  එවැනි වෙන්දේසියක ඉදිරිපත්කරනු ලබන භාණ්ඩ හා සේවා පිළිබද සියලූම තොරතුරු සෑම කෙනෙකුටම විවෘතව සහ නිදහස්ව ලබා ගත හැකිවිය යුතු ය.

3  සියලූම භාණ්ඩ හා සේවා වල නිෂ්පාදනයේ දි සහ බෙදාහැරීමේ දී ප‍්‍රමාණවත් සහ සාධාරණ ශ‍්‍රමයක් අඩංගුව තිබිය යුතු ය.

4  සම්පූර්ණ හුවමාරු ක‍්‍රියාවලිය සදාචාර මිනුම් දඬු මගින් පාලනය විය යුතු ය.

5 සියලූම ගිවිසුම් බලාත්මක කළ යුතු ය.

6  විශේෂයෙන්ම, වංචා සහ වැරදි තොරතුරු සැපයීම් නීතියේ පාලනයට යටත් විය යුතු ය.22

නමුත් නිදහස් වෙළඳාම වෙනුවෙන් පෙනී සිටින බොහෝ දෙනා නිදහස් වෙළඳාමක් පැවතීමට අවශ්‍ය කරනු ලබන මෙම මූලික කොන්දේසි පිළිබඳව අමතක කරති. වෙළඳාම ඉතිහාසය පුරා පරිණාමය වූ ආකාරය පිළිබදව අවධානය යොමු කිරිමෙ දී අප අද ජීවත් වන ආර්ථික පරිසරය නිර්මාණය වීමට ඉතිහාසයක් ඇති බව ද එම ඉතිහාසය විසින් අපගේ ආර්ථිකය ව්‍යුහගත කර ඇති බවද හඳුනා ගත හැක. මෙනිසා අප ඇතුළු වන්නේ ඇඩම්ස් ස්මිත් උපකල්පනය කරන ආකාරයට නිදහස් අවකාශයක් තුළට නොව අවම වශයෙන් වසර 500ක් පමණ ක‍්‍රියාත්මක වූ ආර්ථික ක‍්‍රමයක වර්තමාන මුහුණුවරක් තුළට ය. බටහිර යුරෝපීය යටත් විජිතකරණ ක‍්‍රියාවලිය අවසාන වුව ද ආර්ථික තලයේ දී එය විසින් නිර්මාණය කරනු ලැබූ ආර්ථික ව්‍යුහ තවම ක‍්‍රියාත්මක වෙමින් පවතී. යටත් විජිත යුගයෙන් පසු ලෝක ආර්ථිකය සියලූ දෙනා හට නිදහස්ව විවෘතව ඇතුළත්විය හැකි ප‍්‍රතිලාභ ලබාගතහැකි තැනක් වෙනවා වෙනුවට සිදුවී ඇත්තේ එහි ආධිපත්‍යය වෙනත් බලවත් රටවල් කිහිපයක් අතට මාරුවීම හා පාර ජාතික සමාගම් අතට මාරු වීම ය.

මෙම හේතුව නිසා කිසිම රටකට මෙම තත්ත්වය මඟහැර ක‍්‍රියා කිරීම එතරම් ලෙහෙසි කාර්යයක් නොවේ. වර්තමාන ජාත්‍යන්තර වෙළඳ ක්ෂේත‍්‍රයට ඇතුළු වීමේදී දකුණේ රටවලට හා සුළු නිෂ්පාදකයන්ට මුහුණ දීමට සිදුවන ගැටළු රාශියක් ඇත. මින් ප‍්‍රධාන ගැටළුවක් වන්නේ ධනවත් රටවල් සහ විශාල සමාගම් විසින් තම අරමුණු ඉටුකරගැනීම සඳහා අත්තනෝමතික ලෙස ලෝක වෙළඳාම පාලනය කිරීමයි. මේ සඳහා ඔවුහු විධික‍්‍රම ගණනාවක් පාවිච්චි කරති. විවෘත වෙළඳාම තුළ ක‍්‍රියාත්මක වනු ලබන මෙම උපක‍්‍රමයන් ජාත්‍යන්තර වෙළඳාම තුළ ක‍්‍රියාත්මක වන දෘඪ නීතීන් පද්ධතියක් බව ඔක්ස්ෆෑම් ආයතනය පවසයි.23 එම දෘඪ නීතීන් පහත ආකාරයට දැක්විය හැකිය.

1 භාණ්ඩ ගොඩගැසීම.

2 වෙළඳපළ පිවිසුම.

3 බලහත්කාරී ලිබරල්කරණය.

4 කම්කරු ක්ෂේත‍්‍රයට අදාළ නීතීන්.

5 පේටන්ට් අයිතිය.

6 වෙළඳ ගිවිසුම්.

haitimarketrice1003

A quarter century of importing heavily subsidized rice from the United States has devastated Haiti’s agriculture.

market in Port-au-Prince. (Jorge Saenz/AP)

භාණ්ඩ ගොඩගැසීම

භාණ්ඩ ගොඩගැසීම ලෙස නිශ්චිතව හඳුන්වනු ලබන්නේ යම් භාණ්ඩයක් එහි නිෂ්පාදන වියදමට වඩා අඩු මුදලකට වෙළඳපළට මුදා හැරීමය.24 එහෙත් සාමාන්‍ය වහරේ දී වෙළඳපළ තුළට ඉතා අඩු මිළකට භාණ්ඩ විශාල ප‍්‍රමාණයක් මුදාහැරීම හැඳින්වීම සඳහා ද මෙය යොදා ගනී. බොහෝ විට ධනවත් රටවල් මෙලෙස දුප්පත් රටවල වෙළඳපළවල් තුළට තමන්ගේ භාණ්ඩ ගොඩ ගැසීම කරනු ලබයි. මෙම අඩු මිළ භාණ්ඩ සමඟ තරග කිරීමේ කිසිම හැකියාවක් දුප්පත් රටවල නිෂ්පාදකයන්ට නොමැත. මෙය හුදු නිදහස් තරඟකාරීත්වය නිසා සිදුවන දෙයක් නොවේ. බලවත් රටවල් විසින් සැම විටම දුප්පත් රටවලට එම රටවල කෘෂි නිෂ්පාදනයන් සඳහා දෙනු ලබන සහනාධාර කපා හැරීමට උපදෙස් දෙනු ලබයි. බොහෝ විට මේ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ලෝක බැංකුව වැනි ආයතන උපයෝගී කරගනු ලැබේ.

මෙම ආයතන මූල්‍ය ණය ලබා දීමේදී විදේශ ආනයන සඳහා ඇති නීතී ඉවත් කිරීමත්, රාජ්‍ය සහනාධාර ඉවත් කිරීමත් කොන්දේසි ලෙස පනවනු ලබයි. මෙම නීතී බලවත් රටවල් තුළ ක‍්‍රියාත්මක නොවේ. බලවත් රටවල් එම රටවල කෘෂි නිෂ්පාදන ක්ෂේත‍්‍රය සඳහා දිනකට ඩොලර් බිලියන 1 ක සහනාධාර ලබා දෙයි. මෙහි ප‍්‍රතිඵලය ලෙස බලවත් රටවල කෘෂි නිෂ්පාදනවල මිළ ඉතාම අඩු මට්ටමක පවතී. සහනාධාර නොමැතිවීමේ හේතුවෙන් දුප්පත් රටවල කෘෂි නිෂ්පාදනවල මිළ ඉතා ඉහළ යයි. බලවත් රටවල් විසින් වෙළඳපළ තුළට ගොඩගසන අඩු මිළ කෘෂි නිෂ්පාදන සමඟ තරග කිරීමට දුප්පත් රටවල කෘෂි නිෂ්පාදනවලට කිසිම හැකියාවක් නොමැත.

සහල් නිෂ්පාදකයෝ විධියට අපටත් හොඳ ජීවිතයක් අවශ්‍යයි. අප මෙතරම් මහන්සි වී වැඩ කරන්නේ එ් නිසයි.  ඒත් අපි වෙළඳපළට ගියවිට පිටරටින් පැමිණි ලාභ හාල් එතැන ආක‍්‍රමනය කරල. එතකොට වෙළෙන්ෙදා කියන කියන ගණන් වලට අපිට අපේ බඩු විකුණන්න වෙනව. අපි කොහොම ද මේ ලොකු අයත් එක්ක තරඟ කරන්නෙ?

ඉනොඩිල් ෆිල්ස්,

හෙයිටි රටේ ගොවියෙක්.

1980 වසර වන විට හෙයිටි රට සහලින් ස්වයංපෝෂිත තත්වයකට ළගා වී තිබුණු රටකි.  ඒත් ජාත්‍යන්තර ප‍්‍රජාවේ බලපෑමෙන්, විශේෂයෙන්ම ඇමෙරිකා එක්සත් ජනපදයේ බලපෑමෙන්, හෙයිටි රාජ්‍යයට තම දේශීය වෙළඳ පල විදේශ ආනයන භාණ්ඩ සඳහා විවෘත කිරීමට සිදුවිය. මෙහි ප‍්‍රතිඵලයක් ලෙසට හෙයිටි වෙළඳ පල ඇමරිකාවේ ලාභ සහනාධාර කෘෂි නිෂ්පාදනවලින් පිරී ගියේය. හෙයිටි හි ජනගහනයෙන් පහෙන් එකක ජීවන මාර්ගය වූයේ සහල් නිෂ්පාදනයයි. මෙහි ප‍්‍රතිඵලය කුමක් ද? සමහරක් ගොවීන්ට තමන්ගේ වගා ඉඩම් අතහැර දමා අසල්වැසි ඩොමිනිකන් ජනරජය වෙත රැකියාවන් සොයා යාමට සිදුවිය. ළමයින්හට පාසල් ගස්තු ගෙවීමට නොහැකි වීම නිසා අධ්‍යාපනය නැවතීමට සිදුවිය. තමන්ගේ ආදායම හැකිලී යාම හේතුවෙන් ගොවීන්හට තමන්ගේ  දරුවන් හට පෝෂ්‍යදායී ආහාර වේලක් ලබාදීමට තිබෙන හැකියාව නැති විය. මේ වන විට හෙයිටිවල ළමා ජනගහනයෙන් සියයට 50ක් මන්දපෝෂණයෙන් පෙළෙයි. මෙයින් වැඩිම ප‍්‍රමාණයක් වාසය කරන්නේ සහල් වගාකරන ප‍්‍රදේශයන්වලය.25 භාණ්ඩ ගොඩ ගැසීමේ පවතින අනතුරුදායක තත්ත්වය මෙයයි. එය තුන්වන ලෝකයේ රටවල නිෂ්පාදනයන්ට ලෝක වෙළඳපළට පිවිසීමේ මූලික බාධාවක් ලෙස පවතී.

tumblr_ltswdxD3HY1r4h4p6o1_500

වෙළඳපළ පිවිසුම

වෙළඳපළ පිවිසුම යනු ලෝක වෙළඳපළ තුළට තමන් නිෂ්පාදනය කරන භාණ්ඩ ඉදිරිපත් කිරීමට ඇති හැකියාවය. අප‍්‍රිකාව, නැගෙනහිර ආසියාව, දකුණු ආසියාව සහ ලතින් ඇමරිකාව ඇතුළු රටවලට ලෝක අපනයන වෙළඳපළ තුළ තමන්ගේ කොටස සියයට එකක ප‍්‍රමාණයකින් වැඩිකර ගැනීමට හැකිවුවහොත් එමගින් මිළියන 128 ක ජනගහනයක් දුගී බවෙන් ගලවා ගත හැකි වනු ඇත.26 වර්තමාන සමස්ත ලෝක වෙළඳපළ පිළිබඳ සළකා බැලීමේදී තුන්වන ලෝකයේ රටවල් විසින් ලෝක වෙළඳපළට ඉදිරිපත් කරන්නේ භාණ්ඩ ඉතා සුළු ප‍්‍රමාණයකි. එමෙන්ම මෙම රටවල් ප‍්‍රධාන සැපයුම් කරුවන් වී තිබෙන්නේ පළතුරු හා බීම වර්ග, සමහර ඛනිජ වර්ග හා ඉන්ධන වැනි කුඩා කලාපයක පමණි. මේවායේ ද  ඒකාධිකාරයක් බොහෝ විට මෙම රට වලට නැත. ලෝක වෙළඳපළට ආහාර හා අමුද්‍රව්‍ය වැඩි ප‍්‍රමාණයක් ඉදිරිපත් කරන්නේ පළමු ලෝකයේ රටවල් ය. නිමි භාණ්ඩ සම්බන්ධයෙන් බලන කල  ඒවායින් 2/3 ප‍්‍රමාණයක් වෙළඳපළට සපයන්නේ පළමු ලෝකයේ රටවල් ය. රසායනික ද්‍රව්‍ය, යාන්ත‍්‍රික උපකරණ හා ප‍්‍රවාහන උපකරණ සම්බන්ධයෙන් බලන කල මෙම ප‍්‍රමාණය 85% ක් පමණ වේ. මෙනිසා වෙළඳපළ පිවිසුම සම්බන්ධයෙන් බලන කල තුන්වන ලෝකයේ රටවලට ඇත්තේ ඉතා සීමිත ඉඩකි.

බොහෝ තුන්වන ලෝකයේ රටවල් තමන්ගේ අපනයන ආදායමින් 60% වඩා ප‍්‍රමාණයක් උපයා ගන්නේ කෘෂිකාර්මික නිෂ්පාදනවලිනි. තවත් ගැටළුවක් නම් මේ රටවල් බොහොමයක් එක් ප‍්‍රධාන කෘෂිකාර්මික අපනයන භාණ්ඩයක් මත පදනම් වී සිටීමයි. කියුබාව හා ජැමෙයිකාව සීනි මත ද, ඉක්වදෝරය කෝපි මත ද, ශ‍්‍රී ලංකාව තේ මත ද, සුඩානය කපු මත ද, ඝානාව කොකෝවා මත ද, හොන්ඩුරාස් කෙසෙල් මත ද මෙසේ පදනම්ව ඇත. මෙම බොහෝ රටවල වගාකළ හැකි ඉඩම් වලින් බොහොමයක් අපනයන භෝග වගා කිරීම සඳහා යොදා ගෙන ඇත.27 නමුත් මෙම භෝග සඳහා වෙළඳපළ තුළ තවත් බොහෝ සැපයුම් කරුවන් සිටින අතර මේවාට ආදේශක භාණ්ඩද පවතී. වෙළඳපළ පිවිසුම පැත්තෙන් ගත් කල ඒ තුළ මේ රටවලට විශාල බලපෑමක් කළ නොහැක.

මෙම තත්වයට මුහුණ දීම සඳහා තුන්වන ලෝකයේ රටවල් තමන්ගේ කර්මාන්ත ක්ෂේත‍්‍රයන් දියුණු කර ගත යුතු බවට ද, නිමි භාණ්ඩ නිෂ්පාදනය කිරීම ආරම්භ කළ යුතු බවට ද තර්ක කළ හැකිය. එහෙත් ගැටළුව නම් මෙම නිමි භාණ්ඩ පහසුවෙන් ලෝක වෙළඳපළට ඉදිරිපත් කිරීමේ හැකියාවක් ඔවුනට නැති වීමයි. පළමු ලෝකයේ රටවල් තමන්ගේ රටවලට වෙනත් රට වලින් පැමිණෙන නිමි භාණ්ඩ සඳහා විශාල බදු මුදල් අය කරයි. උදාහරණයක් ලෙස සෝයා බීජ යුරෝපීය රටවලට එන ආකාරය දෙස අපි බලමු. සෝයා සකස් නොකළ බීජ ලෙස යුරොපීය රටවලට සැපයීමේදී අපනයන කරුවන්ට කිසිදු බදු මුදලක් ගෙවීමට සිදු නොවේ. ඒවා සකස්කළ ආහාරයක් ලෙස එන විට 7% බදු මුදලක් ගෙවිය යුතුය. පිරිසිදු කළ තෙල් ලෙස එන විට එය 15% ක් වේ. මාගරින් ලෙස එන විට එය 25% දක්වා වැඩිවේ. අන්නාසි පිළිබඳ සළකා බැලීමේදී එය පලතුරක් ලෙස එන විට එහි බදු මුදල 9% කි. එය ටින්කළ පලතුරක් ලෙස එන විට 32% ක් වේ. එමෙන්ම එය පලතුරු බීමක් ලෙස එන විට එහි බදු මුදල 42% ක ප‍්‍රතිශතයක් දක්වා ඉහළ යයි.28 මෙනිසා තුන්වන ලෝකයේ රටවලට තමන්ට නිමි භාණ්ඩ නිෂ්පාදන කිරීමට හැකි වුවත් ඒවා අපනයනය කිරීමට අපහසු ය.

ජාත්‍යන්තර වෙළඳාමේ දී වැඩි වශයෙන් සිදුවන්නේ පළමු ලෝකයේ රටවල් ප‍්‍රාථමික භාණ්ඩ තුන්වන ලෝකයේ රටවලින් ආනයනය කර  ඒවායින් නිමි භාණ්ඩ නිර්මාණය කර එම භාණ්ඩ යළිත් දුප්පත් රටවලටම අලෙවි කිරීම ය. එමඟින් බලවත් රටවල් අති මහත් ලාභයක් උපයා ගනී. උදාහරණයක් ලෙස ඔවුහු දුප්පත් රටවල්වලින් කොකෝවා සහ කපු මිළදී ගෙන එ්වායින් චොක්ලට් සහ ඇදුම් නිෂ්පාදනය කර එ්වා දුප්පත් රටවල වෙළඳපළවල් කරා යවති. දුප්පත් රටවලට බලවත් රටවලට මෙන් නිමි භාණ්ඩ සඳහා විශාල ආනයන බදු පැනවිය නොහැක. බලවත් රටවල අපනයන භාණ්ඩවලට දුප්පත් රටවල් තමන්ගේ වෙළඳපළවල් විවෘත නොකළහොත් එම රටවලට දෙන ණය සහන කපාහරින බවට බටහිර රටවල් තර්ජනය කරයි. මෙනිසා වෙළඳපළ පිවිසුම තුන්වන ලෝකයේ වෙළඳ ක‍්‍රියාවලිය සීමා කරන අදෘශ්‍යමාන නීතියක ආකාරයෙන් ක‍්‍රියා කරයි.

download

බලහත්කාරී ලිබරල්කරණය

ලිබරල්කරණය යනුවෙන් හඳුන්වනු ලබන්නේ මුල්‍ය වෙළඳපළ හා ප‍්‍රාග්ධන වෙළඳපළ තුළින් රජයේ මැදිහත්වීම ඉවත් කිරීමත්, වෙළඳාමට පවතින සීමාවන් ඉවත් කිරීමත්ය.29 ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව හා ලෝක වෙළඳ සංවිධානය මෙය වර්තමාන ලෝකයේ වඩාත්ම සාර්ථක සංවර්ධන උපාය මාර්ගය ලෙස සලකයි. බැලූ බැල්මට වෙළඳාමට ඇති සීමාවන් ඉවත් කිරීම වෙළඳාම පැත්තෙන් බලන කල සාර්ථක ඉදිරිගාමී ක‍්‍රියාවක් සේ පෙනෙයි. නමුත් ප‍්‍රායෝගික තලයේදී මෙම ක‍්‍රියාවලිය තුන්වන ලෝකයේ රටවලට ජාත්‍යන්තර වෙළඳාමේ පවතින ඉඩ කඩ සීමා කරන ක‍්‍රියාවලියකි. වෙළඳාමට අදාළව බටහිර රටවල් බොහෝ විට ලිබරල්කරණය කරන්නේ තමන්ගේ අපනයන වෙළඳාමය. නමුත් මොවුහු තමන්ගේ රටවල නිෂ්පාදනයන්ට තර්ජනයක් වන තුන්වන ලෝකයේ භාණ්ඩ සඳහා තම රටේ වෙළඳපළ විවෘත කරන්නේ නැත. ලෝක වෙළඳ සංවිධානයේ සමුළුවලට එල්ල වන මූලික විරෝධයේ පදනම මෙයයි.

මෙම විරෝධතාවයන්ට සහභාගී වූ උද්ඝෝෂකයන් නිවැරදිව පෙන්වා දෙන ආකාරයට මෙම සමුළුවල මූලික අවධානය යොමුව තිබුනේ දියුණු කාර්මික රටවල නිෂ්පාදන සඳහා වෙළඳපළ බාධාවන් ඉවත් කර ගැනීම සඳහා පමණි. මෙම භාණ්ඩ අතර ප‍්‍රධාන වූයේ වාහන, කාර්මික නිෂ්පාදන හා යාන්ත‍්‍රික භාණ්ඩ ය. මේ අතරම ඔවුහු තමන්ගේ රටවල කෘෂි නිෂ්පාදන සඳහා දෙන සහනාධාර දිගටම ලබා දීමටත්, කෘෂි කාර්මික භාණ්ඩ හා ඇඟළුම් සඳහා තමන්ගේ වෙළඳපළවල් විවෘත නොකිරීමටත් ක‍්‍රියාකරන ලදි. මෙම ක්ෂේත‍්‍රයන් තුන්වන ලෝකයේ රටවලට වෙළඳපළ තුළ තරඟ කිරීමට වැඩි හැකියාවක් ඇති ක්ෂේත‍්‍රයන්ය.30 මෙලෙස බලන කල මෙම ලිබරල්කරණ ක‍්‍රියාවලිය බැලූ බැල්මට සියලූ රටවලට පොදු වූ ක‍්‍රියාවලියක් ලෙසට පෙනුණ ද මෙම ක‍්‍රියාවලිය බොහෝ විට සිදු කෙරෙන්නේ තුන්වන ලෝකයේ රටවලට අදාළව ය. මෙමගින් ඇත්ත වශයෙන්ම සිදු වන්නේ බලවත් රටවල ලාභ වෙළඳ භාණ්ඩවලට දුප්පත් රටවල වෙළඳපළවල් ආක‍්‍රමණය කිරීමට හැකියාව ලැබීමයි. මෙම නිසා ලිබරල්කරණ ක‍්‍රියාවලිය ද තුන්වන ලෝකයේ රටවලට ජාත්‍යන්තර වෙළඳපළට ඇතුළු වීමේ මාර්ග අවහිර කරන ක‍්‍රියාවලියක් ලෙස අපට හඳුනා ගත හැක.

මතු සම්බන්ධයි

22. Williams, Richard C. 2007. The Cooperative Movement: Globalization from Below. Hampshire: Ashgate. p. 3.

23. Oxfam International. “The rigged rules of global trade.” Web. April 22, 2010.

24. Stiglitz, Joseph E. 2002. Globalization and its Discontents. New York: W.W Norton & Company.

25. Oxfam International.

26. Ibid.,

27. Brown, Michael Barrate. 1993. Fair Trade: Reform and Realities in the International Trading System. London: Zed.

28. Ibid., p. 80

29. Stiglitz, Joseph E. 2002. Globalization and its Discontents. New York: W.W Norton & Company.

30. Ibid., p. 63.

බුද්ධික බණ්ඩාර

සධාර්මික වෙළඳාම

විකල්ප වෙළඳාමක් : සාධාරණ සමාජයක්

ග‍්‍රන්ථයෙන් උපුටා ගන්නා ලදි.    පිටු:  88 – 94

One response to “විවෘත වෙළඳපළ අප සිතන තරම් විවෘත ද?

  1. භාණ්ඩ ගොඩ ගැසීම කියන එකට තාක්ෂණික යෙදුම ප්‍රපාතනය කියන එක.මෙහෙමයි ඕනම රටක් තමන්ගේ ආර්ථිකයේ වැඩි හරියක් කෘෂි කර්මය මත පවත්වාගෙන ඉන්නවා කියන්නේ කාලගුණය දේශගුණය මත ඒ රටේ ආර්ථිකය යැපෙනවා කියන එක.ලංකාවත් තේ මතම ‍රැඳිලා හිටියානම් වෙන්නේ ඒක.නමුත් දැන් අපි ඇඟලුම් වලින් අපනයන ආදායම උපයනවා.ඒ වගේම ලෝකයේ බලවත් රටක් වෙන්න හිතාගෙන කරපු කියුබන් විප්ලවයෙන් පස්සෙත් එයාලගේ ආර්ථිකය සීනී මත යැපෙනවා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )