උපක‍්‍රමික දේශපාලනය සහ එළඹෙන මැතිවරණය

මෙම ලිපිය අප 2010/01/04 දින පල කරන ලද ලිපියකි. වර්තමානයේ ලෝකය පුරා ඇති වී ඇති විප්ලවකාරී අරගලයන් පිලිබදව කෙරෙන සංවාදයක් සදහා මෙම ලිපිය ප‍්‍රයෝජනවත් වේයැයි  අපි විශ්වාස කරමු.


ශ‍්‍රී ලාංකිකයන් මුහුණ දෙන සියලූ ගැටළු අභිබවා ශ‍්‍රී ලංකාවේ අනාගත නායක තරුව තෝරා ගැනීමේ තරඟය මැතිවරණ උණුසුම විසින් ආරම්භ කර ඇත. එක් එක් අපේක්ෂකයා පිළිබඳව ද ඔවුන්ගේ ප‍්‍රතිපත්ති පිළිබඳව ද දැනුවත් තෝරා ගැනීමක් කළ හැකි වන පරිදි ඡන්ද දායකයා ශක්තිමත් කරනු වෙනුවට නව වම ද පැරණි වම ද වම ලෙස පෙනෙන දකුණ ද දැන් තරඟයට මෙන් වර්තමාන සුවිශේෂ තත්වය හමුවේ තමා ”උපක‍්‍රමශීලීව” එස් එම් එස් කළ යුත්තේ කාටදැයි ”ඡන්දායකයා” ට උපදෙස් දෙමින් සිටයි. මේ ඡන්දායකයා කවු ද? ඡන්දායකයින්ට උපදෙස් දෙන අය ද ඡන්දායකයින් නොවේ ද? ඔවුන් ව ”ඡන්දායකයා” ට ඉහළින් ඔසවා තබන ලද්දේ කවුරුන් විසින් ද?

 

දේශපාලන උපක‍්‍රමයන් හා රහස් එකඟතාවයන් විසින් දේශපාලන ප‍්‍රතිපත්තීන් හා දැනුවත් එකඟතාවයන්  අතික‍්‍රමනය කර ඇත. එල් ටී ටී ඊ සංවිධානය විසින් උපක‍්‍රමශීලීව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට බලයට එ්ම සඳහා අවස්ථාව නිර්මාණය කර දුන් බවට රාවයක් ඇත . මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් උපක‍්‍රමශීලීව එල් ටී ටී ඊ සංවිධානය අවසන් මොහොතේ සටන් විරාමයක මුවාවෙන් විනාශකල බවට රාවයක් ඇත. ජනතා විමුක්ති පෙරමුණ ඉදිරි මැතිවරණය සඳහා උපක‍්‍රමශීලීව එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වී ඇත. ජාතික නිදහස් පෙරමුණ ඉදිරි මැතිවරණය සඳහා උපක‍්‍රමශීලීව පොදු ජන එක්සත් පෙරමුණ සමඟ එක්වී ඇත. එක්සත් ජාතික පක්ෂය උපක‍්‍රමශීලීව ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස සරත් ෆොන්සේකා මහතාව ඉදිරිපත්කර ඇත. සමාජයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් උපක‍්‍රමශීලීව මේ මොහොතේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජය කරයුතු බවට සිවිල් සමාජයේ කොටසක් පවසයි. චීනය මෙම මොහොතේ උපක‍්‍රමශීලීව රාජපක්ෂ රජයට සහාය දක්වන බව ට රාවයක් ඇත. ඇමෙරිකා එක්සත් ජනපදය උපක‍්‍රමශීලීව සරත් ෆොන්සේකා මහතාට සහාය දක්වන බවට රාවයක් ඇත. සියළුදෙනාම උපක‍්‍රමශීලීවන විට උපක‍්‍රමශීලීත්වයේ දේශපාලනය කුමක්ද? මොවුන් තමන්ගේ ක‍්‍රියාකාරිත්වය උපක‍්‍රමයක් ලෙසට හඳුන්වන්නේත් උපක‍්‍රමයක් ලෙස වීමට නොහැකි ද? මෙම දේශපාලන උපක‍්‍රමවල මිල කුමක් ද? දේශපාලනය අපට තවදුරටත් උපක‍්‍රමයකට ලඝුකල හැකි ද?

 

මීට වසර දෙකකට පමණ පෙර පීපල්ස් මාච් සංවිධානයේ රැස්වීමක් අමතමින් ලයනල් බෝපගේ මහතා කදිම ලෙස බලාපොරොත්තු නංවනසුළු කතාවක් කලේ ය. පුළුල් ජන සහභාගීත්වයෙන් සිදුවන, බිම්  මට්ටමේ ප‍්‍රජා ක‍්‍රියාකාරීත්වයන්ගෙන් පෝෂණය වන දේශපාලනයක් පිළිබඳව ඔහු එදා කතා කළේ ය. මෙය එවකට දේශපාලනය පිළිබඳව වාමාංශික මත දැරූවකු විසින් ඉදිරිපත් කළ ඉතාමත් ප‍්‍රගතිශීලී කතාවක් විය. ලයනල් බෝපගේ මහතා එදා මතුකල අදහස ඉතා වැදගත් අදහසක් බව අපි සිතමු. මක් නිසාද යත් විකල්ප දේශපාලනය පිළිබඳ පසුගිය දශකයේ ලෝකය පුරා ඇතිවූ සංවාදයන් තුළ හා අරගලයන් තුළ මෙම අදහස ප‍්‍රමුඛව මතුව ආ බැවිනි.

අප මෙම ලිපිය තුළ උත්සාහ කරනුයේ ප‍්‍රජා මූලික සමාජ ක‍්‍රියාකාරකම් සම්බන්දයෙන් හා එවැනි ක‍්‍රියාකාරකම් විශාල වශයෙන් උපයෝගීකරගත් ගෝලීයකරණ-විරෝධී ව්‍යාපාරය සම්බන්දයෙන් සාකච්ඡාවක් යලි ආරම්භ කිරීමට මුළ පිරීමට ය.

අරගලය පහල සිට ඉහලට

පුළුල් ජන සහභාගීත්වයෙන් සිදුවන, බිම්  මට්ටමේ ප‍්‍රජා ක‍්‍රියාකාරීත්වයන්ගෙන් පෝෂණය වන දේශපාලනයක් පිළිබඳව අදහසට දීර්ඝ ඉතිහාසයක් ඇත. එහි වර්ධනය සඳහා සෝල් ඇලන්ස්කි, පාවුලෝ ෆ්‍රෙයරි හා සෙසාර් චාවේස් වැනි විවිධ අයගේ අදහස් බලපා ඇති අතර පසුකාලීනව නිර්මාණය වූ ස්ත‍්‍රීවාදී අරගල, සිවිල් අයිතිවාසිකම් සඳහා වූ අරගල හා සමලිංගික අයිතිවාසිකම් සඳහා වූ අරගලයන් ගෙන්  මෙය වැඩිදුරටත් පෝෂණය වී ඇත. මෑත කාලීනව ලෝකය පුරා මතුවුනු ගෝලීයකරණ-විරෝධී අරගලයන් තුළ ද මෙය හදුනාගත හැකි ය. උදාහරණයක් ලෙස රොනල්ඩෝ මන්ක් වර්තමාන ගෝලීයකරණ-විරෝධී ව්‍යාපාරය හඳුනාගන්නේ ”පහල සිට ගෝලීයකරණය” යනුවෙනි.

එනම්, එක් එක් ප‍්‍රජාවන් විසින් සිය අයිතිවාසිකම් සහ නිදහස දිනාගනීම සඳහා නිර්මාණය කරගන්නා ස්වායත්ත සංවිධාන ව්‍යුහයන් (මේවා බොහෝ විට ප‍්‍රජා මූලික සංවිධාන ආකෘතීන් වේ) අතර ලිහිල් ලෙස නිර්මාණය වූ, කේන්ද්‍රීය ලෙස පාලනය නොවන නමුදු, පොදු ගෝලීය ව්‍යාපාරයක් ලෙස හඳුනාගන්නා ව්‍යාපාරයි (Munck 18). ජී-20 සමුළුව, කෝපන්හේගන් පරිසර සමුළුව ආදී ස්ථානවල දැඩි රාජ්‍ය මර්ධනයන් මධ්‍යයේ වීථීවල පෙළපාලි යන මිලියන ගණනක් ජනයා අයත් වන්නේ මෙම ව්‍යාපාරයට ය. ඉන්දියාවේ ස්වදේශික ජනතාවගේ මුල්බිම් විශාල සංවර්ධන ව්‍යාපෘථිවල ගොදුරුබිම්වන විට, ඊශ‍්‍රායලය විසින් නිරායුධ පලස්තීනු දරුවන් ඝාතනය කරන විට ලොව පුරා වීථිබට දහස් ගණන් ජනයා වූ කලි මෙම නව බිම් මට්ටමේ ක‍්‍රියාකාරිකයන් ය. විශාල සමාගම් අයිතිය සහිත මාධ්‍ය විසින් ගෙන යන එකමානී ප‍්‍රචාරණයන්ට එරෙහිව ආචාරධර්මීය මාධ්‍ය භාවිතාවේ නියැලෙන ලොව පුරා මාධ්‍යවේදීන්, විකල්ප වෙළඳ සබඳතා ගොඩ නඟමින් ලෝක වෙළඳාමේ ඇති අසමාන හුවමාරු ක‍්‍රමවලට එරෙහි වෙමින්, වඩා සාධාරණ ආර්ථික ක‍්‍රමයක් වෙනුවෙන් වෙහෙසෙන ක‍්‍රියාකාරිකයන්, ගොවි සමූපකාර, සේවක අයිතිවාසිකම් වෙනුවෙන් අරගල කරන ක‍්‍රියාකාරිකයින්,  ආදිය ද අයත් වන්නේ මෙම නව ගෝලීය ව්‍යාපාරයට ය.

මොවුන් තව දුරටත් ගෝලීය උතුරේ හෝ දකුණේ හෝ සාමාන්‍ය ජනතාවට ඉහලින් සිට සමාජ වෙනස්කම් දේශනා කරන තවත් දේශපාලන ප‍්‍රභූ තන්ත‍්‍රයක්  නොවේ. එ වෙනුවට ඔවුන් ධනවාදී ලෝක ක‍්‍රමය විසින් ඇතිකර ඇති මහා විනාශයට එරෙහිව ක‍්‍රියාත්මක වන ඔබත් මමත් වැනි සාමාන්‍ය පුරුසියන් ය. ඔවුන් තම රටවල රජයයන්ගෙන් ද, ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල හෝ ජී-20 සමුළුව වැනි ගෝලීය සංවිධානවලින් ද ඉල්ලා සිටින වගකීම්සහගතභාවය වූ කලි මෙම නව ව්‍යාපාරයේ සටන් පාඨයන් ය. මෙම ව්‍යාපාරය පුරවැසි අයිතිවාසිකම්, සංවාදාත්මක ප‍්‍රජාතන්ත‍්‍රවාදය, ප‍්‍රජා මූලික සංවිධාන ව්‍යුහ, ආන්තික ජන කොටස්වල අයිතිවාසිකම්, සාධාරණ වෙළඳ ප‍්‍රතිපත්ති ආදිය වෙනුවෙන් පෙනී සිටීම ආදී මූලධර්ම මත ක‍්‍රියාත්මක වේ. මෙම ව්‍යාපාර, එක් අතකින් වර්තමානයේ ලෝකය පුරා ක‍්‍රියාත්මක වන ලාභය හා පාරිභෝජනය පමණක් කේන්ද්‍ර කොට ගත් අධිපති ආර්ථික රටාවට එරෙහිව අරගල කරන අතරම, තවත් අතකින් මෙතෙක් පැවති වාමාංශික විකල්ප දේශපාලන සම්ප‍්‍රදායන් ගේ සීමාවන්ගෙන් ඔබ්බට ගමන් කරයි.

නර්මදා වෙල්ල සෑදීමට එරෙහිවන ඉන්දීය ජනයා

ධනවාදය, සමාජවාදය  සහ ප‍්‍රබුද්ධත්වයේ උරුමය

නව විකල්ප දේශපාලනයක් පිළිබඳ සාකච්ඡාවේ දී මෙතෙක් ක‍්‍රියාත්මක වූ විකල්ප දේශපාලන ධාරාවන්ගේ සීමාවන් අදුනා ගැනීම වැදගත්ය. උදාහරණයක් ලෙසට, මෙතෙක් පැවති වාමාංශික විකල්ප දේශපාලන සම්ප‍්‍රදායන්වලට අනුව අප අනවශ්‍ය තරම් දීර්ඝ කාලයක් ධනවාදයේ ප‍්‍රතිවිරුද්ධ ආර්ථික ව්‍යුහය ලෙස සමාජවාදය තේරුම් ගතිමු. එහෙත් ”ධනේශ්වරයේ ආධිපත්‍යයට එරෙහිව කම්කරු පංතියේ ආධිපත්‍යය” හෝ ”ධනපති රජයට එරෙහිව කම්කරු රජය” (අපේ රටේ නම් සුබ සාධක රාජ්‍යය), යනාදී වශයෙන් ඉදිරිපත් කෙරෙන මෙම ද්විත්වවාදී තර්ක විසින් ඉහත මතවාදයන් දෙක අතර සම්බන්ධය යටපත් කර ඇත.

 

ඉම්මෑනුවෙල් වොලස්ටීන් විසින් පෙන්වා දී ඇති පරිදි, යුරෝපීය ධනවාදයේ ආගමනයේ ප‍්‍රතිඵලයක් ලෙස දහ නව වන සියවසේදී ප‍්‍රධාන මතවාදයන් තුනක් මතු විය: එනම් සම්ප‍්‍රදායවාදය, ලිබරල්වාදය, සහ සමාජවාදයයි. ඔහු පවසන ආකාරට, මෙයින් එකදු මතවාදයක්වත් එහි සුපිරිසිදු ස්වභාවයෙන් නොපැවතුනා පමණක් නොව, ලිබරල්වාදයෙහි හෙජමොනික මතුවීම අපට දැකිය හැකි වන්නේ, සම්ප‍්‍රදායවාදය සහ සමාජවාදය යන දෙක විසින්ම තමන්ව ලිබරල්වාදී වර්ගකරණයන්ට අනුව නිර්වචනය කර ගැනීමේ ස්වරූපයෙනි. එනම් සමාජවාදය සහ සම්ප‍්‍රදායවාදය යන දෙකම, අධිපති ලිබරල්මතවාදය ආශ‍්‍රයෙන් ප‍්‍රතිනිර්වචනය වුනි.

අනෙක් අතින් ගත් කල වුඞ්රෝ විල්සන් සහ වී අයි ලෙනින් විසින් ඉදිරිපත් කරන ලද දේශපාලනික දර්ශනයන් දෙක (ශීතල යුද්ධයේ ප‍්‍රධාන සිද්ධාන්ත ලෙස පැවතුනේ මේවා ය) වන “ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ පැවැත්ම සඳහා ලෝකය ආරක්ෂිත තැනක් බවට පත් කිරීම” සහ “ලෝක කම්කරු පංතියේ ආධිපත්‍යය” යන දෙකම විසින් ”ප‍්‍රබුද්ධත්වයේ උරුමය” දරා සිටි බව වොලස්ටීන් විසින් පෙන්වා දී ඇත (Wallerstein 5-7). එමෙන්ම, යාල්ටා ගිවිසුම හරහා ලෝකයේ බල ව්‍යාප්තිය පිලිබඳව සෝවියට් රුසියාව සහ ඇමරිකා එක්සත් ජනපදය (රූස්වෙල්ට් සහ ස්ටැලින්) විසින් අතර ඇති කර ගන්නා ලද එකඟතා ඉහත මතවාදයන් දෙක අතර සම්බන්ධයට උදාහරණ සපයයි.

එකිනෙකට ප‍්‍රතිවිරුද්ධ බලව්‍යුහයන් දෙකක් ලෙස ට පෙනී සිටිය ද එකිනෙකා සමඟ ඇති කරගත් ගිවිසුම් හරහා ගොලීය බල ව්‍යාප්තිය පිළිබඳව එකිනෙකා ගේ ආධිපත්‍යය අනෝන්‍යය ව මොවුන් තහවුරු කර ගත් බව වොලස්ටීන් පෙන්වා දෙයි (එම).

 

අපට මෙහිදී අවශ්‍ය වන්නේ සෝවියට් දේශය සහ ඇමරිකා එක්සත් ජනපදය කිසියම් ගෝලීය කුමන්ත‍්‍රණයක හවුල්කරුවන් හෝ ඔවුන් අතර වෙනස්කම් නොතිබුණු බව හෝ පැවසීමට නොවේ. ඔවුන් අතර පැහැදිලි වෙනස්කම් ගණනාවක් පැවතිණි. අප එ් වෙනුවට උත්සහ කරන්නේ, රුසියාවට එරෙහිව ඇමරිකාව හෝ ධනවාදයට එරෙහිව සමාජවාදය හෝ චීනයට එරෙහිව ඇමරිකාව වැනි ව්‍යාජ ද්විත්වයන්ගෙන් ඔබ්බට, ගෝලීය ලෝක පද්ධතියක් ලෙස ගත් කල අපගේ දේශපාලන භාවිතාවන් නිර්ණය කරන බල අක්ෂයන් මොනවාදැයි යන්න ගවේෂණය කිරීමේ වැදගත්කම අවධාරණය කිරීමයි. එය නව විකල්ප දේශපාලනයක් නිර්මාණයකර ගැනීමේ දී අතිශය වැදගත් බව අපි සිතමු.

 

යුරෝපීය ප‍්‍රබුද්ධත්වයේ ව්‍යාපෘතිය සමග මාක්ස්වාදයේ ඇති සම්බන්ධය පිළිබඳ අදහස් දක්වමින් නෙග‍්‍රී සහ හාඞ්ට් විසින් පෙන්වා දෙන ආකාරයට, මාක්ස් පෙරදිග ඉන්දීය සමාගම පිළිබඳව බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු සංවාදයට අදාළව දැරූ මතය වූ කලි දැනටමත් යුරෝපය විසින් ගමන් කර ඇති මාර්ගයේ යනු මිස වෙනත් තෝරා ගැනීමක් ඉන්දියාව සම්බන්ධයෙන් නොතිබූ බවයි. කෙතරම් දුර්දාන්ත වුව ද යටත්විජිතකරණයේ මාර්ගය හැර වෙනත් තෝරා ගැනීමක් ඉන්දියාව සම්බන්ධයෙන් බි‍්‍රතාන්‍යයට තිබේ යයි ඔහු සිතුවේ නැත. මෙය විවේචනය කරමින් නෙග‍්‍රී සහ හාඞ්ට් විසින් පෙන්වා දෙනු ලබන්නේ මෙම යුරෝකේන්ද්‍රීයවාදය වූ කලි යටත්විජිතකරණය පිළිබඳව මාක්ස් දැරූ මතයෙහි තිබූ දුර්වලභාවයක් බවයි (Hardt 120).

 

මාක්ස්වාදය තුළ පොදුවේ දැකිය හැකි යටත්විජිතකරණය පිළිබඳව දක්වන ඉහත ආකල්පය ලාංකීය වාමාංශික ක‍්‍රියාකාරීත්වයට ද බලපා ඇත. එහි ප‍්‍රතිඵලයක් ලෙස නවීකරණය, සංවර්ධනය ආදී අදහස් පිළිබඳව ප‍්‍රමාණවත් තරම් විවේචනශීලීත්වයක් ලාංකීය විකල්ප දේශපාලනය තුළ මතු වන්නේ කලාතුරකිනි. මාක්ස්වාදයෙන් උකහා ගත හැකි බොහෝ ප‍්‍රයෝජනවත් දේ ප‍්‍රායෝගික ක‍්‍රියාකාරීත්වයට අවශෝෂණය කර ගන්නා අතරම, ඒ පිළිබඳව විවේචනශීලී ආස්ථානයන් ද වර්ධනය කර ගත යුතු බව අපගේ අදහසයි.

 ඒ සඳහා මාක්ස්වාදයේ එන අදහසක් වන ධනේශ්වර විප්ලවය යනු ඉතිහාසයේ අත්‍යාවශ්‍යතාවයක් ය, ඉතිහාසය කිසියම් නිශ්චිත රේඛීය ආකාරයින් ඉදිරියට ඇදෙන්නේ ය යන අදහස පුළුල් ලෙස විවේචනයට ලක් කළ යුතුය. ගෝලීයකරණ-විරෝධී ව්‍යාපාරය සතු වැදගත් ලක්ෂණයක් ලෙස අප දකින්නේ එය යම්තාක් දුරට ඉහත දැක්වූ වාමාංශික විකල්ප දේශපාලන සම්ප‍්‍රදායන් ගේ සීමාවන්ගෙන් ඔබ්බට ගමන් කිරීමයි.

ප‍්‍රබුද්ධත්වයේ උරුමයේ සැගවුනු ඉතිහාසයන්

අපට ගෝලීයකරණ විරෝධී ව්‍යාපාරයෙන් ඉගෙනගත හැකි පාඩම් මෙනවා ද?.

ගෝලීයකරණ-විරෝධී ව්‍යාපාරය විසින් පෙන්වා දෙනු ලබන මූලික කරුණක් නම් වර්තමාණයේ දී රාජ්‍යය තව දුරටත් මහජනතාවට වගකියන ආයතනයක් වනවා වෙනුවට එය ගෝලීය ධනේෂ්වර ආර්ථික අවශ්‍යතාවයන්ට ගැලපෙන ආකාරයට සමාජය කළමණාකරණය කරන ආයතනයක් බවට විපරිනාමය වන බවයි.  මෙනිසා අපට තව දුරටත් රාජ්‍යය ස්වාත්ත ලෙස ජනතා අවශ්‍යතා මූලික කරගත් ප‍්‍රතිපත්ති වෙත ගමන් කරනු ඇතැයි සිතීම උගහට ය.

ඒ වෙනුවට, රජයයන්, මැතිවරණ අපේක්ෂකයන් සමඟ දීර්ඝකාලීන ලෙස කේවල් කළ හැකි සිවිල් සංවිධාන හා ආයතන ව්‍යුහන් රට තුළ නිර්මාණය කර ගැනීමත් එවැනි සමාන අරගලවල නියැලෙන වෙනත් රටවල සංවිධාන සමඟ සහෝදරාත්මක සබඳතා ගොඩ නඟා ගැනීමත් වැදගත් වේ:

 

“සමාජ වෙනස්කම් ඉහලින් ලබා දෙන දෙයක් ලෙස නොසලකා, සමාගම් සහ දේශපාලන ප‍්‍රභූ පන්තීන් සිය න්‍යාය පත‍්‍රයන් ක‍්‍රියාත්මක කිරීම සඳහා ජාතික දේශසීමාවන්ගෙන් ඔබ්බට ගමන් කරන්නා සේම ගෝලීය ආර්ථිකය තුළ සිය අවශ්‍යතා සහ අරමුණු බලපැවැත්වීම සඳහා බිම් මට්ටමේ ජනතාව විසින් ලොව පුරා සිය අරගල එකට සම්බන්ද කරමින් සිටී” (ජෙරමි බ්‍රෙචර් උපුටා දැක්වීම මන්ක් 18).

 

ඉදිරි මැතිවරණය පිළිබඳව සලකා බලන කල අප සිතනුයේ රාජ්‍ය බලය සඳහා තරඟ කරන දේශපාලනික පක්ෂ හෝ නියෝජිතයින් සමඟ උපක‍්‍රමශීලී සම්බන්දයකට යනවා වෙනුවට පැහැදිලි දේශපාලන ප‍්‍රතිපත්තීන් හා අරමුණු මත ක‍්‍රියාත්මක වන සමාජ ක‍්‍රියාකාරීත්වයන් අප මුහුණ දෙන ගැටළු ආශ‍්‍රයෙන් සහ අප ක‍්‍රියාකරන ක්ෂේත‍්‍රයන් ආශ‍්‍රයෙන් නිර්මාණය කර ගත යුතු බවයි. එවිට, අප ජීවත්වන ජන සමාජය, අප රැකියාව කරනු ලබන ස්ථානය, අප එදිනෙදා භාණ්ඩ මිළදී ගන්නා වෙළඳපල, අප අධ්‍යාපනය ලබාගන්නා විශ්ව විද්‍යාලය හෝ පාසැල, අප බෙහෙත් ගන්නා රෝහල, අප ගමන් ගන්නා මාර්ගය සහ අප තොරතුරු ලබාගන්නා මාධ්‍ය සහ අප අවට පරිසරය වැනි නොයෙකුත් කලාපයන් අපගේ අනාගත අරගල භූමීන් වනු ඇත.

මෙලෙස ගොඩනගාගත් සමාජ කි‍්‍රයාකාරිත්වයන් අතර ඇතිවන සංවාදයන් හා සාමූහික අරගලයන් හුදු දේශපාලන උපක‍්‍රමවලට වඩා බෙහෙවින් බලවත් බව අපට ගෝලීයකරණ විරෝධී ව්‍යාපාරයෙන් ඉගෙනගත හැකි තවත් ප‍්‍රධාන පාඩමකි. මේවා හුදු පාර්ශවීය අරගලයන් ලෙස අප නොසිතිය යුතුය. උදාහරණයක් ලෙස, ඉහත සඳහන් කළ ප‍්‍රබුද්ධත්වයේ එක් උරුමයක් වන ප‍්‍රගතිය පිළිබඳ අදහස විසින් ඇති කරන ලද අති විශාල පරිසර විනාශයට එරෙහිව වර්තමානයේ බිහි වී ඇති අරගලය වූ කලි හුදු පරිසර සංරක්ෂණ අරගලයකට වඩා, සිය ගණනක් ප‍්‍රජාවන්ගේ ආර්ථික, දේශපාලනික, සහ සංස්කෘතක පැවැත්ම සහතික කිරීමේ ලා අත්‍යාවශ්‍ය සමාජ අරගලයකි.

මෙවැනි බිම් මට්ටමෙන් ඇතිවන සමාජ ක‍්‍රියාකාරිත්වයක් නිර්මාණයකරගත හැකිවුවහොත් මැතිවරණ ක‍්‍රියාවලිය වෙත පුරවැසියන් ලෙසට අපට බලපෑම් කිරීමේ බලයක් අනාගතයේ දී උදාවනු ඇත.

 

ශ‍්‍රී ලංකාවේ ඇති දරුණු ආහාර ව්‍යාප්තියේ අර්බුදය ගැන සාකච්ඡා නොකරන්නේ නම්, ද්‍රවිඩ ජනතාවගේ ආර්ථික, දේශපාලනික, සහ සංස්කෘතික අයිතිවාසිකම් පිළිබඳ සාකච්ඡාව මගහැර යන්නේනම්, ගෝලීය සමාගම් සහ චීනය වැනි නව ආර්ථික බලවතුන් සමඟ ඇති කරගෙන ඇති ගිවිසුම් පිළිබඳව සාකච්ඡාව ජනාධිපතිවරණයේ කේන්ද්‍රීය සාකච්ඡාව වශයෙන් මතු නොකරන්නේ නම්, දේශීය ව්‍යාපාර සහ සුළු නිෂ්පාදන බිද වැටීම, පොදු සෞඛ්‍ය සහ අධ්‍යාපන සේවා බිද වැටීම, මහා පරිමාණ රැකියා අහිමි වීම් ආදිය පිළිබඳව නිශ්චිත ස්ථාවරයන් වෙත වගකීම් සහගත බැඳීමක් නොමැතිනම් සරත් ෆොන්සේකා මහතා සහ මහින්ද රාජපක්ෂ මහතා අතර සැලකිය යුතු වෙනසක් තිබේ ද?

සමාජ ක‍්‍රියාකාරිකයන්ගේ කාර්යය විය යුත්තේ උපක‍්‍රමයක් ලෙස මින් බලයට ගෙනෙන්නේ කාවද යන්න මතු කිරීම ද? එසේ නැතහොත් මෙම වැදගත් කරුණු නැවතත් කේන්ද්‍රීය දේශපාලනික ප‍්‍රශ්න ලෙස මතු කර ගැනීම ද? මැතිවරණය යනු මැතිවරණ අපේක්ෂකයන් සහ දේශපාලන පක්ෂ සිය වගකීම්සහගතභාවයට බැඳ තැබීම සඳහා පවතින ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අත්‍යවශ්‍ය ව්‍යුහයකි. සිවිල් සංවිධාන සහ ක‍්‍රියාකාරිකයන් පමණක් නොව, පොදුවේ ගත්කල සියලූ දෙනාටම මෙම ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රියාදාමයට සහභාගී වීමේ වගකීමක් සහ අයිතියක් ඇත. කිසියම් මැතිවරණයක දී අපේක්ෂකයන් අතර සැලකිය යුතු තරම් ප‍්‍රතිපත්තිමය වෙනසක් නොපවතින්නේ නම්, සිවිල් ක‍්‍රියාකාරිකයන්ගේ වගකීම වූ කලි එබඳු වෙනසක් ඉල්ලා සිටීම, එ් උදෙසා කේවල් කිරීම නොවේ ද? එ් වෙනුවට තමාට වඩාත් උපක‍්‍රමශීලී ලෙස වාසිසහගත වන අපේක්ෂකයාගේ මැතිවරණ ව්‍යාපාරවල නොනිල ප‍්‍රකාශකයින් වීම  . . . . .?

Works Cited

Hardt, Michael and Antonio Negri. Empire. Cambridge, Massachusetts: Harvard UP, 2000. Print.

Munck, Ronaldo. Globalization and Labor:The New ‘ Great Transformation’. London: Zed Books, 2002. Print.

Wallerstein, Immanuel Geopolitics and Geoculture: Essays on the Changing World System. Studies in Modern Capitalism. Ed. Aymard, Maurice. Cambridge: Cambridge UP, 1991. Print.

ප‍්‍රභා මනුරත්න
බුදධික බන්ඩාර

ඡායාරූප
1- බුද්ධික බන්ඩාර
2- අන්තර්ජාලයෙන්
3- අන්තර්ජාලයෙන්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )