සිහින දකින්නට ධෛර්යය ඇති අරගලයක් වෙත . . The Courage to Dream Big

විප්ලවය යනු සුවිශාල සිහිනයකි. එබඳු සිහිනයක් දැකීමට ධෛර්යය අවශ්‍යය. එය විසින් පහසු පිළිතුරු නොමැති ප‍්‍රශ්න ගණනාවක් ජනිත කරන්නේ වුව ද එබඳු සිහින නොදකින තාක්, එබඳු සිහින දැකීමේ අයිතිය යළි අත්පත් කරනොගන්නා තාක් කල්, අපට සමාජ වෙනසක් දැකිය නොහැකි ය. වර්තමාන ගෝලීය විප්ලවය සංවිධානය වන ආකාරය තුළ කෙමෙන් කෙමෙන් විශාල වෙමින් පවතින්නේ අප දකින සිහිනයයි. කලින් සිතීමට නොහැකි වූ නිම්වළළු පුළුල් වීමකි. අප පසුගිය වර තැබූ සටහනින් දැනට ලෝකය පුරා ඇරඹී ඇති ගෝලීය විප්ලවය පිළිබඳව තැබූ සටහනෙහි දෙවැනි කොටසේ දී මෙම ගෝලීය විප්ලවයේ ලක්ෂණ කිහිපයක් සාකච්ඡා කරමු.මෙම නව විප්ලවයේ වැදගත්ම දෙය නම් මෙතෙක් කළ නොහැකිව තිබුනේ යයි සැළකුණු උපාය විධික‍්‍රම අනුගමනය කරමින් නව ප‍්‍රශ්න අසමින් ඒවාට නිර්මාණාත්මක පිළිතුරු සෙවීමයි. මෙම ව්‍යාපාරය පිළිබඳව නයෝමි ක්ලයින් පවසන්නේ,

ඔබගේ ව්‍යාපාරය කෙතරම් විශාලදැයි දැනගන්නා තෙක් ඔබට කෙතරම් විශාල සිහින දකින්න හැකිදැයි දැනගන්නට බැහැ. . . මෙවැනි ව්‍යාපාරයක් ඇත්තෙන්ම මෙම ක‍්‍රමයටම විරුද්ධව යන්නක්–මේ අය ඩිමොක‍්‍රටික් පක්ෂය මත සිය සියලූ බලාපොරොත්තු තබා බලයේ සිටින එක් පුද්ගලයෙකු වෙනස් කිරීමෙන් සියල්ල හරියාවි යයි සිතූ අය බව ඔබ දන්නවා–දැන් ඔවුන් ලූහු බඳින්නේ සමස්ත ක‍්‍රමයම. මෙබඳු පැතිරුණු සහ සංකීර්ණ ක‍්‍රමයක් වෙත බලපෑම් එල්ල කළ හැක්කේ කෙසේ ද යන්න කිසිසේත්ම පැහැදිලි කාරණාවක් නෙවෙයි . . . ගොවිතැන පිළිබඳ ඉතාමත් අනර්ඝ කවියෙකු වූ, කැන්සාස් හි ලෑන්ඞ් ඉන්ස්ටිටියුට් පවත්වාගෙන යන වෙස් ජැක්සන් කියන විදිහට, ඒ, පිළිතුරු නොමැති ප‍්‍රශ්න ඇසීමට ඇති අපගේ ධෛර්යයි. ලිබර්ටි ප්ලාසා හි උත්කර්ෂවත් විවෘත අවකාශය මට නියෝජනය කරන්නේ එයයි. මිනිසුන් ඒ ප‍්‍රශ්න අසමින් සිටිනවා; විශාල සිහින දැකීමට තමාටම අවස්ථාව දෙමින් සිටිනවා. (නයෝමි ක්ලයින් ඩිමොක‍්‍රසි නව් සමඟ සංවාදයකදී)

මෙම නව සමාජ ව්‍යාපාරය වෙත පියනැගීමෙදී බිහිවූ අරගලයේ මූලික ලක්ෂණ කිහිපයක් පහත සාකච්ඡා කරමු:

1. වඩා සාධාරණ ලෙස සම්පත් බෙදී යන, සියලූ දෙනාගේම ආර්ථික, දේශපාලනික, සහ සංස්කෘතික අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින, පරිසර හානියට එරෙහි, වෙනස් ලෝකයක් බිහි කිරීම යනු කළ හැකි දෙයක් ය යන විශ්වාසයෙන් ක‍්‍රියාත්මක වන ව්‍යාපාරයක් වීම.
2. නායකයෙකු නොමැති, තනි දේශපාලනික පක්ෂයකින්, කණ්ඩායමකින්, හෝ මතවාදයකින් පාලනය නොවන, ප‍්‍රජාතන්ත‍්‍රවාදය භාවිතාවට යෙදීමේ නිර්මාණාත්මක ක‍්‍රම වර්ධනය කරන ව්‍යාපාරයකි.
3. දීර්ඝ කාලයක් පුරා සිදු කරන ලද සංවිධානාත්මක ව්‍යාපාරයන්ගේ ක‍්‍රියාත්මක වීම තුළින් මතු වීම.
4. වැඩි වශයෙන් තරුණ ජනයාගේ මූලිකත්වයෙන් ආරම්භ වූ, පසුව විවිධ වයස් කාණ්ඩවල සහ විවිධ වෘත්තීන්හි නියැලෙන පුද්ගලයන්, කම්කරුවන්, ගුරුවරුන්, සෞඛ්‍ය සේවකයන්, ආරක්ෂක හමුදාවල නියුතු පුද්ගලයන්ගේ ව්‍යාපාරයක් වීම.
5. සිය සංවිධාන කටයුතු සඳහා අන්තර්ජාලය භාවිතා කිරීම.
6. බහු පෙරමුණුවල ක‍්‍රියාත්මක වන ව්‍යාපාරයක් වීම.
7. බහුඋපක‍්‍රමික ව්‍යාපාරයක්වීම.
8. සමාජයේ බහුතර සාමාජිකයන්ගේ සහයෝගය ලබන හා ඔවුන්ගේ ප‍්‍රශ්න ආමන්ත‍්‍රනය කරන පුළුල් ජන පදනමක් සහිත ව්‍යාපාරයක් වීම.
9. ස්ත‍්‍රී ක‍්‍රියාකාරිකයන් මෙම ව්‍යාපාරයේ සංවිධායකයන් ලෙස මූලිකත්වය ගැනීම.

(Photo source: http://www.bukisa.com)

1. වඩා සාධාරණ ලෙස සම්පත් බෙදී යන, සියලූ දෙනාගේම ආර්ථික, දේශපාලනික, සහ සංස්කෘතික අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින, පරිසර හානියට එරෙහි, වෙනස් ලෝකයක් බිහි කිරීම යනු කළ හැකි දෙයක් ය යන විශ්වාසයෙන් ක‍්‍රියාත්මක වන ව්‍යාපාරයක් වීම: මෙම ගෝලීය අරගලය දියත් වන්නේ ස්ථානීය ගැටළුවලට එරෙහිව වුව ද සමස්තයක් ලෙස ගෝලීයව සැලකූ කල එය මූලික වශයෙන් නව ලිබරල්වාදයට එරෙහිව සංවිධානය වෙයි. එහි මූලික සටන් පාඨ වන්නේ ආර්ථික සහ දේශපාලනික සාධාරණත්වයයි.
2. නායකයෙකු නොමැති, තනි දේශපාලනික පක්ෂයකින්, කණ්ඩායමකින්, හෝ මතවාදයකින් පාලනය නොවන, ප‍්‍රජාතන්ත‍්‍රවාදය භාවිතාවට යෙදීමේ නිර්මාණාත්මක ක‍්‍රම වර්ධනය කරන ව්‍යාපාරයකි. මෙහිදී කලින් සාදා නිමකරන ලද වැඩපිළිවෙළකට හෝ වැඩසටහනකට අනුව නොව, පොදු සාකච්ඡා, එකඟතා, ඡන්ද විමසීම්, පොදු සමුළු ආදිය තුළ තීරණ ගැනේ. මීට අමතරව බැලූ බැල්මට පුද්ගලික තලයේ සංවිධානය වන්නාක් සේ පෙනෙන, එහෙත් ඇත්ත වශයෙන් ම නිර්මාණශීලී කණ්ඩායම් වෙනස් සහ විවිධ උපක‍්‍රම අරගලය තුළදී වර්ධනය කරනු දැකිය හැකි ය. කේන්ද්‍රීය පක්ෂයකින් හෝ කන්ඩායමකින් පාලනය නොවන නිසා විස්තාරිත සහ තිරස්මය සංවිධාන ව්‍යුහයකින් හෙබි මෙම ව්‍යාපාරය තුළ සම්ප‍්‍රදායික සංවිධාන විධි ක‍්‍රමතුළ දැකිය නොහැකි උපක‍්‍රමික බහුවිධත්වයක් සහ නිර්මාණශීලී මැදිහත්වීම් ගණනාවක් දැකිය හැකි ය.
3. දීර්ඝ කාලයක් පුරා සිදු කරන ලද සංවිධානාත්මක ව්‍යාපාරයන්ගේ ක‍්‍රියාත්මක වීම තුළින් මතු වීම: වර්තමාන ගෝලීය විප්ලවය එක් රැයකින් හෝ සුළුතර පිරිසක් විසින් සංවිධානය කරන ලද්දක් නොවේ. ඊජිප්තු විප්ලවය පිළිබඳව කරන පුරෝකථනයකදී අදහස් දක්වන මෝනා එල්ටහාවි ඊජිප්තුවේ සිදුවීමට නියමිත විප්ලවයට හේතු විය හැකි මූලික කරුණු දෙක වශයෙන් පෙන්වා දෙන්නේ ෆේස්බුක් සහ වෙනත් අන්තර්ජාල වෙබ් අඩවි සහ පිටු හරහා තරුණ ජනයා සංවිධානය වීම සහ ඊජිප්තුව තුළ වීථි විරෝධතා යළි ආරම්භ කිරීම ය (එලටහාවි මෙම පුරෝකථනය කළේ ඊජිප්තු විප්ලවයට වසර තුනකට පෙර, එනම් 2008 දී ය).

අනෙක් අතින් මෙම නව විප්ලවයේ මූල බීජයන් අපට සැපටිස්ටා ව්‍යාපාරය තුළ හඳුනාගත හැකි ය. 1994 දී චියාපාස් ප‍්‍රදේශය ආක‍්‍රමණය කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ සහය ඇතිව මෙක්සිකානු හමුදාව සූදානම් ව සිටිය දී, ආක‍්‍රමණයට පෙර දින සැපටිස්ටාවරුන් ආක‍්‍රමණය පිළිබඳව අන්තර්ජාලය හරහා ලොවම දැනුවත් කළ හ. සැබෑ කාලය තුළ විප්ලවය පිළිබඳ විස්තර ලෝකයට ප‍්‍රචාරය කිරීම නිසා ලොව පුරා මෙම ආක‍්‍රමණය එරෙහි විශාල විරෝධතාවක් නැගී අවේ ය. සාමාන්‍යයෙන් සාම්ප‍්‍රදායික මාධ්‍යවලින් නිහඬ කරවනු ලබන ඔවුන්ගේ හඬවල් සහ මෙම අරගල පිළිබඳව පතුරුවන විකෘතිකරන ලද තොරතුරුවලට විරුද්ධව විදග්ධ ලෙස නව තාක්ෂනික මෙවලම් නිර්මාණශීලී ලෙස අරගලයට එක් කර ගන්නා ලදි. එමෙන්ම තනි නායකත්වයකින් තොර පුළුල් ජනපදනමක් සහිත ව්‍යාපාරයක් ලෙස ක‍්‍රියාත්මක වීම සැපටිස්ටාවරුන්ගේ විශේෂත්වයයි.

ලෝක වෙළඳ සංවිධානයට එරෙහිව ක‍්‍රියාත්මක වූ ගෝලීයකරන විරෝධී විරෝධතා ව්‍යාපාර, ආජන්ටිනාවේ ආර්ථික අර්බුධය හමුවේ ආජන්ටීනියානු ජනයා විසින් කරන ලද තිරස් සංවිධානය වීම් ආදිය මෙම විප්ලවයේ ක‍්‍රමික විකාශනයක් ලෙස දැකිය හැකි ය. එමෙන්ම, පසුගිය වසර කිහිපය තුළ අවිහිංසාවාදී ඍජු-අභිමුඛවීම් සටන් ක‍්‍රම (non-violent direct action) නිර්මාණාත්මක ලෙස වර්ධනය කිරීම, මෙම සටන්ක‍්‍රම පිළිබඳව පුහුණුව ගෝලීය ලෙස සමාජ ක‍්‍රියාකාරිකයන්ට ලබා දුන් විවිධ සංවිධාන ආදි ය ද, දීර්ඝ කාලයක් පුරා ඇෆ්ගනිස්ථානයේ ස්ත‍්‍රී සංවිධාන ගෙන ගිය සරණාගතයන්ට සහන සැපයීමේ ව්‍යාපාර සහ වීථි විරෝධතා,, 2009 ඉරාන නැගිටීමේ දී සෙලියුලර් දුරකථන වීඩියෝ හරහා අරගල පිළිබඳ දැනුවත්කිරීමේ ව්‍යාපාර ආදී බොහෝ ව්‍යාපාර  මෙම ක‍්‍රමික විකාශනයේ පුරුක් ය.

මේ අර්ථයෙන් ගත් කළ, වර්තමාන ගෝලීය විප්ලවය යනු තනි රටක හුදෙකලා සිදුවීම් නොව උපාය උපක‍්‍රම අතින් ද, සටන් පාඨ අතින් ද, ඒවායින් නියෝජනය වන ජනපදනම අතින් ද එකිනෙක හා සම්බන්ධිත ය; අස්මා මහ්ෆූස් බඳු ජනප‍්‍රිය චරිත පමණක් නොව, නමින් නොදන්නා බොහෝ සමාජ ක‍්‍රියාකාරිකයන් පිරිසක් පාර-දේශසීමා අරගල අතර දැනුම හුවමාරු කිරීමේ ක‍්‍රියාවළියේ යෙදෙන ආකාරය අපට දැකිය හැකි ය. වෝල් ස්ටී‍්‍රට් අත්පත් කරගැනීමේ ව්‍යාපාරයට සහය දැක්වීමට පැමිනි ස්පාඤ්ඤ ජාතික මොනිකා ලෝපේස් එබඳු ගෝලීය ක‍්‍රියාකාරිනියකි:

මම මොනිකා ලෝපේස්. මගේ වයස 25 යි. මම පුවත්පත් කලාවේදියෙක් සහ ඡායාරූපශිල්පියෙක්. මම ආවේ ස්පාඤ්ඤයේ ඉඳලා. මම විශේෂයෙන්ම ආවේ මෙයට සහභාගී වීමට. අපි අපගේ ව්‍යාපාරය අරම්භ කළේ දැන් මාස හතරකට කලින් මැයි 15 දා. ඒ නිසා මම තීරණය කළා ඇවිත් ඔබට උදව් කරන්න, ඔබලාට උපදෙස් දෙන්න. එතකොට ඔබ අප නාස්ති කළ කාලය නාස්ති නොකොට අපට සිදුවූ වැරදිම යළි කරන්නේ නැති වේවි.

වර්තමානයේ දී යුරෝ ඇමරිකාවේ පමණක් නොව සෙසු ලෝකය පුරාම දකින ජන නැගිටීම් යනු මෙසේ දිගු කලක් දැනුම සහ අත්දැකීම් හුවමාරු කරගැනීම තුළ වර්ධනය වූ ව්‍යාපාරයකි.

4. වැඩි වශයෙන් තරුණ ජනයාගේ මූලිකත්වයෙන් ආරම්භ වූ, පසුව විවිධ වයස් කාණ්ඩවල සහ විවිධ වෘත්තීන්හි නියැලෙන පුද්ගලයන්, කම්කරුවන්, ගුරුවරුන්, සෞඛ්‍ය සේවකයන්, ආරක්ෂක හමුදාවල නියුතු පුද්ගලයන්ගේ ව්‍යාපාරයක් වීම. වෝල් ස්ටී‍්‍රට් අත්පත් කරගැනීමේ ව්‍යාපාරය අදියර ගණනාවකින් වර්ධනය වූ ආකාරය පිළිබඳව ඉම්මෑනුවෙල් වොලස්ටීන් විසින් ඉදිරිපත් කරනු ලබන විග‍්‍රහය හරහා මෙම අරගල බහුජන පදනමක් සහිත පෙරමුණක් දක්වා වර්ධනය වූ ආකාරය අපට තේරුම් ගත හැකි ය:

පළමු අදියරේ දී –පළමු දින කිහිපයේ දී –මෙම ව්‍යපාරයේ සිටියේ වැඩි වශයෙන් තරුණ, නිර්භය පුද්ගලයන් කිහිප දෙනෙකි. ඔවුන්ව මාධ්‍ය විසින් සම්පූර්ණයෙන්ම නොසළකා හැරියා. ඊට පසුව තකතීරු පොලිස් භටයන් කිහිප දෙනෙක් සිතුවා කෲරකම් බිඳක් පෑවොත් විරෝධතා ව්‍යාපාරය කෙළවර වෙනු ඇති කියා. ඔවුන්ව රූප ගත කරනු ලැබූ අතර එය යූ ටියුබ් තුළ වෛරල්ගත වූවා.
එයින් අපව දෙවන අදියර වෙත රැගෙන ආවා — ප‍්‍රචාරය.

දෙවන අදියර-මාධ්‍යවලට තවදුරටත් විරෝධතාකරුවන්ව සම්පූර්ණයෙන්ම නොතකා හැරිය හැකි වුනේ නැහැ. ඒ නිසා ඔවුන් ව පහත් ලෙස, අවමාන ආකාරයෙන් බැහැර කිරීමට උත්සහ කළා. මේ මෝඩ නූගත් තරුණයන් (සහ වයසක ගැහැණුන් කිහිප දෙනෙක්) ආර්ථිකය ගැන මොනවා දන්නවා ද? ඔවුන්ට ධනාත්මක වැඩසටහනක් තිබෙනවා ද? ඔවුන් අතර “විනය” තිබෙනවා ද? මේ විරෝධතා ඉක්මනින්ම දියවී යනු ඇතැයි ඔවුන් කීවා. මාධ්‍ය සහ බලයේ සිටින අය තේරුම් නොගත් දෙයක් නම් (ඔවුන් නම් කිසිවිටෙක් යමක් ඉගෙන ගන්නේ නැති හැඩයි)  මෙම විරෝධතාවයේ තේමාව පුළුල් ලෙස අනුනාද වන බවයි. එය ඉක්මනින්ම පැතිරුණා. මීට සමාන ”අත්පත් කරගැනීම්” නගරයෙන් නගරයට ඇති වූවා. රැකියා විරහිත පනස් වියැති පුද්ගලයන් ඊට එක්වුනා. ජනප‍්‍රිය තරු ද එක්වුනා. වෘත්තීය සමිති ද එක්වුනා.AFL-CIO වෘත්තීය සමිතියේ සභාපති පවා. ඇමරිකා එක්සත් ජනපදයෙන් පිටත මාධ්‍ය විසින් මෙම සිදුවීම් වාර්තා කිරීමට පටන් ගත්තා. ඔවුන්ට අවශ්‍ය කුමක්දැයි ඇසූ විට ඔවුන් ”යුක්තිය” යනුවෙන් පිළිතුරු දුන්නා. වැඩි වැඩියෙන් ජනයාට මෙය අර්ථවත් පිළිතුරක් ලෙස හැඟුනා.

මෙය අපව තුන්වැනි අදියර වෙත රැගෙන ගියා  — සුජාතභාවය. කිසියම් ආකාරයක කීර්තියක් සහිත බුද්ධිමතුන් ”වෝල් ස්ටී‍්‍රට්”මත ප‍්‍රහාරයට කිසියම් සාධාරණබවක් ඇතැයි යෝජනා කිරීමට පටන් ගත්තා. මධ්‍යස්ථවාදී නම්බුකාරබවේ ප‍්‍රධාන කටහඬ වූ නිව් යෝක් ටයිම්ස් පුවත්පත ඔක්තෝබර් 8 වැනි දින කතුවැකියකින් විරෝධතාකරුවන් සතුව ඇත්ත වශයෙන්ම “පැහැදිලි පනිවිඩයක් සහ නියත ප‍්‍රතිපත්ති පිළිබඳ යෝජනා” ඇති බවත්, මෙම ව්‍යාපාරය හුදු “තරුණ නැගිටීමකට වඩා යමක් බවත්,” ප‍්‍රකාශ කර සිටියා. නිව් යෝක් ටයිම්ස් පුවත්පතේ තව දුරටත්  “සීමාන්තික ආර්ථික විෂමතාවය යනු අකර්මණ්‍ය ආර්ථිකයක ප‍්‍රධාන ලකුණක්. එය නිෂ්පාදනීය ආයෝජනය තරමටම සමපේක්ෂණය, උගුල්ලා ගැනීම, සහ රාජ්‍ය සහයෝගය විසින් පේ‍්‍රරණය වන්නක්” යනුවෙන් සඳහන් විය. ටයිම්ස් පුවත්පතේ හැටියට මෙය සැර භාෂාවක් විය. ඊටත් පසුව ඩිමොක‍්‍රටික් පක්ෂයේ කොංග‍්‍රස් ව්‍යාපාරයේ කමිටුව පක්ෂ ආධාරකරුවන්ගෙන් “මම වෝල් ස්ටී‍්‍රට් විරෝධතා සමඟ” යනුවෙන් ප‍්‍රකාශ කිරීමට පෙත්සමක් සංසරණය කරන ලදි.

ව්‍යාපාරය ගරුකටයුතු තත්වයක් අත්පත් කරගෙන ය. ගෞරවනීයබව සමඟම අනතුර ද ළඟා විය— හතර වැනි අදියර. ජනප‍්‍රිය වන විශාල විරෝධතා ව්‍යාපාර සාමාන්‍යයෙන් ප‍්‍රධාන අනතුරු දෙකකට මුහුණ දෙයි. එකක් නම් වීථිවල සැළකිය යුතු දක්ෂිණාංෂික ප‍්‍රති-විරෝධතා සංවිධානය වීමයි. දැඩිමතධාරී (සහ ඉතා ශූර) රිපබ්ලිකන් කොංග‍්‍රස් නායක එරික් කැන්ටර් දැනටමත් ඒ සඳහා කැඳවීමක් කර ඇත. මෙබඳු ප‍්‍රති-විරෝධතා බෙහෙවින් කෲර විය හැකිය. වෝල් ස්ටී‍්‍රට් අත්පත් කරගැනීමේ ව්‍යාපාරය මෙයට සූදානම්ව එයට මුහුණ දෙන්නෙ සහ එය පාලනය කරන්නේ කෙසේද යන්න ගැන පෙර සූදානමක් ඇති කරගත යුතුයි.
එහෙත් දෙවන සහ වඩාත් බරපතල තර්ජනය පැමිණෙන්නේ ව්‍යාපාරයේ සාර්ථකත්වය තුළිනි. එය විසින් වඩ වඩාත් සහයෝගය දිනා ගන්නා විට, එය විසින් ක‍්‍රියාකාරී විරෝධතාකරුවන් අතර අදහස්වල බහුවිධත්වය උත්සන්න කරනු ඇත. සාමාන්‍යයෙන් වන්නා සේම මෙහිදී ගැටළුව වන්නේ ඔළු හයක් ඇති දිය මකරෙකු වන උවමනාවට වඩා පටු පදනමක් සහිත ඇදහිලි කල්ලියක් වීම (cult) සහ උවමනාවට වඩා පුළුල් නිසා තවදුරටත් දේශපාලනික සංගතභාවයක් නොමැති දියසුළියක් වීම අතර තෝරා ගැනීමක් කරන්නේ කෙසේ ද යන්නයි. මේ එක් අන්තයකට හෝ නොයන්නේ කෙසේ ද යන්න ගැන සරල සූත‍්‍ර නොමැති ය. එය ඇත්තෙන්ම දුෂ්කර ය.

අප වොලස්ටීන්ගෙන් මෙම දීර්ඝ උපුටා දැක්වීම කළේ මෙම ව්‍යාපාරයේ ක‍්‍රමික නැගීම, එහි පදනම ගොඩනැගීම සහ එය මුහුණ දෙන අභියෝග පිළිබඳව කෙටි හැඳින්වීමක් කිරීමට ය. මෙම ගෝලීය විප්ලවයේ ඉතිරි ලක්ෂණ පිළිබඳව මීලඟ ලිපියෙන් සාකච්ඡාකිරීමට අපි බලාපොරොත්තු වෙමු.

ප‍්‍රභා මනුරත්න – බුද්ධික බණ්ඩාර

Prabha Manuratne – Buddika Bandara

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )