ටහ්රීර් චතුරශ‍්‍රයේ සිට වොල්ස්ටී‍්‍රට් දක්වා විප්ලවයේ ගිනිසිළු. From Tahrir Square To Wall Street

ගිනිසිළුව අවුලූවාලූ ගිනි පුපුර කුමක්දැයි යන්න සැබවින්ම එතරම් වැදගත් නැත. ගින්න ඇරඹී ඇත.
ඉම්මෑනුවෙල් වොලස්ටීන්

නිව් යෝක් හි බෆලෝ නගරයේ යුද්ධයට සහ ආර්ථික පීඩනයට එරෙහිව විරෝධතාවයේ යෙදෙන පිරිසක්.

80 දශකයේ දී ඇමරිකානු ජනාධිපති රොනල්ඞ් රේගන් ලතින් ඇමරිකානු රටවල් තුළ සැඟවුණු යුද්ධයක් ක‍්‍රියාත්මක කරමින් සිටියේ ය. මෙයට එරෙහිව ක‍්‍රියාත්මක වූ ඇමරිකානු ජාතිකයෙකු වූ බ‍්‍රයන් විල්සන් නව අරගලයක පූර්ව ස්වරූප අපට පැහැදිලි කරයි. සැන්ඩිනිස්ටාවරුන්ට එරෙහි කොන්ට‍්‍රා භටයන්ට යැවෙන ආයුධ කෝච්චියක් නැවැත්වීමට රේල් පීලි අතර පද්මාසනයෙන් හිඳගත් විල්සන් ගේ සිරුර මතින් කෝච්චිය සාමාන්‍යයෙන් ධාවනය වනවාට වඩා පස් ගුණයක්  වේගයෙන් ධාවනය විය.

සිය නිකරගුවානු සහෝදරයන්ගේ නිදහස වෙනුවෙන් තම දෙපා පූජා කළ විල්සන්, එදා පටන් අදවන තෙක් ලොව පුරා ජනතා අරගලවලට දායකත්වය දක්වමින් ක‍්‍රියාකාරී වෙයි. වියට්නාම් යුද්ධයේ මැරීන් භටයෙකු ලෙස සේවය කළ කාලයේ බ‍්‍රයන් විල්සන් ට ලැබුණු එක් රාජකාරියක් නම් සතුරු “ඉලක්ක” කෙරෙහි එල්ල කරන ලද බෝම්බ සහ නාපාම් ප‍්‍රහාර පිළිබඳව සොයා බැලීමයි. සිය රාජකාරිය ඉටු කිරීමට ගිය විල්සන් (ඔහු ඒ වන විට සම්ප‍්‍රදායවාදී අදහස් දැරූ අතර කොමියුනිස්ට් විරෝධියෙකු ද විය.)  දුටුවේ මේ “ඉලක්ක” යනු අන් කිසිවෙක් නොව වියට්නාම් සිවිල් ජනයා, විශේෂයෙන් ස්ත‍්‍රීන් හා දරුවන් බවයි.

මෑතකදී ඩිමොක‍්‍රසි නව් වැඩසටහනෙහි සංවාදයකට එක්වෙමින් ඔහු කියා සිටියේ තමා යුද්ධයක වැරදි පැත්තේ සටන් කරන බව ඔහු එදා තේරුම් ගත් බවයි. ඊටත් වසර දාහතකට පසු 1987දී විල්සන්ගේ දෙපා ඒ කෲර ඝාතන තැත නිසා අහිමි විය. එහෙත් වියපත් ඔහුගේ මුහුණ සහ අහිමි වූ දෙපා අතරින් මතුවන ඔහුගේ සටන්කාමී ජවය ඔහු වෝල්ස්ටී‍්‍රට් අත්පත් කරගැනීමේ ව්‍යාපාර හතක් වෙත රැගෙන ගියේ ය. නිව්යෝක් අත්පත් කර ගැනීම පිළිබඳව ඔහු මෙසේ කියයි:

මා එහිදී ඔවුන්ට (වෝල් ස්ටී‍්‍රට් විරෝධතාකරුවන්ට ) කීවා සමහර විට මෙය සිරස් පාලන ව්‍යුහ වෙනුවට තිරස් විප්ලවයක ආරම්භයක් බව; එම ආරම්භය යටහත් කීකරුබවෙහි දීර්ඝ ඉතිහාසයේ කඩ ඉමක් වනු ඇති බව. . . ධූරාවළින්ට කීකරු වීම ඉතාම අස්වාභාවික, අහිතකර, සහ භයානක දෙයක්. එ් නිසා මා දකින්නේ තිරස්වාදය, එනම් ආජන්ටිනියානුවන් සහ සැපටිස්ටාවරුන් “තිරස් සමාජය”ලෙස හඳුන්වන දෙය සිරස් ජාතික රාජ්‍යයක ජීවත් වනවාට වඩා බෙහෙවින් බලාපොරොත්තු ඇති කරන සුළු බවයි. (බ‍්‍රයන් විල්සන්, ඩිමොක‍්‍රසි නව් සමඟ සංවාදයකදී 2011 ඔක්තෝබර් 28 )

2005 ඒකාබද්ධ මැයි දින සංස්කෘතික සාමූහිකය විසින් සංවිධානය කරන ලද මැයි දින පා ගමන

බ‍්‍රයන් විල්සන්ගේ උදාහරණය අප මෙහිදී මතු කළේ ඔහු බඳු අප නමින් නොදන්නා දස් ගණනක් මිනිසුන් ස්වාර්ථය සහ පුද්ගලිකවාදය වෙනුවට සාමූහිකය සහ මනුෂ්‍ය ගෞරවය වෙනුවෙන් ක‍්‍රියාත්මක වන බවයි. මෙබඳු පුද්ගලයන්ගේ සටන් බොහෝ විට සම්ප‍්‍රදායවාදී වාමාංශික කොටස් දකින්නේ හුදෙකලා අරගල වශයෙනි.

එහෙත් ඇත්ත වශයෙන් නම්, සංවිධිත දේශපාලනික පක්ෂ සිය බල ව්‍යාපෘතීන් අරමුණු කරගෙන පවතින පාලන රජයයන් සමඟ අශුද්ධ සන්ධානවලට යන අතරතුර, පොතේගුරුවාදී මාක්ස්වාදයක ගිලී මිනිසුන් සිය නිදහස වෙනුවෙන් කරන අරගල මගහැර “සැබෑ පක්ෂය” නිර්මාණය කරගැනීමට වෙහෙසෙන අතරතුර, බැලූ බැල්මට හුදෙකලා ලෙස පෙනෙන මෙබඳු ක‍්‍රියාකාරිකයන් විසින් කළහැකි දේ කුමක්ද හා කළ යුත්තේ කුමක් ද යන්න පිළිබඳ නිර්වචනය වෙනස් කර ඇත. මාක්ස්වාදී ලේබලය අලවාගෙන සංවිධිත මාක්ස්වාදී පක්ෂවල නිල ක‍්‍රියාකාරිකයන් නොවුව ද බදියු “කොමියුනිස්ට් උපන්‍යාසය” යනුවෙන් හඳුන්වන දෙය සිය භාවිතාව තුළ ජීවමාන කරන මෙබඳු ක‍්‍රියාකාරිකයන්, බුද්ධිමතුන්. මාධ්‍යවේදීන්, කලාකරුවන් අපට හමුවන්නේ පුස්කෑ පොත්පිටු අතර නොව අරගලය තුළ ය.

ඔවුන් ඒ අරගලයේ ජීවයයි. සීතල යුද්ධය පුරාත්, ඉන් අනතුරුව එළැඹුනු නවලිබරල් ධනවාදයේ තාවකාලික එහෙත් ඇඟහිරිවැටෙන උත්කර්ෂය පුරාවට සැබෑ මනුෂ්‍ය ගෞරවය ආරක්ෂා කළෝ ඔවුහු ය.

අසූ වියේ පසුවන ඊජිප්තු ලේඛිකා නවාල් එල් සදාවි ටහ්රීර් චතුරශ‍්‍රයට පැමිණෙන විට ඇය දුර්වල මැහැල්ලක නොව නව පරපුරට අයෝමය ශක්තියකි. වසර දෙකකට අධික කාලයක් ඉරාන සිරගෙදරක ගතකොට මෑතකදී නිදහස ලැබූ ෂේන් බවර් සහ ජොෂ් ෆටාල් ලොව පුරා, විශේෂයෙන් ගුවන්ටනාමෝ බේ හි සිරකරුවන්ගේ අයිතිවාසිකම් ගැන කතා කරන විට ඔවුන් පොදු මනුෂ්‍යත්වයේ භාෂාවක් වර නඟයි. ඇලිස් වෝකර් මෙම භාෂාව “ගොළුබව ජයගැනීම” යනුවෙන් හඳුන්වයි.

මැයි දිනය, 2010: නිව් යෝක් හි බෆලෝ නගරයේ දී සැමරූ විරෝධතාව

2006 වර්ෂයේ දිනයක එක්තරා සුවිශේෂ පුද්ගලයෙක් කැන්සාස් ප‍්‍රාන්ත විශ්ව විද්‍යාලයට පැමිණියේ ය. කළු ගමන් බෑගයක සී ඞී, පොත් කිහිපයක්, බයිසිකල් ලොක් සහ දම්වැල්, ප්ලාස්ටික් බට ආදිය ද, Occupation Wall යනුවෙන් ලියූ පලස්තීන අරගලයට සහයෝගය දක්වන ටී ෂර්ට් කිහිපයක් ද මෙම ගමන් මළුවේ විය.

ඔහු පැමිණ සිටියේ අවිහිංසාවාදී විරෝධතා පැවැත්වීමේ දී භාවිතා කළ යුතු උපක‍්‍රම, එක් අයෙකු තනිවම අත්අඩංගුවට ගත නොහැකි වන පරිදි මිනිස් දම්වැල් සාදන ආකාරය, පොලීසිය විසින් පහර දෙන විට වේදනාව අවම වන සේ බිම හිඳ ගන්නා ආකාරය, ඇදගෙන යාමට නොහැකි වන සේ  ඇඟ දරදඬු කරගන්නා ආකාරය ආදී විවිධ උපාය විධික‍්‍රම පිළිබඳව වැඩමුළුවක් පැවැත්වීමට ය.වැඩමුළුව අවසානයේ ඔහු එයට සහභාගි වූ අයට ඔහු ගෙනා පලස්තීනය පිළිබඳ ටී ෂර්ට් ද, විරෝධතා සංගීතය සහිත සී ඞී තැටි කිහිපයක් ද විකුණා, සිය අඩුම කුඩුම යලි බෑගයේ පටවාගෙන යන්න ගියේ ය.

මෑතක දී කයිරෝවේ සිදුවූ ජන අරගල අතරතුර සහ දැනට ක‍්‍රියාත්මකවන වොල් සීටී‍්‍රට් අත්පත්කරගැනීමේ ව්‍යාපාරය පිළිබඳව පළවූ වාර්තා දුටු විට, අපට මේ වැඩි කලබලයක් නැති නිර්නාමික මිනිසා සිහි විය. සාත්‍රේ සිට ජිජැක් දක්වා මාක්ස්වාදී බුද්ධිමතුන් ධනවාදයට අභියෝග  කළ හැකි එකම සාර්ථක උපකරණය ලෙස හිංසාකාරී අරගල හඳුනා ගන්නා අතරතුර, වසර දහයකටත් වැඩි කාලයක් ලෝකය පුරා ක‍්‍රියාත්මක වූ මෙබඳු නිර්මානශීලී බහුඋපක‍්‍රමිකවාදී අරගලවල හිනිපෙත්තට අද ගෝලීය විප්ලවය පැමිණ ඇත.

එම විප්ලවය ගෝලීය යැයි හැඳින්වීමට අප පසුබට නොවිය යුතු ය. අපගේ කොරියානු ජාතික මිතුරියක සිය ෆේස් බුක් පිටුවේ සඳහන් කළ පරිදි ”පාරජාතික ප‍්‍රාග්ධනය තරමටම විප්ලවය ද ගෝලීයකරණය වී ඇති බව කොරියානු ජාතිකයන් අතර ඔවුන්ගේ වෝල් ස්ටී‍්‍රට් අල්ලා ගැනීමේ අරගලයක් මතුවීමෙන් පෙනේ.”

2005 කළු ජූලිය සැමරූ ”නිදහස සඳහා සාමය” වැඩසටහනෙහි නාට්‍ය දර්ශනයක්

අපගේ මෙම සටහනට නිමිත්ත වන්නේ වසර දහයක් පමණ කාලයක් තුළ ලෝකය පුරා විටින් විට මතුවී යලි මැකී ගිය බහුඋපක‍්‍රමිකවාදී අරගලවල වර්තමාන මතු වීම  හා ඒ හරහා දැන් දැන් දිස්වන ගෝලීය විප්ලවයක පෙර සළකුණු ය. විවිධ භූගෝලීය කලාපවල සහ බහුවිධ දේශපාලනික පෙරමුණු තුළ මතුව ආ මෙම විප්ලවය පිළිබඳ සංවාදය ද, සංවිධාන ආකාරයන් පිළිබඳ නව සිතා බැලීම් ද, ඊටත් වඩා එයින් මතුවන පරමාදර්ශ සහ ජීවන කතා පුවත් අරගලය සඳහා මහත් උත්පේ‍්‍රරණයක් සහ අනුප‍්‍රාණයක් සපයනවා පමණක් නොවේ; ඒවා අප නිරතවන බෙහෙවින්ම ස්ථානීය අරගලයක් පවා ගෝලීය අරගලයක කොටසක් බව අපට පසක් කරයි.

අප ඉදිරියේ දී මෙම සටහන පුරා සාකච්ඡාවට ලක් කරන්නේ එබඳු කතා, සිදුවීම්, සහ ඒ තුළින් මතුවන අරගලයේ චිත‍්‍රයයි. මීලග සටහනින් අප මෙම විප්ලවවල මෑතකාලීන නැගී ඒම්වල ස්වරූපය සහ ඒවායේ ඉල්ලීම් පිළිබඳව ද එම අරගලවලින් අත්පත් කරගන්නා ලද ජයග‍්‍රහණ ද කෙරෙහි අවධානය යොමු කරමු. එමෙන්ම මෙම අරගලයන්ගේ පොදු හා මූලික ලක්ෂණ මොනවාදැයි සාකච්ඡා කරමු.

ප‍්‍රභා මනුරත්න සහ බුද්ධික බන්ඩාර

Prabha Manuratne and Buddika Bandara

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )