මරණයේ සීනුව දෙවරක් නාද නොවේ – නිර්මාල් දීප්ති සංවාදය

dogville

ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි සහ ශ‍්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න අතර පැවැත්වීමට නියමිත විවාදයක් පිළිබඳව අන්තර්ජාලයේ පළවූ විවිධ ප‍්‍රවෘත්ති හරහා මට දැන ගැනීමට ලැබුනි. සාමාන්‍යයෙන් කෙරෙන්නාක් මෙන් මෙහිදී ද පෙරටුගාමී පක්ෂයේ 3මාන වෙබ් අඩවිය තුළ දිගින් දිගටම මා පිළිබඳව අසත්‍ය වැල්වටාරම් සහ අපහාස සහිත කියමන් පළවී තිබීම මට පුදුමයක් නොවුනත් දැන් මෙය කිසියම් හෝ ශාස්ත‍්‍රීය හෝ දේශපාලනික විවාදයක ස්වරූපයක් ගැනීමේ උත්සහයක් අඩුම තරමින් ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතාගේ පාර්ශ්වයෙන් පෙන්වා තිබේ. එවැනි සංවාදයකදී මා පිළිබඳව දශකයකට ආසන්න කාලයක් ශ‍්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය, රයිට්ස් නව් සංවිධානය, එම් ඞී ඞී ආර් ආයතනය ආදී දීප්ති කුමාර ගුණරත්න මහතාගේ දේශපාලනික අනුග‍්‍රාහකයන්ගේ සහයෝගය ඇතිව ඒ මහතා විසින් කරගෙන ගිය මඩ ප‍්‍රචාරවලට කිසියම් ආකාරයක දේශපාලනික සුජාතභාවයක් ලැබීමේ ඉඩකඩක් ඇත.

x කන්ඩායම හෝ එහි හිටපු නායකයන් අතර විවාදයකට ඓතිහාසික වැදගත්කමක් දැරිය හැකි වන්නේ x කන්ඩායම විසින් නියෝජනය කළ සැබෑ දේශපාලන ගැටළුවලට පිලිතුරක් සොයන විවාදයක් බවට මෙය පත්කරගත හැකිනම් පමණකි. දීප්ති කුමාර ගුණරත්නට විවාදයකදී කීමට දෙයක් ඉතිරි වී ඇතැයි මා විශ්වාස කරන්නේ නැත. එහෙත් එසේ විශ්වාස කිරීමට නිර්මාල්ට ඇති අයිතියට මම ගරු කරමි. එදාත් අප අතරින් සංවාදයේ වටිනාකම වඩාත්ම විශ්වාස කලේ නිර්මාල් ය. ප‍්‍රජාතන්ත‍්‍රවාදී සංවාදය පිළිබඳව ඔහුගේ වෙනස් නොවුනු ආස්ථානයට මම අද ද ගරු කරමි. අප සියලූ දෙනාම දීප්තිව අත් හැරිය පසුත් නිර්මාල් තවමත් ඔහුට ප‍්‍රසිද්ධියේ කරුණු පැහැදිලි කිරීමට හා විවාද කිරීමට අවස්ථාවක් ලබා දී ඇත. ඒ නිර්මාල්ගේ හැටි ය. අප කළ දේශපාලනයට නිර්මාල් රැගෙන ආ ශක්‍යතාවය එයයි. ඔහුගේ මෙම ගුණය නිසා අප සියලූ දෙනාටම වඩා නිවැරදි සහ සාධාරණ තීරණ ගැනීමට අතීතයේදී බල කෙරුනි. වසර අටක නිහැඩියාව බිඳිමින් x කන්ඩායම තුළ මාගේ ජීවිතය ගැන මේ ලිපිය ලියන්නේ ඔහුගේ ඒ වඩා සාධාරණවාදී දේශපාලනයට ගරු කිරීමක් වශයෙනි. ඊට අමතරව මීට වසර අටකට පෙර x කන්ඩායමට එරෙහි අපගේ න්‍යායික සහ දේශපාලනික ප‍්‍රහාරය ගැන දීප්තිගේ තවමත් කෙරෙන නොනවතින කංකෙඳිරිය මෙයින් නවතීවිය යන බලාපොරොත්තුව නිසා ය. අපගේ පුද්ගලික ජීවිත ද අපගේ දේශපාලනික ක‍්‍රියාකාරකම් ද ඔහුගේ කුඩා විශ්වයෙන් ඔබ්බට ගමන් කර දැන් වසර ගණනාවකි. අපට වඩාත් වැදගත් වන්නේ ඔහු විසින් නියෝජනය කරන විනාශකාරී දේශපාලනික ප‍්‍රවණතාවයන් වෙත මෙම විවාදයේදී අවධානය යොමු වේද යන්න යි. එදා මෙන්ම අදත් අපගේ විවේචනය එල්ල වන්නේ හුදෙක් දීප්ති කුමාර ගුණරත්නට නොවේ. අපගේ අවධානය යොමුවන්නේත්, පහත කරුණු දැක්වීම කරන්නේත් වමාංශික දේශපාලනය සහ මෙවැනි නායකයන් අතර සම්බන්ධය කෙරෙහි මේ විවාදය යොමු කිරීමේ ආධ්‍යාශයෙනි.

2004 දෙසැම්බර් 26 දින පුපුරා ගිය x කණ්ඩායම තුළ කාලයක් පුරා නිර්මාණය වී පැවති අභ්‍යන්තර අර්බුදයෙහි ප‍්‍රධාන භූමිකාවක් මා විසින් රඟපාන ලද අතර එහිදී මාගේ දේශපාලනික අභිප‍්‍රාය වූයේ ඒ වන විට අපගේ ද සහභාගීත්වයෙන් නිර්මාණය වී තිබුණු අතිශයින් විනාශකාරී සහ සමාජයට අහිතකර දේශපාලනික ප‍්‍රවණතාවය සම්පූර්ණයෙන්ම නතර කර දැමීමයි. (මෙම අරගලයට සහභාගී වූ සියළු දෙනා මෙම මතය දැරුවේ නැති  බවද මෙහිදී පැවසිය යුතුය) අතරමැදි සම්මුතීන්ගෙන් එම අභිප‍්‍රාය සාර්ථක කර ගැනීමට නොහැකි බව මාගේ දේශපාලනික නිගමනය වූ අතර ඒ මත පිහිටා ඒ මොහොතේදී කිරීමට අවශ්‍යව තිබූ දෙය මා විසින් කරන ලදි. x කණ්ඩායමේ අභ්‍යන්තර අරගලයට දායක වූ සියලූ පාර්ශවයන් විසින් ඒ කෙරෙහි තමාගේ දායකත්වය හා එහි දේශපාලනය x කණ්ඩායමේ අර්බුදයට පසු පළවූ ලන්ඩන් සගරාවේත් ඉන් පසුව පළවූ විවිධ ලිපි ලේඛණ හරහාත් පැහැදිලි කර ඇත. එම ක‍්‍රියාව ඕනෑම කෙනෙකුට පසු ආවර්තීව තමන් කැමති ආකාරයට විග‍්‍රහ කිරීමට හැකි අතර මාවිසින් කරන ලද ක‍්‍රියාවෙහි සම්පූර්ණ වගකීම ද එයින් මා වෙත එල්ල වූ පුද්ගලික බලපෑම් ද මා විසින් පිළිගන්නා ලදි. එම නිසා මා විසින් කරන ලද ක‍්‍රියාව පිළිබඳව නිදහසට කාරණා ඉදිරිපත් කිරීම් අවශ්‍ය යයි එදාත් මා විශ්වාස නොකළ අතර වර්තමානයේ ද එය අවශ්‍ය වේ යයි මම නොසිතමි. x කණ්ඩායමේ දේශපාලනයට හා එහි ව්‍යුහයට අප විරුද්ධවූයේ ඇයි යන්න පමණක් නොව එම දේශපාලනය හා එහි ව්‍යුහය නිර්මාණය කිරීමට අපගේ තිබූ දායකත්වයද අප මේවන විට විවිධ ලේඛණ හරහා ප‍්‍රකාශයට පත්කර ඇත.

දැන් වසර අටකට පසුව නිර්මාල් ප‍්‍රසිද්ධ විවාදයකදී දීප්ති වෙත අභිමුඛ වීමට යයි. විවාදයෙහි මාතෘකාව මඩ ගැසීම දේශපාලනික ද නැද්ද යන්නයි. දීප්තිගේ 3මාන වෙබ් අඩවියෙන් දක්වා ඇති පරිදි මීට අදාළ සුමිත් චාමින්දගේ හඬපටයක් ඉදිරියේදී නිකුත් කිරීමට නියමිත ය. සයිබර් මැරකම් පිළිබඳව ආචාර්ය කුමුදු කුසුම් කුමාර මහතා වෙත මා ලියූ ඊ මේල් පනිවිඩයක මා විසින් සුමිත් චාමින්ද මහතාව විවේචනය කිරීම කුකුල්ලූ කෙටවීමක පෙරලා ගැනීමට දීප්ති කුමාර ගුණරත්න මහතා උත්සහ දරන්නේ ය යන්න මගේ නිගමනයයි. ඇත්ත වශයෙන්ම නම් දැවැන්ත මූලධර්මවාදී ප‍්‍රවාහයක් තුළ කෙමෙන් ගිලී යමින්, ධනවාදයේ කෲරත්වයට ද, වර්ගවාදයේ සහ පීතෲමූලිකත්වයේ පීඩනයට ද යටත්ව සිටින ජනතාවක් සිටින රටක මේ කුකුළු කෙටවීම් වලට දේශපාලනික අදාළත්වයක් නැත. එසේ වුව ද දීප්ති විසින් නියෝජනය කරන දේශපාලනික ප‍්‍රවණතාවය මම එදා ද බරපතල ගැටළුවක් ලෙස භාරගත් අතර අද ද ඔහු සහ ඔහුගේ අනුගාමිකයන් ශ‍්‍රී ලාංකීය වාම දේපාලනය තුළ වාමාංශික වාග් අලංකාරිකයන්ගෙන් යුක්තව සැබැවින්ම කරගෙන යන දක්ෂිණාංෂික දේශපාලනය යනු වමට සැබෑ දේශපාලන අභියෝගයක් යැයි තදින් විශ්වාස කරමි. කල්‍යානන්ද පෙරේරා විසින් නොකෙරෙන සංවාදයක් යයි නාමකරණය කරන ලද උක්ත විවාදය කුමක් හෝ හේතුවක් නිසා සැබැවින්ම පැවැත්වුන හොත් මෙම අදහස් දැක්වීම විවාදයට අදාළ සියලූ පාර්ශ්වයන්ට වැදගත් වනු ඇතැයි සිතමි.

මැද පෙරදිග ද යුරෝපයේ ද ඇතුළු තවත් බොහෝ රටවල ඇති වූ මහජන නැගිටීම් සංවිධානය කිරීමේ ප‍්‍රධාන වේදිකාවක් වූයේ සයිබර් අවකාශයයි. ශ‍්‍රී ලංකාව තුළ නම් මෙම අවකාශය මුල පටන් ම දේශපාලනික කණ්ඩායම් සහ පුද්ගලයන් විසින් එකිනෙකාට මඩ ගසා ගැනීමටත් සයිබර් මැර තර්ජන එල්ල කිරීමට යොදා ගන්නා ලදි. මා දකින ආකාරයට මෙම ක‍්‍රියාවළියේ ඛේදජනක ම මොහොත වූයේ පොලීසිය විසින් අත් අඩංගුවට ගනු ලැබූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප‍්‍රධාන ක‍්‍රියාකාරිනියක වූ දිමුතු ආටිගල අලලා අශ්ශීල ලිංගික ප‍්‍රචාර රැගෙන යාමට තරම් වාමාංශික යයි සිතිය හැකි පුද්ගලයන් පවා පහත් මට්ටමකට ඇද වැටුනු මොහොතයි. මා දන්නා තරමට ඇය පසුගිය දශක තුනක කාලයක් තුළ ජනතා විමුක්ති පෙරමුණු දේශපාලනයෙන් මතුවූ ප‍්‍රසිද්ධ ස්ත‍්‍රී නායිකාවන් කිහිපදෙනාගෙන් එක් අයෙකි. පුරුෂෝත්තමවාදී දේශපාලන ව්‍යුහයක් තුළ ස්ත‍්‍රියක එසේ ඉස්මතු වීම දුර්ලභ දේශපාලනික මොහොතකි. පොලිස් අත්අඩංගුවට පත් වී යන්තමින් ජීවිතය ගලවා ගත් තමන්ගේම අතීත දේශපාලන සගයෙකුට දක්වන ප‍්‍රතිචාරය මෙය නම් අපි ගැන මොන කතාදැයි විටෙක සිතෙයි. මා දන්නා තරමින් දිමුතු ආටිගල මහත්මියට එල්ල වූ මේ සයිබර් මඩ ප‍්‍රහාර සමාජ දේශපාලනික ගැටළුවක් ලෙස සමාජය තුළ සංවාදයට ලක්වූයේ නැත. ගොසිප්කරණය වූ වාම දේශපාලනයට එබඳු ප‍්‍රහාරයක් දේශපාලනික ගැටළුවක් නොවී ය. දීප්තිගේ ස්වරූපයෙන් නිර්මාල්ට ඉදිරියේදී සැබවින්ම අභිමුඛ වන්නේ මේ අශ්ශීල ගොසිප් දේශපාලනයයි.

මෙම ගොසිප් දේශපාලනයෙහි ප‍්‍රධාන ලක්ෂණය නම් ඕනෑම සමාජයක පවතින යටපත් කරන ලද ලිංගික කරුණු සහ අත්දැකීම් කෙරෙහි වන ආශාව සිය පාඨකයන් තුළ පුබුදුවාලීමෙන් ඒ හරහා ගොඩ නැගෙන සාමූහික සම්මුතිය දේශපාලනිකකරණය කිරීමයි. මෙම උපායමාර්ගයෙහි අති නිපුණයෝ ප‍්‍රධාන ධාරාවේ දක්ෂිණාංෂික මාධ්‍යකරුවන් ය. තම දේශපාලනික සතුරෙකු, පාවාදෙන්නෙකු හෝ ජාතිද්‍රෝහියෙකු වශයෙන් හංවඩුගැසීමට අවශ්‍ය වූ විට ඒ සඳහා භාවිතා කළ හැකි එක් මෙවලමක් ලෙස මොවුහු ගොසිප් භාවිතා කරති. මෙම ගොසිප්කරණය දිමුතු ආටිගලට ද උපේක්ෂා ස්වර්ණමාලිට ද බලපාන්නේ එකම ආකාරයට ය. එය මෙම යුගයේ  බොහෝ විට මතුවන්නේ ස්ත‍්‍රී විරෝධී ස්වරූපයෙනි. පුරුෂෝත්තමවාදී සමාජයන් අර්බුදයට යන විට එම අර්බුදයේ එක් හේතුවක් ලෙස ස්ත‍්‍රිය හඳුනාගන්නා බවත්, එහි ප‍්‍රතිඵලයක් ලෙස සමස්ත සමාජය පුරා පැතිරුණු ස්ත‍්‍රී විරෝධයක් මතුවන බවත් අප 2004දී ලියා තැබුවෙමු. දැන් වසර නවයකට පසුව ධනංජය කරුණාරත්න වැනි ස්ත‍්‍රීවාදී නාට්‍ය නිර්මාණය කළ කලාකරුවෙකු පවා නාට්‍ය ක්ෂේත‍්‍රයේ ඇතැම් ගැටළුවලට හේතුව මධ්‍යම පාංතික ස්ත‍්‍රීන්ගේ ලිංගික ඉල්ලීම් යයි සිතන තරමට එය ඉදිරියට ගොස් ඇත.

සමස්ත සමාජය පුරා මූලධර්මවාදී ආකාරයෙන් මතුවන ස්ත‍්‍රී විරෝධය අප මුලින්ම හදුනාගත්තේ x කණ්ඩායමේ දේශපාලන වාගාලංකාරය තුළය. මනෝවිශ්ලේෂණයෙහි එන සංකේතිය පියා යන සංකල්පය වැරදි ලෙස වර නගමින් x කණ්ඩායම තුළ  (අපත් ඇතුළුව) ගොඩ නැගුනු මෙම සංවාදය අප විසින්ම පසුව විවේචනයට ලක් කරන ලදි. දැඩි ලෙස ලිංගිකකරණය කරන ලද මාධ්‍ය සංදර්ශනවල හමුවන ස්ත‍්‍රිය යනු  තමාට දේශපාලන සංවිධානය තුළ හමුවන ස්ත‍්‍රියම යයි දීප්ති විශ්වාස කරයි. ඔහුට අනුව සියලූ පිරිමින් හම සුදු ගැහැණුන්ට ආශා කරයි. ඔහු විසින් පසුගිය කාලය පුරා කරන ලද විවිධ රචනා ප‍්‍රවේශමෙන් කියවන්නෙකුට පෙනී යන්නේ  ඔහු කරන්නේ  සංකේතීය ලෝකය විසින් ගොඩනගන ලද ලිංගික රූප අනුකරණය කිරීමක් පමණක් බව ය. හම කළු ස්ත‍්‍රීන්ට ආදරය කරන පිරිමින් තේරුම් ගැනීමට ඔහුට නොහැකිය. මූණ කැත පිරිමින්ට ආදරය කරන ස්ත‍්‍රීන් හෝ තම සමාජ පංතියට පහළ සමාජවල පිරිමින්ට ආදරය කරන ස්ත‍්‍රීන් රෝගීන් යයි ඔහු සිතයි. ඔවුන්ට නින්දා අපහාස කිරීමට ඔහු දන්නේ එකම භාෂාවකි: එනම් ඔහුගේ ඊනියා මනෝවිශ්ලේෂණයයි. මනෝවිශ්ලේෂණ විෂය පිළිබඳව කෙටි හැඳින්වීමක් පවා කියවූ කෙනෙකුට දීප්ති කුමාර ගුණරත්න එම විෂය නොදන්නා බව පමණක් නොව එය මනෝවිශ්ලේෂණ විරෝධී භාවිතාවක් බව ද පෙනී යයි.

එහෙත් ඔහු ලැකාන් හෝ ජිජැක් කිව්වා යයි කියමින් තළු මරමින් අනුන් ගැන ද තමන් ගැන ද පවසන කතා අසන, ගොසිප් වෙත ඇති ආශාව නිසා ඒ වෙත ආශක්ත වන අයෙකුට “ඔය කිව්වට දීප්ති දර්ශනය ගැන මොනවම හරි දන්නවා” ඇතැයි සිතෙයි. ඇත්ත වශයෙන්ම නම් මෙහිදී ආමන්ත‍්‍රණය කරන්නේ පුරුෂ සහ පංතිවාදී ෆැන්ටසියකටයි. මොහුගේ දාර්ශනික සංවාදයේ වැඩිපුර තිබෙන්නේ ගනිකාවන්, පරපීඩක පිරිමින්, විපරීත ලිංගික හැසිරීම් වැනි මාධ්‍ය විසින් (විශේෂයෙන් නිල් සිනමාව විසින්) විධාරණය කරන ෆැන්ටසිමය ජවනිකා කිහිපයකි. මොහු මේවා කලින් කලට හමුවන සිය පුද්ගලික සතුරන්ට දමා ගැසීමට යොදා ගන්නා අතර මෙම පුරුෂ සහ පංතිවාදී ෆැන්ටසි හරහා ඔහු ගොඩනගන මෙම කතන්දරවල අවාසනාවන්ත දෛව ස්ත‍්‍රියගේ රූපය සමඟ මගේ දේශපාලන ජීවිතය සමපාත වී ඇත. එම නිසා මහුගේ කතන්දරයේ ඇතැම් මිත්‍යාවන් කිහිපයක් නිවැරදි  කිරීමට මෙය අවස්ථාව කර ගනිමි.

මා ඉදිරිපත් කළ කිසිදු න්‍යායික හෝ දේශපාලනික ප‍්‍රශ්නයකට දීප්ති කුමාර ගුණරත්න හෝ ඔහුගේ ශ‍්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයේ වෙනත් අයෙකු හෝ පිළිතුරු දී නැත. ඒ වෙනුවට ඔවුන් දිගටම මට පෙම්වතුන් දෙදෙනෙකු සිටි බව කියයි. විවාහක (ඒ වනවිටත් වයස අවුරුදු පහක පමණ දියනියක ද සිටි) දීප්ති කුමාර ගුණරත්න මහතා මා සංවිධානයට පැමිනි මුල් කාලයේ මට ලිංගිකව ආශක්ත වූ වත්, ඔහුගේ එම ලිංගික සහජාසයන් පාලනය කර ගැනීමට සිදු වූයේ සංවිධානයේ බල කිරීම මත බවත් ඔහුම ප‍්‍රසිද්ධියේ පවසයි. මට කිසිදු දිනෙක මට වඩා වසර ගනනාවක් වැඩිමහළු මෙම පිරිමියා කෙරෙහි ලිංගික ආකර්ශනයක් ඇති නොවූ අතර ඔහු ඇත්තෙන්ම වඩා සමීප වූයේ මගේ මවගේ වයසට ය. එපමණක් නොව මේ කියන කාලයේදී ඔහු මගේ මවගේ කුළුපග මිතුරෙකි. ඔහුගේ බිරිඳ අනූෂා මා දැන හැඳින සිටි අතර ඔහුගේ කුඩා දියනිය කෙරෙහි සංවිධානයේ අනෙක් සාමාජිකයන්ගේ දරුවන් කෙරෙහි මෙන්ම කුළුපග වීමි. නිර්මාල්ගේ දියනිය ද කල්යාගේ දියනිය ද අහිංසකගේ දියනිය ද මේ අතර ප‍්‍රමුඛ විය. එහෙත් සිය දියනිය වඩා ගන්නා නිසා මා උත්සාහ කරන්නේ තමාට ලිංගිකව සමීප වීමට යයි සිතාගත් දීප්ති කුමාර ගුණරත්න ඇත්තෙන්ම නම් දිගින් දිගටම සිය අනුගාමිකයන්ව මා කෙරෙහි කුළුප්පාලන ප‍්‍රකාශයන් කළේ ය. අහවලා ඔයාට ආදරය කරනවා එයා ඔයාගේ පන්තියට ගැලපෙන්නේ නෑ කියන්න, අහවලා ඔයාට ආදරය කරලා ඇඳක් බදාගෙන ඉන්නවා එයාව විශ්ව විද්‍යාලයේදී දැක්කොත් මග අරින්න යනාදී වශයෙන් ඔහු මට නිතර අණ කිරීම් කලේ ය. ඔයා සංවිධානයට එන්නේ පිරිමි වසඟ කර ගන්න යයි ඔහු වරක් කීවේ ය.

මෙවැනි අවස්ථා ගණනාවකදී මා සංවිධානයෙන් ඉවත් වීමට උත්සහ කළ ද එය වැලකුනේ බුද්ධික සහ රුවන් බස්නායකගේ  මැදිහත් වීම නිසා ය. අප විසින් ඒ වන විටත් නිශ්චිත සැලසුමකට අනුව සංස්කෘතික කමිටුව සහ එහි ක‍්‍රියාකාරකම් වර්ධනය කරමින් සිටි අතර, 2004 වසර පුරා සංස්කෘතික වැඩසටහන් ගණනාවක් පවත්වමින් කලාව සහ දේශපාලනය පිළිබඳව අධ්‍යයනයන් ගණනාවක් සාමාජිකයන්ට ඉදිරිපත් කළෙමු. මා රුවන් බස්නායක සමඟ පේ‍්‍රම සබඳතාවයක් ආරම්භ කළ විට, දීප්ති සිතාගෙන තිබෙන්නේ එය තමාට ලංවීමට නොහැකි නිසා මා යෙදූ අවිඥනික උපක‍්‍රමයක් බවයි. එසේ නම් ඒ බව දැන දැනම ඔහු සංවිධානයේ මධ්‍යම කමිටුවේ බලය යොදා මාස තුනක් ඇතුළත විවාහ විය යුතු යයි මට බල කළේ ඔහුගේ කුමන ආධ්‍යාශයක් සපුරා ගැනීමට ද යන්න තීරණය කිරීමට මම පාඨකයාට භාර කරමි.

ඒ වන විට පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතු සඳහා විදේශගත වීමට නියමිතව සිටි මට මාගේ අධ්‍යාපනය අත්හැර දමා විවාහ වන ලෙස කරන ලද බලපෑම මහත් හිරිහැරයක් වූ අතර ඒ අතරම දීප්ති  දිගින් දිගටම මම සංවිධානයේ වෙනත් කාන්තාවක් ඒ වන විට ආදරය කරමින් සිටි පිරිමියෙකු ඩැහැගත්තා යයි කියමින් එකිනෙකට විසම්බන්ධිත දේ ප‍්‍රකාශ කළේ ය. මෙලෙස සාමාජිකයන්ගේ ලිංගිකජීවිත පාලනය කරන්නේ ද සාමාජිකයන් අතර විවාහයන් බ්‍රෝකර්කරණය කරන්නේ ද ඇදහිලි කල්ලි තුළ මිස විප්ලවවාදී සංවිධාන තුළ නොවේ. එපමණක් නොව, ඒ වන විට ඔහු විසින් කියවමින් සිටි මනෝවිශ්ලේෂණ න්‍යාය පරීක්ෂණයට ලක් කිරීමට යයි කියමින් ඔහු මහින්ද ප‍්‍රියදර්ශන ලවා මාව සායනික විශ්ලේෂණයකට ලක් කරන මුවාවෙන් මට මානසික බලපෑම් එල්ල කලේ ය. (මෙම ඊනියා සායනික මනෝවිශ්ලේෂණ මුවාවෙන් කෙරුනු මානසික බලහත්කාරයන් හට මා පමණක් නොව x කණ්ඩායමෙ බොහොමයක් සාමාජිකයන් භාජනය විය) එහෙත් මාගේ කිසිදු ලියවිල්ලක අද වන තුරුත් මෙය මා ගොදුරු කරණයක් ලෙස හඳුන්වා දී නැත. ඒ සියලූ බලපෑම් මධ්‍යයේ වුව ද මා අදත් ප‍්‍රකාශ කරන්නේ x කන්ඩායමට සම්බන්ධ වීමේන් මා ලැබූ සියලූ හොඳ සහ නරක අත්දැකීම්වලට වගකිවයුත්තේ මා පමණක් බවයි.

බුද්ධික සහ මා අතර, සංවිධානයේ ඒ වනවිට පැවති ගමන්මග විශ්ලේෂණය කිරීමටත්, මනෝවිශ්ලේෂණ අධ්‍යයන පදනම ආරම්භ කිරීමට අවශ්‍ය මූලික කරුණු සම්පාදනය කිරීමටත් අවශ්‍ය සාකාච්ඡා වට ගණනාවක් ආරම්භ කෙරෙන්නේ ද මේ කාලයේ ය. 2004 ජනවාරි 5 වන දින සිට එම වසර පුරා අප අපගේම ලියවීම් හරහා අප x කන්ඩායමේ දේශපාලනික ප‍්‍රවණතාවයේ ගැටළු සාකච්ඡා කළෙමු. දීප්ති කුමාර ගුණරත්න මහතා “මඩ ලිපි” යනුවෙන් හඳුන්වන මෙම ලිපි ඉදිරියේදී අප මෙම බ්ලොග් අඩවිය හරහා යළි පළකිරීමට අදහස් කරන්නේ අප විසින් මේ ලිපි හරහා කිසි විටෙක කිසිවෙකුටත් මඩ ගසා නැති බව පාඨකයාට දැන ගැනීමට ය. අප එදා විරුද්ධ වූයේ මේ මඩ ගැසීමේ දේශපාලනයටයි. අපට අපගේ අතීත ජීවිතය පිළිබදව නිදහසට කරුණු හෝ පැහැදිලි කිරීම් කරමින් දීප්ති කුමාර ගුණරත්නගේ හෝ අන් අයෙකුගේ සදාචාර අත්සන ගැනීමට අවශ්‍ය නැත. නුමුත් යහපත් සමාජ වෙනසක් බලාපොරොත්තුවෙන් නොදැන මෙවැනි ආකාරයේ කණ්ඩායම් වෙත ඇදී යන තරුණ තරුණියන් හට අපගේ අතීත අත්දැකීම් හරහා යමක් ඉගෙන ගැනීමට හැකිවේයැයි අපි සිතමු.

2004 දෙසැම්බර් 26 දින මාත්, බසීත් බුද්ධිකත් ඇඳුම් බෑග් තුනක් පමණක් රැගෙන x නිවසන් පිටව අවෙමු. ඒ  ගමනේ එළඹිය යුතු අවසානයන් වෙත අපි ගමන් කෙරුවෙමු. අප තිදෙනා අදත් දේශපාලනය තුළ වෙන් නොවුනු සගයන් ය. x කන්ඩායමින් ඉවත් වූ පසුව අප කළ සියලූ දේශපාලනික අටයුතුවලදී බසී අපගේ වෙනස් නොවුනු ගමන් සගයකු වූ අතර ඔහුගේ ජීවිතය සංවිධාන නායකයයෙකුගේ කැමැත්තට කොටු කර දීප්ති කුමාර ගුණරත්නට වීඩියෝ ගැනීමට අවශ්‍ය මුදල් සම්පාදනය කරන්නෙකුගේ භූමිකාවෙන් ඔබ්බට ගොස් ඇත. එමෙන්ම ඔහු තමා ආදරය කරන ස්ත‍්‍රියක සමග විවාහ වී සිටියි. අප තිදෙනාගේ මේ අතීත සහ වර්තමාන සම්බන්ධය අපගේම ආචාර ධාර්මීය මිනුම් දණ්ඩට මිස අන් අයගේ සදාචාරවාදී මිනුම් දඬුවලට යටත් කිරීමට අවශ්‍ය යයි මම නොසිතමි. දීප්ති කුමාර ගුණරත්න නිතර වැනූ ශිෂ්ඨත්වයේ සිහිනය අපට යථාර්තයක් කළ අයෙකු වේ නම් ඒ  බසී ය. දීප්තිට දුර්වලකමක් ලෙස පෙනෙන්නේ බසී මෙහිදී ඔහු බලාපොරොත්තු වූ ආකාරයෙන් ක්‍රෝධයෙන් සිහි විකල් නොවීමයි. තමාව ප‍්‍රතික්ෂේප කළ ස්ත‍්‍රියකට මඩ ගැසීමට තම දේශපාලන පක්ෂය සහ එහි සම්පත් අවිනීත ලෙස යොදා ගන්නා අයෙකුට බසී දුර්වලයෙකු ලෙස පෙනී යා හැකි ය. එය දීප්තිගේ ගැටළුවක් මිස අප කාගේ වත් ගැටළුවක් නොවේ.

x කන්ඩායමේ අර්බුදයට අප ද මැදිහත් වීමක් කළා වුව ද එයට සම්බන්ධ වූ ප‍්‍රධාන නායකයන් සියලූ දෙනාම පාහේ නිදහස් පුද්ගලයන් ලෙස සිය කැමැත්තට අනුව කි‍්‍රයා කලා මිස අප දෙදෙනාගේ සැළසුමට අනුව ක‍්‍රියා කළේ නැත. ඒ  සෑම අයෙකුටම x කන්ඩායම පිළිබඳව ඔවුන්ගේම වූ විවෙචන තිබූ අතර, x කන්ඩායමේ දෙකඩ වීමෙන් අනතුරුව අප කිසිවිටෙකත් අපට අවශ්‍ය ආකාරයට සංවිධානය මෙයෙවීමට උත්සාහ කලේ නැත. නිර්මාල්, කල්‍යා, සුමිත්, අහිංසක, ප‍්‍රදීප්, බසී, මධුවන්ත, දර්ශන, කසුන්, නිශාන්ත, ප‍්‍රියන්ත, ශානිකා, මනෝජා, නීලිකා ආදී කොළඹ සාමාජිකයන් ද, ප‍්‍රාදේශීය සංවිධානවල නායකයන් සහ සාමාජිකයන් ද ඒ  මොහොතේ දී තමාගේම වූ දේශපාලන තීරණ ගත්තා මිස අපගේ කීමට කිසිවක් කලේ නැත. එම නිසා x කන්ඩායම දෙකඩ වූයේ මට විවාහ වීමට අවශ්‍ය වූ නිසා යයි කෙරෙන චෝදනාව මෙතැනින් අවසන් වනු ඇතැයි බලාපොරොත්තු වෙමි.

ඒ මොහොතේ දී අන් අයට කළ නොහැකිව තිබූ හෝ කිරීමට තෝරා නොගත් භූමිකාවක් බුද්ධික සහ මා විසින් තෝරා ගන්නා ලදි. එහි සියලූ වගකීම සහ ප‍්‍රතිඵල අප විසින් දරන ලදි. එමනිසා මෙම විවාදයේදී යලි යලිත් අප පිළිබඳව බොරු ගොතමින් නිර්මාල් විසින් ඇසීමට නියමිත දේශපාලන ප‍්‍රශ්න දීප්ති විසින් මගහැර නොයනු ඇතැයි සිතමි. මම ඬේවිඞ් ලින්ච්ගේ හෝ ටැරන්ටීනෝගේ චිත‍්‍රපටයක දීප්ති දුටු චරිතයක් නොවේ. මාගේ ලිංගිකත්වය පිලිබඳව ෆැන්ටසිකරණය කිරීම නැවැත්වීම දීප්ති කුමාර ගුණරත්න විසින් දැනට කරගෙන යන එන් ජී ඕ කටයුතුවලට (විශේෂයෙන් ඇන්ටිගනී අතිරේකයේ සුජාතභාවයට) ඉවහල් වනු ඇති බව මගේ විශ්වාසයයි. ඇරත් දැන් දීප්ති තමන්ම අටවා ගත් දේශපාලන පක්ෂයක නායකයෙකි. එම සංකේතීය තනතුරට ගැලපෙන ආකාරයෙන් ද තම තලතුනා වයසට ගැලපෙන ආකාරයෙන් ද හැසිරෙන්නේ නම් වඩාත් හොඳ යයි මගේ යෝජනාවයි. වසරදහයකට පෙර තමාව ප‍්‍රතික්ෂේප කළ ස්ත‍්‍රියකට තව දුරටත් මඩ ගැසීම අර්ථ රහිත බව දැන්වත් එතුමා තේරුම් ගත යුතු ය.

අප අද දින සිට මේ කියන විවාදය දක්වා කාලය තුළ අප විසින් ලියන ලදුව x කන්ඩායමට නිර්ණාමිකව එවන ලද ලිපි මෙහිදී පළ කරමු. අප කන්ඩායම විසිරවීමේ සැළසුම ආරම්භ කලේත්, ඊට අවශ්‍ය න්‍යායික පදනම සකස් කලේත් ශ‍්‍රී ලංකාව තුළ ඇති බොහෝ දේශපාලන ධාරාවන්ගේ ඇති වීමට නියමිතව තිබූ ගැටළු කිහිපයක් පිළිබඳව සාකච්ඡා කිරීමෙනි. ධනවාදය විසින් බිහි කරන අර්බුදයේ වගඋත්තරකරුවන් ලෙස මූලධර්මවාදීන් විසින් ස්ත‍්‍රීන්, සුළු ජාතිකයන්, සහ ආන්තික ආගමික සහ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන් ව නම් කරනු ලබන අනාගතයක් ශ‍්‍රී ලංකාව තුළ එළඹෙනු ඇතැයි ද, මධ්‍යගත නායකයෙකු හෝ පාලනයක් සහිත වාමාංශික පක්ෂවල සංවිධාන ආකෘතිවල අර්බුදයන් හටගනු ඇතැයි ද අප 2004 ලියුවෙමු. එමෙන්ම, ධනවාදයේ මෙම යුගය තුළ නායකයන්ගේ හිස හමුවන තැන ද පක්ෂවල බිඳී විසිරී යාම අනිවාර්යයක් වන හේතු ද අපට එදා තේරුණු මට්ටමින් අපි ලියා තැබුවෙමු. දීප්ති කුමාර ගුණරත්න යනු මෙම සැබෑ දේශපාලනික ගැටළුවල සංකේතාත්මක ප‍්‍රතිමූර්තියකි.  එදා අප x කන්ඩායම යනු ෆැසිස්ට්වාදී ආකෘතියේ සංවිධානයක් ලෙස නම් කලේ එම පදනමෙනි.

ඉන් අනතුරුව මා පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතුවල නිරත වූ කාලයේ දී ඇදහිලි කල්ලි පිළිබඳව කියවූ අතර x කන්ඩායමේ සංවිධාන ව්‍යුහය ඇදහිලි කල්ලිවලට සමාන ලක්ෂණ දරන්නේ යයි ලියූ විට අපගේ දේශපාලනික සගයන් පවා ඊට විරුද්ධ වූහ. ලංකාවේ දේශපාලන ඉතිහාසය තුළ කවදාවත් මූලධර්මවාදීන් බිහිවී නැතැයි ඔවුහු පැවසූහ. දැන් ඉතිහාසය අනික් පැත්තට කැරකෙන කාලයයි. යහපත් සමාජ ප‍්‍රාර්ථනා ඇතුව අප සැවොම එක්ව ගොඩනගාගත් දේශපාලන සංවිධානයක් අප සියල්ලන් නොසිතූ අන්තයකට අපගේත් සහභාගීත්වය ඇතිව ගමන්කර ඇතැයි පිළිගැනීම එතරම් පහසු කටයුත්තක් නොවන බව අපි දනිමු. නමුත්  අප කිසියම් මොහොතක එම යථාර්තයට මුහුණ දිය යුතු ය. අප විසින් කරන ලද දේශපාලනය පිළිබඳව අප විසින්ම විවේචනාත්මක වීම දේශපාලනික ඉදිරිගාමීත්වයකි.

අවසාන වශයෙන් මට තවත් දෙයක් පැවසීමට තිබේ. මම 2004 දී සංවිධානය තුළ ඒ වන විටත් දුර්වලව තිබූ පුරුෂවාදී සංගතිය පාවා දුන්නේ මා විශ්වාස කළ නිදහස් හා සමාජ විපර්යාසකාරී දේශපාලනය වෙනුවෙනි. මා විසින් එහිදී ස්ලාවොයි ජිජැක් උපුටා දක්වමින් “ආදරය යනු පාවා දිය හැකි දෙයයි” යනුවෙන් ලියුවෙමි. එය මේ රැඩිකල් මහත්වරුන් කියවා ඇත්තේ මගේ පෙම්වතාට ලියූ ගුප්ත පනිවුඩයක් ලෙසිනි. මා එය ලියුවේ මා ආදරය කළ, කලක් නිදහස්කාමී, විප්ලවවාදී, කවියන්ගේ, සමාජ ක‍්‍රියාකාරිකයන්ගේ, දාර්ශනිකයන්ගේ, නිර්ප‍්‍රභූ ගැහැනුන් සහ පිරිමින්ගේ දේශපාලන නවාතැනක් වූ අපගේ සංවිධානයට ය. ඒ සියලූ දෙනාවම සංකේතීය පියාගේ නාමයෙන් පාවා දුන් දේශපාලන ප‍්‍රවණතාවයට එක්වූ අතීත දේශපාලන සගයන්ට ය. අද එවැනි නිදහස්කාමී, මිනිසෙකුගේ සමාජ පංතිය හෝ ගැහැනියකගේ හමේ පාටට ඔබ්බට ගිය යමක් දකින, සියලූ දෙනාටම යුක්තිසහගත සමාජයක් බිහිවිය යුතු යයි සිතන, වෑන්ගාඞ් එකෙන් පිටත සාමාන්‍ය සමාජය යනු තමාගේ දේශපාලන සහකරුවා මිස අමන මෝඩයන් යයි නොසිතන දේශපාලනයක් පිළිබද සිහිනය සෙමින් වියැකී යමින් පවතී. එදා සීනුව හැඬවුනේ මගේ පරම්පරාවේ එම සිහිනය යථාර්ථයක් කිරීමට ගිය අයට ය. මරණයේ සීනුව දෙවරක් නාද නොවේ.

ප‍්‍රභා මනුරත්න

One response to “මරණයේ සීනුව දෙවරක් නාද නොවේ – නිර්මාල් දීප්ති සංවාදය

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )