ඉන්දියාවට ඉතිහාසයක් නොමැත ! – කාල් මාක්ස් හා යුරෝපීය යටත් විජිත වාදය

800px-chemnitz-marx-monument

යටත් විජිත යුගය තුළ ලෝකයේ ප‍්‍රධාන ආර්ථික ව්‍යුහයක් ස්ථාපිත විය. යුරෝපීය යටත් විජිතයන් යුරෝපීය කර්මාන්තවලට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය සපයන හා ප‍්‍රාථමික නිෂ්පාදන සපයන රටවල් බවට පත් විය. නිෂ්පාදන සැකසීමේ, නිමි භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ හා ඒවා ප‍්‍රවාහණය කිරීමේ සියලූ අධිකාරීත්වය හා සම්පත් යුරෝපීයන් සතු විය. නිෂ්පාදිත භාණ්ඩ උතුරු ඇමෙරිකානු, යුරෝපියානු හා වෙනත් වෙළඳපළවල්වලට යැවුණු අතර මෙම ක‍්‍රියාවලියේ ලාභය යුරෝපීයයන් සතු විය. මෙම සම්බන්ධය මේ වන විට වසර පන්සීයක් පුරා පැවති යටත්විජිත ක‍්‍රියාවලිය මගින් ඉතා ශක්තිමත්ව ලෝකය තුළ ස්ථාපිත කර ඇත. යටත්විජිත ක‍්‍රියාවලිය අවසන් වූ පසුත් බොහෝ රටවල් මෙම සම්බන්ධයෙන් ගැලවීමට නොහැකිව පීඩා විදිමින් සිටී. යටත් විජිත ක‍්‍රියාවලිය විසින් අප‍්‍රිකානු හා ඇමෙරිකානු රටවලට කළ බලපෑම අතිශය භයානක ය. වහල් වෙළඳම හේතුවෙන් අප‍්‍රිකාවේ සෞඛ්‍ය සම්පන්න තරුණ පරපුරෙන් වැඩි ප‍්‍රමාණයක් අප‍්‍රිකාවට අහිමි විය. යුරෝපය විසින් ලබාදුන් ආයුධ වලින් සන්නද්ධ විවිධ කණ්ඩායම් විසින් ඉතිරිව සිටි මිනිසුන් මත දරුණු මර්දනකාරී පාලනයක් පැටවී ය. යුරෝපීය කර්මාන්ත ශාලා වලින් නිෂ්පාදිත ලාභ විදේශීය භාණ්ඩ හේතුවෙන් දේශීය නිෂ්පාදන කර්මාන්ත විනාශ විය. යටත් විජිත යුගය තුළ ඇමෙරිකානු ස්වදේශීය ජනගහනයෙන් 95% පමණ විනාශ විය. ස්වදේශි ජනයා සතු භූමිය අපනයන භෝග වගාව සඳහා පරිවර්තනය විය. එමෙන්ම සෑම දූපතක්ම එක් වගාවක් හෝ වගාවන් කිහිපයක් වෙනුවෙන් සම්පූර්ණයෙන් වෙන් කරනු ලැබිණි. සියලූ නිෂ්පාදනයන්ගේ හා වගාවන්ගේ පාලනය යුරෝපයෙන් විත් පදිංචි වූ කළමණාකරුවන් හා පාලකයන් සතු විය.
යටත්විජිතකරණයට ලක්වු අනිකුත් බොහෝ කලාපයන්ගේත් තත්වය මෙයට සමාන විය. මෙම රටවල්වලට තමන්ගේ භූමීන් වානිජ භෝග වගාවන් සඳහා යෙදවීමට සිදු විය. එමෙන්ම මෙම රටවල ආර්ථිකයන් හුදු යුරෝපීය කර්මාන්තයන්ට අමු ද්‍රව්‍ය හා ප‍්‍රාථමික නිෂ්පාදන සපයන රටවල් බවට පත් විය. එමෙන්ම මෙම රටවල්වලට තමන්ගේ භාණ්ඩ සඳහා එතෙක් පැවති වෙළඳ පළ අහිමි විය. විශේෂයෙන් යුරෝපය නිෂ්පාදනය කරන කාර්මික නිෂ්පාදන හා ලාභ නිෂ්පාදන හේතුවෙන් දේශීය කර්මාන්ත පද්ධති මුලූමනින්ම පාහේ විනාශ විය. මෙයට හොඳම උදාහරණය නම් බොහෝ රටවල දේශීය ඇගළුම් කර්මාන්ත වලට සිදුවූ දෙයයි. යටත් විජිත යුගය වන විට ලෝකයේ ඇගළුම් සැපයීමේ මූලික තැනක් ගෙන ක‍්‍රියා කළේ චීනය හා ඉන්දියාවයි. යන්ත‍්‍ර වලින්  නිෂ්පාදන කරනු ලබන ඇගළුම් යුරෝපයටත්, යටත් විජිතයන්ටත් හ`දුන්වාදීමෙන් පසු සහ පෙරදිග රටවල ඇඟලූම් නිෂ්පාදන මත අධික ලෙස බදු පැනවීම හේතුවෙන් පෙරදිග කලාපයේ ඇගළුම් නිෂ්පාදනය මත රුදී තිබූ සමාජයන් එකින් එක බිද වැටීමටත්, විනාශ වීමටත් පටන් ගැනුණි. අතීතයේ කපු නගර ලෙස හැදින් වූ සුරාත්, ඩකා, සහ මරීෂාබාද් අද ලෝකයේ දකින්නට ලැබෙන දුප්පත්ම කලාපයන් ය. 1757 වර්ෂයේදී වර්තමානයේ බන්ග්ලාදේශය පවතින ප‍්‍රදේශයට පැමිණෙන පෙරදිග ඉන්දියානු සමාගමේ නිළධාරියෙක් වූ රොබර්ට් ක්ලයිව් එම ප‍්‍රදේශය හඳුන්වන්නේ ලන්ඩන් නගරය වගේම විහිදී ගිය, ධනවත් හා විශාල ජනගහනයකින් යුත් ප‍්‍රදේශයක් ලෙසට ය. මෙම යුගයේ දී වසරකට කපු නිෂ්පාදන රාත්තල් මිලියනයක් පමන මේ ප‍්‍රදේශයෙන් අපනයනය කර ඇත. නමුත් වසර හැටකට පසු මෙම අපනයන ක‍්‍රියාවලිය නවතින අතර ඉන්දියාවට බි‍්‍රතාන්‍යයේ නිෂ්පාදනය කරන ඇදුම් ගෙන එ්ම ආරම්භ විය. එ්ත් සමඟ මෙම දේශීය කර්මාන්ත පද්ධතිය විනාශ වී ගියේ ය. මෙමගින් පසුකාලීනව ඉතා දරුණු ප‍්‍රතිඵල අත් වූ අතර 1770 දී ඉන්දියාවේ පළමු සාගතය වාර්තා විය.11
කරුණු මෙසේ වුව ද යුරෝපීය යටත් විජිත ක‍්‍රියාවලිය විසින් ඇති කරන ලද බලපෑම සම්බන්ධයෙන් පවතින විවාදය තවම අවසන් වූ විවාදයක් නොවේ. මෙම ක‍්‍රියාවලිය ලෝකයට නූතනත්වය, ශිෂ්ටත්වය හා ප‍්‍රබුද්ධත්වය රැගෙන ආ බවට තර්ක කරන ප‍්‍රබල මතවාදයක් තවමත් පවතිනු දැකිය හැක. විශේෂයෙන් ධනවාදී ආර්ථික ක‍්‍රමයට පක්ෂව අදහස් දරන කණ්ඩායම් හා අන්තවාදී දක්ෂිණාංශික කණ්ඩායම් මෙම මතය ප‍්‍රබලව රැගෙන එනු දැකිය හැක. නමුත්, තාක්ෂණයෙන් හා සංස්කෘතියෙන් උසස් බටහිර යුරෝපය එතෙක් පැවති ප‍්‍රාථමික වෙළඳ ජාලයට පිවිසීමේ ක‍්‍රියාවලියේ අතුරු ප‍්‍රතිඵලයක් ලෙස නොදියුණුව තිබූ රටවලට තාක්ෂණය හා සංස්කෘතිය ලැබූ බවට ගෙන එන තර්කය ගැටළුකාරී ය. එමෙන්ම, නවීන යුධ බලය සතුව තිබූ බටහිර යුරෝපය ශක්තිවන්තයා ස්වභාවධාර්මික නීතිය අනුව ජයගනී යන්න සනාථ කරමින් ලෝකයේ ආධිපත්‍යය ලබාගත් බවට ගෙන එන තර්කයන් ද කරුණුමය වශයෙන් එතරම් නිරවද්‍ය නොවේ.

zhenghecompare24dt
බටහිර යුරෝපීයන් එතෙක් පැවති දිගු දුර වෙළඳ ජාලයට පැමිණෙන විට එම වෙළඳ ජාලය විධිමත් හා සංකීර්ණ ලෙස වර්ධනය වී තිබූ වෙළඳ ජාලයකි. එමෙන්ම එම වෙළඳ ජාලය සතුව දියුණු නාවික ප‍්‍රවාහන තාක්ෂණයක් සතු විය. මේ හා සසඳන විට ඇත්තවශයෙන්ම යුරෝපයේ නාවික තාක්ෂණය ඒ වන විට එතරම් වර්ධනය වී නොපැවතුනි. විශේෂඥ නාවික තාක්ෂණයක් නොමැති, කුඩා නාවික යාත‍්‍රා වලින්, බාල වෙළඳ භාන්ඩ ගෙන ආ, දුර්වල පෙනුමකින් යුත් යුරෝපීයන් හට මුස්ලිම් හා ඉන්දියානු කලාපයේ රටවල සිටි පාලකයින්ගේ සිත් දිනා ගැනීමට පහසු වී නැත. මේ වන විටත් හොඳින් පදම් ව පැවති මුස්ලිම් ඉන්දියානු වෙළඳ යාන්ත‍්‍රණයෙන් මෙම පාලකයින් අතිශය ධනවත්ව සිටීම එයට හේතුව බව විලියම් බර්න්ස්ටයින් පවසයි. යුරෝපීයන් මෙම සාගර කලාපයේ නාවික තාක්ෂණය දැක මවිත වූ ආකාරය සහ ඉහළ මිළක් ගැවසුනු මෙම වෙළඳ ජාලයට ඉදිරිපත් කිරීමට තරම් සුදුසු වෙළඳ වටිනාකමකින් යුත් භාණ්ඩ නොමැතිවීමෙන් බලවත් අපහසුතාවයකට පත් වූ ආකාරය යුරෝපීය නාවිකයන්ගේ වාර්තා ඇසුරින් ඔහු පෙන්වා දෙයි. එමෙන්ම ඉන්දියාවට පැමිණි යුරෝපීයයන් මුස්ලිම් නොවන සියලූ දෙනා ක‍්‍රිස්තියානි ජාතිකයන් ලෙස සිතූ බවත් ඉන්දියාව නුහුරු සුන්දරත්වයකින් යුත් විශාල පල්ලි වලින් හෙබි දියුණු ක‍්‍රිස්තියානි රාජ්‍යයක් ලෙස වරදවා හ`දුනාගත් බවත් මෙම වාර්තා ඇසුරෙන් ඔහු පෙන්වා දෙයි. වටිනා වෙළඳ භාණ්ඩ රැගෙන යාම සඳහා අප‍්‍රිකානු මහද්වීපය වටා ඉන්දීය සාගර කලාපයට පැමිණෙන මෙම දීර්ඝ මුහුදු චාරිකාවන් යුරෝපීයන් හට කෙසේවත් සුන්දර අත්දැකීමක් වූයේ නැත. මෙම මුහුදු චාරිකාවන් සාර්ථකව නිම කරන්නට මෙම චාරිකාවට සහභාගී වන බොහෝ දෙනෙකුට හැකි වූයේ නැත. වැඩි ප‍්‍රමාණයක් චාරිකාව අතරමඟ මියගිය හ. නමුත් මෙම චාරිකාවලින් රැගෙන එනු ලබන වෙළඳ භාණ්ඩවල සුවිශාල වටිනාකම විසින් මිනිස් ජීවිත වල මිල යටපත් කර දමන ලදි. මෙම මුහුදු ගමන් බොහෝ විට විවිධ අපරාධ සඳහා සිරගතව සිටින අපරාධකරුවන්ගෙනුත්, විවිධ සිත්ගන්නා සු`එ ප‍්‍රතිලාභ ලබා දෙන බව පවසා බඳවා ගත් රැකියා විරහිත තරුණයින්ගෙනුත්, වහල් හේවායින්ගෙනුත් සමන්විත විය. මෙම මුහුදු චාරිකාවන් විසින් යුරෝපයේ මං මාවත් වලින් රැකියා විරහිත තරුණයන් අතුගා දැමූ බව බර්න්ස්ටයින් පවසයි.12
යුරෝපීය යටත්විජිතවාදයේ බලපෑම පිළිබඳව අනිත් මතභේදය මතුවී ඇත්තේ සම්භාව්‍ය මාක්ස්වාදී අදහස් ආශ‍්‍රයෙනි. විශේෂයෙන් ඉන්දියාව තුළ බි‍්‍රතාන්‍ය පාලනය පිළිබදව කාල් මාක්ස් ඉදිරිපත් කළ අදහස් මෙම විවාදයට පදනම් වී ඇත. 1853 වර්ෂයේ නිව් යෝර්ක් ඬේලි ටි‍්‍රබියුන් පත‍්‍රයට ලිපි පෙළක් ලියමින් මාක්ස් ඉන්දියාව තුළ බි‍්‍රතාන්‍යය සිදු කල ක‍්‍රියාවලිය පැසසුමය භාජනය කර ඇත. ඉතා දුෂ්ඨ පරමාර්ථයන්ගෙන් යුක්තව වුවත්, ඉතාමත් මෝඩ ආකාරයකට බලහත්කාරීව වුවත්, බි‍්‍රතාන්‍යය ඉන්දියාව තුළ සමාජ විප්ලවයකට මුල පිරුව බව මාක්ස් පැවසුවේ ය. මාක්ස් ඇසූ ප‍්‍රශ්නය නම් ආසියානු සමාජය තුළ මූලික විප්ලවයක් නොකොට මිනිස් වර්ගයාට තම දෛවය සාක්ෂාත් කරගැනීමට හැකි ද යන්නයි. මෙම ප‍්‍රශ්නයට උත්තරය නොහැක යන්න නම්, මාක්ස් පවසන්නේ බි‍්‍රතාන්‍යය කුමන අපරාධයක් කලා වුව ද ඇය එම විප්ලවය ගෙන ආ ඉතිහාසයේ අවිඥනික උපකරණය වූ බවයි.13 මෙම පත‍්‍රයටම තවත් ලිපියක් ලියන මාක්ස් බි‍්‍රතාන්‍යයට ඉන්දියාව තුළ මෙහෙයුම් දෙකක් කළ යුතුව තිබූ බව පවසයි. ඉන් එකක් විනාශකාරී වූවකි. අනෙක ප‍්‍රතිජනනාත්මක වූවකි. එකක් නම් පැරණි ආසියාතික සමාජය විනාශ කිරීමයි. අනෙක ආසියාව තුළ බටහිර සමාජයේ භෞතික පදනම නිර්මාණය කිරීමයි.14 මාක්ස් ඉන්දියානු සමාජය සැලකුවේ අභ්‍යන්තර ප‍්‍රතිවිරෝධයක් නොමැති, නිද්‍රාශීලී, කෘෂිකාර්මික සමාජයක් ලෙස ය. ඔහු ඉන්දියාවට ඉතිහාසයක් නොමැති බව පැවසුවේ ය. ඔහුට අනුව ඉන්දියාවේ ඉතිහාසය යනු එය පිළිවෙළින් ආක‍්‍රමණය කළ අයගේ ඉතිහාසයයි.15
යටත් විජිත වාදය සම්බන්ධයෙන් කාල් මාක්ස් පළ කළ මෙම අදහස් අද වන විට විශාල වශයෙන් විවේචනයට භාජනය වී ඇත. පශ්චාත් යටත් විජිත චින්තන ධාරාවන් විසින් පමණක් නොව නව මාක්ස්වාදී චින්තන ධාරා විසින් ද මේ පිළිබඳව විවේචන එල්ල වී ඇත. මාක්ස්ගේ මෙම අදහස් තුළින් ඔහුගේ යුරෝ කේන්ද්‍රීය භාවය පෙන්නුම් වන බව පවසන මයිකල් හාඞ් හා අන්තෝනියෝ නෙග්රි ඉන්දියාවට ඉතිහාසයක් නොමැත යන අදහස මාක්ස් හේගල් ගෙන් ණයට ගත් අදහසක් බව පවසයි.16 කාල් මාක්ස් මෙම ලිපි තුළ ඉන්දියාව පිළිබඳ ගෙන එන කරුණු බොහොමයක් ලබා ගෙන ඇත්තේ බි‍්‍රතාන්‍යයෙන් ඉන්දියාවට පැමිණි උසස් නිළධාරීන්ගේ වාර්තා වලින් බවත්, එම වාර්තා බොහොමයක් නිවැරදි නොවන බවත් ඉන්දියානු ඉතිහාසය සම්බන්ධයෙන් සිදුකර ඇති පර්යේෂණ වලින් මේ වන විට ඔප්පු කර තිබේ.17 විශේෂයෙන් මෙම යුගය තුළ ඉන්දියාවේ ඉඩම් පිළිබඳ පුද්ගලික අයිතීන් තිබූ බවත්, පැහැදිලි පන්ති වෙනස්කම් හඳුනාගතව හැකිව තිබූ බවත්, කෘෂි නිෂ්පාදනයෙන් 1/3 ත් 1/2 ත් අතර කොටසක් වෙළඳ භාණ්ඩ බවට පත් වූ බවත් සුනිත් කුමාර් ගෝෂ් පවසයි. එමෙන්ම නාගරික ප‍්‍රදේශ වල සුළු පරිමාණ වෙළඳ භාණ්ඩ නිෂ්පාදනය කාර්මික නිෂ්පාදන ක‍්‍රියාවලියේ ප‍්‍රධාන ආකෘතිය වී තිබූ බවත්, වැටුපට වැඩකළ කර්මාන්ත ශිල්පීන් දැකිය හැකි වූ බවත් ඔහු තව දුරටත් පවසයි.18

marx-eng6
මෙම කරුණුවලින් ඉන්දියානු සමාජය අභ්‍යන්තර ප‍්‍රතිවිරෝධයන්ගෙන් රහිත සමාජයක් ලෙස ගෙන එන මාක්ස්ගේ මතය ගැටළුකාරී බව පෙනී යයි. කෙසේ වුවද, යටත් විජිත වාදය පිළිබඳ කාල් මාක්ස්ගේ විග‍්‍රහය තේරුම් ගැනීම සඳහා ඔහුගේ සමස්ත ලියවීම් පරීක්ෂා නොකර ඔහු ඬේලි ටි‍්‍රබියුන් පත‍්‍රයට ලියූ ලිපි පමණක් පරීක්ෂා කිරීම ප‍්‍රමාණවත් නොවන බව අයිජාස් අහමඞ් පෙන්වා දෙයි. එඞ්වඞ් සයිද් ව විවේචනය කරමින් අහමඞ් පවසන්නේ මාක්ස්ගේ පසු කාලීන ලියවිලි පරීක්ෂා කරන විට මාක්ස් පෙරදිගවාදය තුළට හෝ යුරෝ කේන්ද්‍රීය වාදය තුළට දැමිය නොහැකි බවයි. මාක්ස් ඬේලි ටි‍්‍රබියුන් පත‍්‍රයට ලියන ලිපිවල උපකල්පනය කරන ආකාරයට බි‍්‍රතාන්‍යය ඉන්දියාව තුළ සමාජ විප්ලවයක් සිදු නොකළ බව ඉතා පැහැදිලි බවත්, එමගින් සිදු වූයේ ප‍්‍රති විප්ලවකාරී දෙයක් බවත් අහමඞ් පිළිගනී. එමෙන්ම මෙමගින් ඉන්දියාවේ නිෂ්පාදන ක‍්‍රියාවලිය හා තාක්ෂණය එක තැන පල්වන තත්වයකට පත්වූ බවත් ඔහු පවසයි. අයිජාස් අහමඞ්ගේ විවේචනය වන්නේ, කාල් මාක්ස් ඔහුගේ පසු කාලීන ලියවිලිවල යටත් විජිත ක‍්‍රියාවලිය දැඩි සේ විවේචනය කරන බවත්, එනමුත් මෙම ලියවිලි පිළිබඳ බොහෝ දෙනෙකු අවධානය යොමු නොකරන බවත් ය.19 ඇත්ත වශයෙන්ම කාල් මාක්ස්ගේ පසුකාලීන රචනා වල හා ප‍්‍රාග්ධනය කෘතිය තුළ යටත් විජිත වාදය පිළිබඳව හා ඉන්දියාව තුළ සිදුකල බි‍්‍රතාන්‍ය ක‍්‍රියාවලීන් පිළිබදව මාක්ස්ගේ ස්ථාවරයේ විශාල වෙනස්කමක් හඳුනා ගත හැකි ය. විශේෂයෙන් ප‍්‍රාග්ධනය කෘතිය තුළ ප‍්‍රාථමික සමුච්ඡුකරණ ක‍්‍රියාවලිය පැහැදිලි කිරීමේ දී යටත් විජිත ක‍්‍රියාවලිය මාක්ස්ගේ දැඩි විවේචනයට ලක් වෙයි.20
ප‍්‍රාග්ධනය කෘතිය අධ්‍යයනය කරන සුනිත් කුමාර් ගෝෂ් පසු කාලීනව මාක්ස් බි‍්‍රතාන්‍ය යටත් විජිත වාදය සතු වෙනස් කිරීමේ විභවය පිළිබඳ අදහස තුළින් මුළුමනින්ම ඉවත්වන බවත්, එමගින් ඉන්දියාව නිර් කාර්මිකරණයකට ලක් කර බවත්, එහි ආර්ථිකය පසුගාමීත්වයට ඇද දමන බවත් අදුනාගන්නා බව පවසයි. එමෙන්ම යටත්විජිතකරණයට භාජනය වූ රටවල් කිසිවකට ධනේෂ්වර සංවර්ධනය ළඟාකරගත හැකි නොවුනු බවත්, එම ක‍්‍රියාවලියට ගොදුරු නොවුණු රටවල් එයට වඩා පහසුවෙන් ධනේශ්වර සංවර්ධනය ළගා කර බවත් ඔහු තව දුරටත් පෙන්වා දෙයි.21 මාක්ස් ගේ පසුකාලීන රචනාවල ඔහු යටත් විජිත ක‍්‍රියාවලිය පැසසීමෙන් සම්පූර්ණයෙන් ඉවත් වනවා පමණක් නොව එසේ පසසන අයව දැඩි විවේචනයට ද ලක් කරනු දැකිය හැක. කාර්මික නිෂ්පාදන අවධිය තුළ ධනේෂවර නිෂ්පාදනය වර්ධනය වන විට යුරෝපයේ මහජන මතය තමන්ගේ ලැජ්ජාවේ සහ හෘදය සාක්ෂියේ අවසාන ශේෂයත් අහිමි කරගත් බව පවසන මාක්ස් මෙම රාජ්‍යයන් තමන්ගේ ධනේෂ්වර සමුච්ඡුකරනය ක‍්‍රියාවලිය සඳහා උදවු කල සෑම නීච ක‍්‍රියාවක් පිළිබඳවම නින්දාශීලී ලෙස පුරසාරම් ෙදාඩන බව පවසයි.22 ප‍්‍රාග්ධනය කෘතිය තුළ මාක්ස් ගෙන එන මෙම මතයත්, නිව්යෝර්ක් ඬේලි ටිබියුන් පත‍්‍රයට ඔහු සැපයූ ලිපිත් සන්සන්දනය කරන විට යටත් විජිත වාදය සම්බන්ධයෙන් ඔහුගේ අදහස්වල සිදුවී ඇති වෙනස හඳුනා ගැනීම අපහසු නැත. නමුත් මාක්ස්වාදයේ නාමයෙන් යුරෝපීය යටත්විජිතකරන ක‍්‍රියාවලිය සාධාරණීකරනය කරන හා එය ප‍්‍රගතිශීලී බව පවසන සංවාදයන් තවමත් විවිධ තැන්වල අපට දැකිය හැක.

Notes :

11. Brown, Michael Barrate. Fair Trade: Reform and Realities in the International Trading System. London: Zed Books, 1993., p.17.

12. Bernstein, William J. A Splendid Exchange: How Trade Shape the World. New York: Atlantic Monthly Press, 2008. p. 172-173.

13. Marx, Karl. “The British Rule in India.” New-York Daily Tribune, June 25, 1853. Web. April 21, 2010

14. Marx, Karl. “The Future Result of British Rule in India.” New-York Daily Tribune. August 8, 1853. Web. April 21, 2010.

15. Ibid.

16. Hardt, Michael and Antonio Negri. 2000. Empire. London: Harvard University Press.

17. Ghosh, Suniti Kumar. “Marx on India” Monthly Review. Jan 1984. 35-39.Web. April 21, 2010.

18. Ibid., p. 36.

19. Ahmad, Aijaz. 1992. In Theory: Classes, Nations, Literatures. London: Verso.

20. Marx, Karl. 1976, 1990. Capital Volume I. London: Penguin Classics., p.915.

21. Ghosh, p. 38.

22. Marx, p. 924.

බුද්ධික බණ්ඩාර

සධාර්මික වෙළඳාම
විකල්ප වෙළඳාමක් : සාධාරණ සමාජයක්
ග‍්‍රන්ථයෙන් උපුටා ගන්නා ලදි.    පිටු:  37 – 41

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )