“ජනතාවෙනි, මම ටහ්රීර් චතුරශ‍්‍රයට යනවා.” Enacting the Phrase ” We, the People”

ටහ්රීර් චතුරශ‍්‍රයේ සිට වෝල්ස්ටී‍්‍රට් දක්වා විප්ලවයේ ගිනිසිළු. (03 – කොටස)

2011 ජනවාරි 25 දින ඊජිප්තු විප්ලවයේ නිල ආරම්භයට සතියකට පෙර 26 හැවිරිදි ස්ත‍්‍රියක වන අස්මා මහ්ෆූස් සිය ෆේස්බුක් පිටුවේ මෙසේ ලිවී ය: “ජනතාවෙනි, මම ටහ්රීර් චතුරශ‍්‍රයට යනවා.”  තිස් වසරක කාලයක් පුරා ඇමරිකාවට සහ ඊශ‍්‍රායලයට ගැති කම් කරමින් ඊජිප්තුව මත දුර්දාන්ත පාලනයක් ගෙන ගිය හොස්නි මුබාරක් ට එරෙහි ඊජිප්තු විප්ලවයේ මුල් සළකුණු එසේ ඇරඹිනි. වර්තමානයේදී ලෝකය පුරා ඇති වී ඇති විප්ලව ගණනාවක් විසින් සන්නිවේදනය සහ තාක්ෂණය නිර්මාණාත්මක ලෙස අරගලයට බද්ධ කරන ලදි.

වඩාත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී මාධ්‍ය භාවිතාවන් පිළිබඳව නව මානයන් ගවේෂණය කිරීමටත්, තරුණ, තාක්ෂණික සන්නිවේදනයට බෙහෙවින් ලැදි “ෆේස්බුක් පරම්පරාව” යනුවෙන් හඳුන්වනු ලබන තරුණ පරපුර මෙම නව අරගලවලට සම්බන්ධ කිරීමටත් මෙම නව තාක්ෂණික උපක‍්‍රම බෙහෙවින් ප‍්‍රයෝජනවත් විය. අනෙක් අතින් මේ අරගලවල දැකිය හැකි තවත් ප‍්‍රධාන ලක්ෂණයක් නම් බොහෝ පෙරමුණුවල ක‍්‍රියාකාරී වීමේ ස්වරූපයයි.  ඒකමානී, පුරෝකථනය කිරීමට පහසු, පොදුවේ භාවිතා කරන උපාය උපක‍්‍රමවලට අමතරව නව වර්ගයේ විවිධ පෙරමුණුවල ක‍්‍රියාකාරී වීම මෙහිදී විශේෂ ය. අප මෙහිදී අවධානය යොමු කරන්නේ මෙම කරුණු දෙක කෙරෙහි ය. මෙහි මුල් ලක්ෂණ හතර අපි පසුගිය ලිපියෙන් සාකච්ඡා කළෙමු.

වෝල් ස්ටී‍්‍රට් විරෝධතාකරුවන්

5. සිය සංවිධාන කටයුතු සඳහා අන්තර්ජාලය භාවිතා කිරීම

මෙම නව ගෝලීය විප්ලවය ෆේස්බුක් හෝ ට්විටර් විප්ලවයක් ලෙස හැඳින්වීමට ඇතැම් විචාරකයන් මැළි වන්නේ මෙම යෙදුම තුළින් මෙම විප්ලවයේ සැබෑ ගතිකත්වයන් සහ එහි බහුඋපක‍්‍රමිකවාදී ස්වරූපය පිළිබඳව වැරදි චිත‍්‍රයක් බිහිවන බැවිනි. ඊතන් සූකර්මන් ඉරානයේ නැගිටීම එසේ ට්විටර් විප්ලවයක් ලෙස හැඳින්වීම යනු වීථියේ සටන් අරගලවල සැබෑ ජීවිත අනතුරුවලට මුහුණ දෙන දහස් ගණනකගේ දායකත්වය හුදු තාක්ෂණ’ක දියුණුවකට ලඝු කිරීමක් බව පවසයි. මෙම අරගල තුළ අන්තර්ජාලයේ සහ නව තාක්ෂනික සන්නිවේදන ක‍්‍රමවල දායකත්වය අප විසින් සැළකිය යුත්තේ මෙම වැදගත් අනුසීමාව සිහි තබාගෙන ය.
පසුගිය වසර පහළොවක කාලයක් තුළ අන්තර්ජාල දේශපාලනික ක‍්‍රියාකාරීත්වය ඉතාමත් බහුල ලෙස වැදගත් ක‍්‍රියාකාරීත්වයක් ඉටු කරයි. දේශපාලනික අරගල සඳහා අන්තර්ජාලය භාවිතා කිරීමේ සන්ධිස්ථානයක් ලෙස සැළකෙන්නේ 1994 දී සැපටිස්ටා ව්‍යාපාරය සහ ඊට සහය දැක් වූ කණ්ඩායම් විසින් අන්තර්ජාලය යොදාගත් ආකාරයයි. උතුරු ඇමරිකා නිදහස් වෙළඳ සම්මුතිය සහ පොදුවේ ගත් කළ නවලිබරල්වාදයට එරෙහිව දැනුවත් කිරීම් සඳහා ද පොදු මහජන අදහස් දැන ගැනීමට ද, මහා පරිමාණයේ ජනතා මණ්ඩප සංවිධානය කිරීම සඳහා ද සැපටිස්ටාවරුන් විසින් අන්තර්ජාලය යොදා ගන්නා ලදි.
අන්තර්ජාල වෙබ් සහ බ්ලොග් අඩවි මෙන්ම සමාජ ජාලගතකිරීම් අඩවි හරහා ද සිදුවන මෙම නව දේශපාලනික ප‍්‍රවණතාවයේ ලක්ෂණ කිහිපයක් අපට හඳුනාගත හැකි ය. ඉන් එකක් නම් මෙම අන්තර්ජාල හරහා වර්ධනය වී ඇති පුරවැසි මාධ්‍ය භාවිතාවයි. මෙම ගෝලීය විප්ලවයට පෙර සන්නිවේදනය සහ අධ්‍යාපනය සළකන ලද්දේ තොරතුරු සහ දැනුමට ප‍්‍රවේශය ඇති,  ඒ පිළිබඳව විශේෂඥයන් විසින් හෝ පක්ෂ නායකත්වය විසින් ”දැනුම නොමැති” හෝ ”මෝඩ” මහජනතාව ලෙස සළකනු ලබන ව්‍යාපාරයෙන් පිටත සිටින පුද්ගලයන්ට දැනුම බෙදා දෙන මාර්ග ලෙස ය. මීට වෙනස් ලෙස මෙම තාක්ෂනික විප්ලවය විසින් අධ්‍යාපනය සහ සන්නිවේදනය පහළ සිට ඉහලට ගෙන යා හැකි ආකාරය පිළිබඳ යහපත් පරමාදර්ශයක් සපයයි.


අන්තර්ජාල සම්බන්ධයක් සහිත  ඕනෑම කෙනෙකුට දැනුම නිර්මාණය කිරීමේ ක‍්‍රියාවළියට එක්විය හැකි සන්නිවේදන ක‍්‍රම නිර්මාණය වීමත් සමඟම විරෝධතාකරුවන් හෝ ව්‍යාපාර විසින් පමණක් නොව ඒවාට සම්බන්ධ නොවූ සිවිල් ජනයා ද සිය දුරකතන හෝ කැමරා භාවිතයෙන් තමා ඇසු දුටු දෙය තමා බඳුම පාඨක/පේ‍්‍රක්ෂකයන් සමඟ බෙදාහදා ගැනීම ඇරඹිනි. රජයයන්, බලවත් පක්ෂ, සහ මාධ්‍ය සමාගම්වල ඒකාධිකාරයට නතුව තිබූ තොරතුරු සහ දැනුම සම්පාදනය කිරීමේ හැකියාව එක් වරම සාමාන්‍ය ගැහැණුන් සහ පිරිමින්ගේ අතට මාරු වීම යනු ඒකමානී තොරතුරු සහ දැනුම වෙනුවට බහුමානී දැනුම නිර්මාණය කිරීමේ ක‍්‍රියාවළියකි.
මෙම අවකාශය තුළ පණ්ඩිතමානී විද්වතා ද තරුණ පාසැල් බ්ලොග් ලියන්නා යන දෙදෙනාගේම ජීවන අත්දැකීම් වෙත සමාන අවධානයක් යොමු කළ හැකිය. එවැනි විටෙකදී, විරෝධතාකරුවන්ට දර්ශනවාදීන්ගෙන් උගත හැකි වනවා පමණක් නොව දර්ශනවාදීන් ට විරෝධතාකරුවන්ගෙන් උගත හැකි වන්නේ ය. ඇකඩමියාවේ බොහෝ බුද්ධිමතුන් මෙවර අරගලයේ මාවතට තල්ලූ කරනු ලැබුවේ ඔවුන්ට තව දුරටත් මේ නැගිටීම් පිළිබඳ දැන නොසිටිය හැකි නොවූ නිසා ය. එබැවින් මෙය පහළ සිට ඉහළට දැනුම සහ තොරතුරු සම්පේ‍්‍රෂණය කිරීමේ නව විප්ලවයකි; එය හුදු තාක්ෂනික විප්ලවයක් නොවේ. සම්ප‍්‍රදායික පක්ෂ විසින් දැනුම සහ තොරතුරු පිළිබඳව කල්පනා කරන ආකාරය ම අභියෝගයට ලක් කරන විප්ලවයකි.
අන්තර්ජාලය හරහා මෙසේ දැනුම සම්පාදනය කිරීම විසින් සාමාන්‍යයෙන් තොරතුරු සැපයීමට ඇති බලයේ විෂමතාවයන් ප‍්‍රතිව්‍යුහගත කරයි. මෙහි දී විශේෂයෙන්ම මාධ්‍ය බලාධිකාරය සහිත රජයයන් සහ පාලක පන්තීන්ට සහය දක්වන මාධ්‍ය භාවිතයන් ද, බලවත් පක්ෂ ද විසින් අත්පත් කරගෙන සිටින දැනුමේ සහ තොරතුරුවල ඒකාධිකාරය අභියෝගයට ලක් කෙරේ. සාමාන්‍යයෙන් පුවත්පතක් මුද්‍රණය කිරීම හෝ ගුවන් විදුලි හෝ රූපවාහිනී සේවාවක් පවත්වා ගැනීම සඳහා මූලධනය නොමැති සංවිධාන සහ පුද්ගලයන්ට ද සාපේක්ෂ ලෙස අඩු වියදමකින් සිය මතය ප‍්‍රචාරය කිරීමට අන්තර්ජාලයෙන් අවකාශ ලැබේ.

එමෙන්ම අන්තර්ජාලය හරහා කිසියම් විරෝධතාවලට සහය පළ කරන පුද්ගලයන්ගේ විවිධ මට්ටමෙන් කෙරෙන සම්බන්ධවීම්වලට ඉඩ සළසයි. සමහර කෙනෙක් මෙහිදී LIKE බොත්තම එබීමෙන් නතර වන අතර, තවත් කෙනෙක් ගෝලීය විප්ලවයේ සජීව තොරතුරු අන්තර්ජාලය හරහා ප‍්‍රකාශයට පත් කරන ඉතාමත් ප‍්‍රයෝජනවත් ප‍්‍රවෘත්ති අඩවි පවත්වාගෙන යා හැකි ය. globalrevolutiontv යනු එබඳු සජීව විකාශයන් ගෙන එන ප‍්‍රමුඛ වෙබ් අඩවියකි.


අන්තර්ජාලය හරහා දේශපාලනික ක‍්‍රියාකාරීත්වයට සම්බන්ධ වීම තුළ අභියෝග ගණනාවක් ද පවතියි. මින් පළමුවැන්න නම් තවමත් ලෝකය පුරා අන්තර්ජාලයට සම්බන්ධ වී ඇති ජනතාවගේ ප‍්‍රතිශතය අඩු මට්ටමක පැවතීමයි. භාෂා බාධක ද ඇතැම් විට මෙසේ දැනුම ප‍්‍රජාතන්ත‍්‍රීකරණය කිරීමේ ලා ගැටළුවක් වෙයි. එමෙන්ම අන්තර්ජාලය විසින් ලබාදෙන සාපේක්ෂ නිර්නාමිකත්වය ඇතැම් පුද්ගලයන් වැරදි ලෙස භාවිතා කරනු දැකිය හැකි ය. වර්තමාන ලෝකයේ බොහෝ රාජ්‍ය තන්ත‍්‍ර සතුව දියුණු පරිඝණක සහ අන්තර්ජාල දැනුමක් පවතියි.

එබැවින් වෙබ් අඩවි වාරණයට ලක් කිරීමේ සිට, ව්‍යාජ අමතන්නන් යොදාගෙන තමාට හිතකර වර්ගයේ තොරතුරු ප‍්‍රචාරය කිරීම බොහෝ රජයයන් හා සංවිධාන විසින් කරනු අපට දැකිය හැකි ය. එමෙන්ම අන්තර්ජාලයේ ක‍්‍රියාත්මක වන ආරක්ෂණ බුබුළු, එනම් අන්තර්ජාල සෙවුමක යෙදෙන්නාගේ පූර්ව චර්යාවන්ට ගැලපෙන ලෙස කිසියම් සෙවුමක ප‍්‍රතිඵල ලබා දීම සඳහා විශේෂයෙන් ගූගල් බඳු සෙවුම් යාන්ත‍්‍රණ විසින් භාවිතා කරනු ලබන ඇල්ගොරිද්මික කේතන භාවිතා කිරීම ද මෙසේ අන්තර්ජාලය හරහා කරන දේශපාලනික ක‍්‍රියාකාරීත්වයට ඇති අභියෝග ලෙස හඳුනා ගත හැකි ය. මෙහිදී වැදගත් වන්නේ අන්තර්ජාල දේශපාලනික ක‍්‍රියාකාරකම්වල ස්වරූපයන් පිළිබඳව සෑම විටම ගැඹුරු ලෙස විමසිලිමත් වෙමින්, එය එක් එක් ස්ථානීය අරගලයට ගැලපෙන ආකාරයට නිර්මාණාත්මක ලෙස යොදා ගැනීමයි.


6. බහු පෙරමුණුවල ක‍්‍රියාත්මක වන ව්‍යාපාරයක් වීම

මෙම ගෝලීය ව්‍යාපාරය ක‍්‍රියාත්මක වන්නේ එක් පෙරමුණක නොවේ. එය වීථි විරෝධතා, අන්තර්ජාලය හරහා සිදු කෙරෙන සංවිධාන කටයුතුවලට අවශ්‍ය තාක්ෂනික අධෝව්‍යුහය සැපයීම, සයිබර් ප‍්‍රහාර එල්ල කිරීම, විකල්ප ජනමාධ්‍ය සංවිධානය කිරීම හා පවත්වාගෙන යෑම, මෙම නව ව්‍යාපාරයට අවශ්‍ය බුද්ධිමය  දායකත්වය සැපයීම සහ පුළුල් ලෙස පැතිරුණු දැනුවත් කිරීම් හරහා නවලිබරල්වාදයේ ක‍්‍රියාකාරීත්වය පිළිබඳව පොදු ජන අවබෝධය වෙනස් කිරීම, ආදී වශයෙන් විවිධ පෙරමුණුවල පැතිරුණු ක‍්‍රියාකාරීත්වයක් සහිත වීම මෙමගින් අදහස් කෙරේ.
මෑතකදි ගාසා තීරය බලා ධාවනය කරනු ලැබූ නිදහසේ රැළි නම් යාත‍්‍රා ද, ඇමේසන් වනාන්තර විනාශයට එරෙහි ව්‍යාපාරය ද, පලස්තීනයේ හමාස් සංවිධානයට හා අබ්බාස්ගේ රජයට නැවත සාකච්ඡා ආරම්භ කිරීමට බල කෙරුනු මහජන විරෝධතාවයන් ද, උගන්ඩාවේ ළමා සොල්දාදුවන්ගේ ගැටළුවලට පිළියම් යෙදීම සඳහා ක‍්‍රියාත්මක වූ ඉන්විසිබල් චිල්ඞ්රන් වැනි ව්‍යාපාර ද, ඇෆ්ඝනිස්ථානයේ ස්ත‍්‍රී පීඩනයට එරෙහිව රහසේ ක‍්‍රියාත්මකවන වූ රාවා වැනි ව්‍යාපාර ද, සාධාරණ වෙළඳ සබඳතා වෙනුවෙන් සටන්කරන සධාර්මික වෙළඳ ව්‍යාපාර ද, (Fair Trade) ශ‍්‍රී ලංකාවේ නිදහස් වෙළඳ කලාප සේවකයන් විසින් සිය විශ‍්‍රාම වැටුප් කපා හැරීමට එරෙහිය ගොනු වූ ව්‍යාපාරය ද, ධීවර සහ ගොවි අයිතිවාසිකම් සඳහා ක‍්‍රියාත්මක වන ව්‍යාපාර ද, න්‍යාෂ්ටික බලාගාරවලට එරෙහිව තෝකියෝවේ උද්ඝෝෂණ ද මෙම බහුපෙරමුණු ක‍්‍රියාකාරීත්වයේ ප‍්‍රායෝගික උදාහරණ කිහිපයකි.

සධාර්මික වෙළඳ ව්‍යාපාරයේ ප‍්‍රචාරක පෝස්ටරයක්

මෙම සංවිධාන අතර පැහැදිලිව හඳුනාගත හැකි නිල සම්බන්ධතා හෝ සහයෝගීතා නොමැත. එයට වෙනස්ව එකිනෙක අරගලයන්ගේ අවබෝධාත්මක අන්තර් මුහුවීමක් දැකිය හැක. ජුලියන් අසාන්ජ් ප‍්‍රමුඛ විකී ලීක්ස් කණ්ඩායම විසින් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තුමේන්තුවේ රහස් කේබල් අන්තර්ජාලයට මුදා හැරීම, අරාබි වසන්තය හා අල්ජසීරා ප‍්‍රවෘත්ති ආයතනයේ විකාශනයන් අතර බැලූ බැල්මට නොපෙනෙන අන්තර්සම්බන්ධය මෙහිදී කැපී පෙනේ.
විකිලීක්ස් සංවිධානය ටියුනීසියාව පිළිබඳව පළ වූ කේබල් ද අනිකුත් රහස් කේබල් සමඟ මුදා හරින ලද අතර, සංවිධිත ආකාරයකට මේවා ප‍්‍රංශ සහ අරාබි භාෂාවලට පරිවර්තනය කර පළ කළ ආකාරය අසාන්ජ් පැහැදිලි කරන්නේ පහත පරිදි ය:

පසුව අප කේබල්ගේට්වල කටයුතු සිදු කරන විට අප ප‍්‍රංශ සහකරුවෙකු ලෙස ”ල මොන්ඞ්” පුවත්පත යොදා ගත්තා මේ කේබල් ප‍්‍රංශ භාෂාවට පරිවර්තනය කිරීමට. අප දැනගෙන හිටියා මේවා ප‍්‍රංශ භාෂාව කතා කරන අප‍්‍රිකාවට බලපෑමක් කරනු ඇති බව. එමෙන්ම දෙසැම්බරයේ මුල් භාගයේ දී ලෙබනන් සිට පළ කරන අරාබි භාෂාවෙන් පළවන අල් අක්බාර් පුවත්පතේ ද ඊජිප්තුවේ අල් මස්රි අල් යොඋම් පුවත්පතේ ද අරාබි භාෂාවෙන් පළ වුනා . . . මේවා අතර ටියුනීසියානු රෙජිමය සහ බෙන් අලි පිළිබඳව තීරණාත්මක කේබල් ගණනාවක් පළ වුනා.

දැන් සාමාන්‍යයෙන් ඉදිරිපත් කෙරෙන තර්කයක් තමයි . . . ජනතාවට සිදුවෙමින් පවතින දේ පිළිබඳව පැවසූ විට, ඔවුන් ඒ පිළිබඳව කෝප වී ඊට විරුද්ධවේ ය යන අදහස. ඇත්තටම නම්, සැබෑ තත්ත්වය මීට වඩා බෙහෙවින් සිත්ගන්නා සුළු සහ පොහොසත් ස්වභාවයක් දරනවා. ඒ වෙනුවට ඇත්තෙන්ම ජනයා දැන ගන්නවා, දැන ගැනීම ආරම්භ කරනවා, ඔවුන් එය ප‍්‍රතික්ෂේප කළ නොහැකි ආකාරයට දැන ගන්නවා. ඒ වගේම ඔවුන් දැන ගන්නවා ඇමරිකා එක්සත් ජනපදය දන්නා බව; ටියුනීසියාව තුළ සිදු වන්නේ කුමක්ද යන්න ප‍්‍රතික්ෂේප කිරීමට ඇමරිකා එක්සත් ජනපදයට නොහැකි වෙනවා. එතකොට රට අභ්‍යන්තරයේ සහ බාහිරව ඇති ප‍්‍රභූ පන්ති දැන ගන්නවා සිදුවෙමින් පවතින්නේ කුමක්ද යන්න සහ එය ප‍්‍රතික්ෂේප කළ නොහැකි බව. එවිට ඇමරිකා එක්සත් ජනපදයට බෙන් අලී රෙජීමයට සහයෝගය දැක්වීමටත්, සාමාන්‍යයෙන් එය කළ හැකිව තිබූ පරිදි ටියුනීසියානු විප්ලවයට මැදිහත් වීමටත් නොහැකි වෙනවා. ප‍්‍රංශයට ද බෙන් අලී ට සහ ඔහුගේ සහචරයන්ට කළින් කළ ආකාරයට සහයෝගය දැක්වීමට නොහැකි වෙනවා.

ඒ  වගේ ම මෙම කලාපය සමඟ ගනුදෙනු කිරීමේදී කේබල්ගේට් සඳහා අපගේ උපක‍්‍රමය වූයේ වික්ෂිප්ත කිරීමයි. එනම් උදාහරණයක් ලෙස අපට සෞදි අරාබිය ගන්න පුළුවන්. ඔවුන් මැදපෙරදිග රජයයන් ගණනාවකට මුක්කු ගසා පවත්වා ගෙන යනවා. ඇත්තෙන්ම මේ සඳහා බහ්රේන් ආක‍්‍රමණය කිරීම ද දැකිය හැකි වුනා. එ්ත් මෙවැනි රජයයන්ට තමන්ගේම ගැටළු, තමන්ගේ ම දේශපාලනික අර්බුදවලට මුහුණ දීමට සිදු වූ විට ඔවුන් ඇතුළාන්තයට හැරෙනවා. තව දුරටත් ඔවුන්ට මෙම මුක්කු ගැසීම කරන්න බැහැ. ඉතින් සමස්තයක් විදිහට ගත්තම කේබල්ගේට් විසින් අරාබිය පුරා එකිනෙකාට මුක්කු ගසන ප‍්‍රභූන්ට, අරාබි කතා කරන රටවල ද යුරෝපයේ ද, ඇමරිකා එක්සත් ජනපදය සහ මෙම රටවල් අතර ද– තමන්ගේම වූ දේශපාලනික අර්බුදවලට මුහුණ දීමට සිදුවෙනවා, දේශපාලනික ක‍්‍රියාකාරිකයන් පිළිබඳව එකිනෙකාට බුද්ධි වාර්තා සැපයීමට කාලය වැය කිරීමට නොහැකි වෙනවා . . . මා සිතන්නේ ටියුනීසියානු ක‍්‍රියාකාරිකයන් මෙය දුටුවා. ඔවුන් ඉක්මනින්ම හොඳ අවස්ථාවක් හඳුනා ගත්තා.  (ජුලියන් අසාන්ජ් එමි ගුඞ්මන් සහ ස්ලාවොයි ජිජැක් සමඟ සංවාදයකදී)

ජුලියන් අසාන්ජ් එමි ගුඞ්මන් සහ ස්ලාවොයි ජිජැක්

ටියුනීසියානු රජය පමණක් නොව ඇමරිකානු රජය ඇතුළු සමස්ත ලෝක ප‍්‍රජාවම මෙම නව විප්ලවයෙන් පුදුමයට පත් විය. අල් ජසීරා ප‍්‍රවෘත්ති ආයතනය විසින් මේ අතර ගත් වැදගත් දේශපාලනික තීරණයක් ද මෙම අරගලයට පිටිවහලක් වූ බව අසාන්ජ් පවසයි. ඩුබායි සිට විකාශය වන මාධ්‍ය ජාලයක් වන අල් ජසීරා, මැද පෙරදිග වීථිවල බුරබුරා නැගුණු අරගල, පොලිස් පහර දීම්, ඒවාට එක්වූ ජනකාය සහ ඔවුන්ගේ කතා ආදිය සිය රූපවාහිනී නාලිකාව හරහා ලෝකයටම ප‍්‍රචාරය කළ හ. සී. එන්. එන්. බී. බී. සී. වැනි ප‍්‍රමුඛ ප‍්‍රවෘත්ති සමාගමවලට වෙනස් ලෙස මෙම අරගලවල මුහුණුවර, එහි ක‍්‍රියාකාරිකයන්ගේ මුහුණු නැවත නැවත පෙන්වමින් අරගලයේ ස්වරූපය ලෝකයට නිරූපණය කළේ ය.

2011 මාර්තු මාසයේ දී ඇමරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කලේ බොහෝ අමරිකානු ජාතිකයන් අල් ජසීරා නරඹන්නේ එය ”ඇත්ත ප‍්‍රවෘත්ති” විකාශය කරන නිසා බවයි. ඒ ඇමරිකාවේ ප‍්‍රධාන සමාගම්ගත ප‍්‍රවෘත්ති චැනල වන ෆොක්ස් නිව්ස් සී. එන්. එන්. එම්. එස්. එන්. බී. සී. වැනි ආයතනවලට අතුල් පහරක් එල්ල කරමිනි.
ගෝලීය වශයෙන් ගත්කල විවිධ කලාපවල සහ විවිධ ක්ෂේත‍්‍රවල විවිධ සටන්ක‍්‍රම අනුගමනය කරමින් මෙම විප්ලවය දිග හැරෙමින් පවතියි. ඉන්දියාවේ දී එය ස්වදේශික ජනතාවගේ ආර්ථික සහ සංස්කෘතික අයිතිවාසිකම් අත්පත් කරගැනීම සඳහා සටනක් වන විට වසිරිස්ථානයේ දී එය අමරිකානු ඩ්‍රෝන් ප‍්‍රහාරවලට ගොදුරු වන පුද්ගලයන් පිළිබඳ රූප වාර්තා සකස් කිරීම විය හැකි ය. ප‍්‍රංශයේදී එය නුපුහුණු කම්කරු සංක‍්‍රමනිකයෙකුගේ අයිතිවාසිකම් වෙනුවෙන් කෙරෙන අරගලය විය හැකි ය. ගොවියන් ට ඉඩම් සහ සිය නිෂ්පාදන සඳහා සාධාරණ වෙළඳපොළක් නිර්මාණය කිරීම ද වැටුප් ශ‍්‍රමිකයන්ට වෘත්තීය සමිතිවලට බැඳීමට සහ සාමූහික කේවල් කිරීම් සඳහා යොමුවීම ද මෙම අරගලය තුළ එකසේ වැදගත් කමක් දරයි.

නර්මදා නදියේ විරෝධතා

එමෙන්ම මෙම අරගලය විසින් පරිසරය රැක ගැනීම අප ජීවත්වන යුගයේ වැදගත්ම සහ හදිසිම දේශපාලනික අවශ්‍යතාවයක් ලෙස හඳුනා ගනියි. මෙසේ බහුපෙරමුණුවල ක‍්‍රියාත්මක වීමේ දී ක‍්‍රියාකාරිකයන්ට තමාට කෙලින්ම බලපාන අරගලයකට සම්බන්ධ වීම හරහා සමස්ත විප්ලවයට සම්බන්ධ විය හැකි අතර තමන්ගේ හැකියාවෙන් සහ ශක්ති ප‍්‍රමාණයෙන් එයට දායක විය හැකි ය. මෙබඳු ව්‍යාපාර දැනුවත් කිරීම් සහ වීථි සටන් සඳහා පුහුණු කිරීම් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ ද සුලභ වශයෙන් කාඩර්වරුන් නිර්මාණය කිරීමේ හෝ පූර්ණ කාලීනයන් යොදාගැනීම සහ මූලස්ථාන ගොඩනැගීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන්නේ නැත.
මෙසේ බහුපෙරමුණුවල ක‍්‍රියාත්මක වීමට නම්, එම ව්‍යාපාරයට විවිධ ක්ෂේත‍්‍රවල නිපුණතා ඇති විෂමජාතීය පුද්ගලයන්ගේ ක‍්‍රියාකාරීත්වයක් අත්‍යාවශ්‍යය. කලින් නිමා කරන ලද දෘෂ්ඨිවාදයක සිට ක‍්‍රියාත්මක වීම හෝ කලින් තීරණය කරන ලද සටන් ක‍්‍රම උපයෝගීකර ගැනීම වෙනුවට, මෙසේ බහුවිධ වූ එළඹුම්වලින් යුත් පුද්ගලයන් විසින් ක‍්‍රියාත්මක කරනු ලබන අරගලයක් වඩා නිර්මාණශීලී වනවා පමණක් නොව එකම ක්ෂේත‍්‍රයකට සීමා වීමෙන් නොනවතියි.

උදාහරණයක් ලෙස ඇමරිකා එක්සත් ජනපදයේ ක‍්‍රියාත්මක වන අත්පත් කර ගැනීමේ ව්‍යාපාර, වීථි සටන්වල නිරතවන අතරම, බෑන්ක් ඔෆ් ඇමරිකා බඳු විශාල බැංකුවලින් සිය මුදල් ඉවත්කොට ගෙන ප‍්‍රාදේශීය බැංකු, සමූපකාර බැංකු ආදියෙහි මුදල් තැන්පත් කරන ලෙස පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටීමේ ව්‍යාපාර ද ක‍්‍රියාත්මක කරයි. ඒ අතරම වෘත්තීය සමිති ව්‍යාපාරයේ සම්පූර්ණ සහයෝගය ලබා ගනිමින් අති විශාල උද්ඝෝෂණ සහ වැඩ වර්ජන ක‍්‍රියාත්මක කරයි. උද්ඝෝෂකයන්ට කෑම පිළියෙල කිරීම, උද්ඝෝෂණයට පැමිණෙන අයට භාවිතා කළ හැකි පුස්තකාල පවත්වාගෙන යාම, තුවාල ලැබූවන්ට අවශ්‍ය වෛද්‍ය සේවා සැපයීමට අවශ්‍ය ජංගම සායන ආදිය ක‍්‍රියාත්මක කරන අතරම, ඇමරිකානු ශිශිරයට මුහුණ දීම සඳහා ස්වීටර් සහ අත්මේස් ආදිය ගෙතීම සඳහා කණ්ඩායම් සංවිධානය කිරීම ද අත්අඩංගුවට පත් වූවන් සඳහා අවශ්‍ය නීති සේවා සැපයීමට නීතීඥවරුන් සංවිධානය කිරීම ද මේ අතරම සිදුවෙයි. මේ සියලූ කටයුතු එක්වර සංවිධානය වන විට, රජයකට ඊට කෙළින්ම මුහුණ දිය නොහැකි ය.

වීථි සටන් පමණක් හෝ සයිබර් ක‍්‍රියාකාරීවය පමණක් හෝ සිදු කළේ නම්, රජයකට සිය පොලිසිය සහ හමුදා යොදා ඒවා මර්ධනය කිරීම පහසු ය. එහෙත් එකවර පෙරමුණු ගණනාවක මෙසේ ක‍්‍රියාත්මක වන විට, එක් තැනකින් පහර දුන් විට තවත් තැනකින් සටන ආරම්භ කිරීමේ ප‍්‍රවේගය එම ව්‍යාපාරය සතු වේ. එමෙන්ම වෙනස් ලෙස සිතන පුද්ගලයන් විසින් උපාය උපක‍්‍රම නිර්මාණය කරන විට සාමාන්‍යයෙන් ඒවා පුරෝකථනය කිරීම හා ඒවාට සූදානම් වීමට අපහසු ය.
බොහෝ විට මෙම නව ගෝලීය විප්ලවය පිළිබඳව කෙරෙන විවේචනයක් නම් එය සතුව පැහැදිලි ඉල්ලීම් හෝ වැඩසටහනක් නොමැති බැවින් එය විසිරුණු, ඛණ්ඩිත ස්වභාවයක් දරණ බවයි. එහෙත් අරාබිකරයේ මෙන්ම උතුරු ඇමරිකාවේ සහ යුරෝපයේ ද මෙම විරෝධතාකරුවන් සතුව ඉතාමත් පැහැදිලි ඉල්ලීම් දැකිය හැකි ය:

ජූඩිත් බට්ලර් වෝල් ස්ටී‍්‍රට් විරෝධතාකරුවන් සමග

උදාහරණයක් ලෙස සිරියාවේ, යේමනයේ, සහ ඊජිප්තුවේ ප‍්‍රධාන සටන් පාඨය වූයේ එම රටවල දුර්දාන්ත පාලකයන් ඉල්ලා අස්විය යුතු බව ය. මෙය පැහැදිලි ඉල්ලීමකි. එහි කිසිදු උභයාර්ථ ස්වභාවයක් නැත. එයින් අදහස් වන්නේ මුබාරක් හෝ බෂාර් අල් අසාද් සිය ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව ය. ඇමරිකාවේ දී මෙය තවත් පැහැදිලි ය. ඔවුන්ගේ ප‍්‍රධාන ඉල්ලීම නම් ආණ්ඩුකරණයේ සහ නීති සම්පාදනය කිරීමේ ලා බලය ඇති පුද්ගලයන් ට බහුජාතික සමාගම්වල කොටස් මිලදී ගැනීමට ද, එම සමාගම්වලින් ප‍්‍රතිලාභ ලබා ගැනීමට ද නොහැකි වන පරිදි  නීතිවලින් ගැලවීමට ඇති මාර්ග අහුරන ලෙස ය. මෙය අපැහැදිලි ඉල්ලීමක් නොවේ. ඒ වෙනුවට එය සමස්ත බල ව්‍යුහයම උඩුයටිකුරු කරන මෙන් කෙරෙන ඉල්ලීමකි. එබඳු ඉල්ලීම් ද, මෙබඳු ව්‍යාපාර ද හුදු රොමෑන්ටික්වාදයක් ලෙස සලකා බැහැර කිරීම පහසු වුව ද, ජූඩිත් බට්ලර් වෝල් ස්ටී‍්‍රට් විරෝධතාකරුවන් අමතා කළ කතාවේ දී පැවසූ පරිදි,

එසේ නැතහොත් ඔවුන් කියනවා සමාජ සමානාත්මතාවය සහ ආර්ථික සාධාරණත්වය යනු අශක්‍ය (impossible) ඉල්ලීම් බව. ඔවුන් කියනවා එබඳු ඉල්ලීම් ඇත්තටම ප‍්‍රායෝගික නොවන බව. බලාපොරොත්තුව යනු අශක්‍ය ඉල්ලීමක් නම්, ඔව් අප අශක්‍ය දේ ඉල්ලා සිටිනවා.ඉඳුම් හිටුම්, ආහාර, සහ රැකියා ලබා ගැනීමට ඇති අයිතිය යනු අශක්‍ය ඉල්ලීමක් නම්, ඔවු අප අශක්‍ය දේ ඉල්ලා සිටිනවා. ආර්ථික අවපාතයෙන් ලාභ ලබන පුද්ගලයන්ගේ ධනය නැවත බෙදාහැරිය යුතු බව සහ ඔවුන් ඔවුන්ගේ පෙරේතකම නැවැත්විය යුතුය යනුවෙන් ඉල්ලා සිටීම අශක්‍ය ඉල්ලීමක් නම්, ඔවු අපි අශක්‍ය දේ ඉල්ලා සිටිනවා.

එහෙත් සත්‍යය නම් මෙහි ඇති කිසිදු ඉල්ලීමක් විනිශ්චයට විවෘත නැත. මන්ද යත් අප මෙහිදී හුදු ආර්ථික සාධාරණත්වය සමාජ සමානාත්මතාවය ඉල්ලා සිටිනවා නොවේ; අප ප‍්‍රසිද්ධ ස්ථානවල රැස් වෙමින් අප සන්ධානගත ශරීර ලෙස එකට එක් වෙමින් සිටිනවා. වීථියේ සහ චතුරශ‍්‍රයේ අප එක්ව සිටගෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදය නිර්මාණය කරමින් සිටිනවා “ජනතාව වන අප” යන යෙදුම ජීවමාන කරමින්.

මේ අර්ථයෙන් ගත්කළ බහු පෙරමුණුවල ක‍්‍රියාත්මක වීම යන්න සංකීර්ණ ක‍්‍රියාවළියක් ලෙස තේරුම් ගත යුතු ය. මෙය එක්වරම විවිධ කි‍්‍රයාකාරීත්වයන් තළ නියැලෙන අතරම එය ප‍්‍රජාතන්ත‍්‍රවාදය භාවිතාව තුළ යථාර්තයක් බවට පත් කිරීමක් ද වෙයි. එනයින් ගත් විට අරගලය බහුමානී ය. එය 99‍% සංවිධානය වන ආකාරයයි.
මෙම ගෝලීය විප්ලවයේ ඉතිරි ලක්ෂණ පිළිබඳව මීලඟ ලිපියෙන් සාකච්ඡාකිරීමට අපි බලාපොරොත්තු වෙමු.
ප‍්‍රභා මනුරත්න – බුද්ධික බණ්ඩාර

Prabha Manuratne – Buddika Bandara

One response to ““ජනතාවෙනි, මම ටහ්රීර් චතුරශ‍්‍රයට යනවා.” Enacting the Phrase ” We, the People”

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )