කලාව, දේශපාලනය සහ සමාජය – 2

කලාව, දේශපාලනය සහ සමාජය – 2

අවුෂ්විට්ස්වලින් (1) පසුව ගීත කාව්‍ය නිර්මාණය කිරීම ම්ලේච්ඡුත්වයක්යැයි යන කියමනෙහි දැඩි බව බාල කිරීම මාගේ අරමුණ නොවේ; එය විසින් ප‍්‍රයාපිත සාහිත්‍යය (2) වෙත උත්පේ‍්‍රරණය සපයන්නා වූ ආවේශය නිෂේධනාත්මක ලෙස ඉදිරිපත් කරයි. ”මිනිසුන්ගේ සිරුරු තුළ ඇටකටු බිඳී යනතෙක් පහර දෙන පුද්ගලයන්් වෙසෙන විට ජීවිතයෙහි අර්ථයක් තිබේ ද?” යි සාත්‍රේ ගේ අවමඟුල් නැති මරණ යන නාට්‍යයෙහි එක් චරිතයක් විමසයි. එනම් දැන් කිසිදු මිනිසෙකුට ජීවත් වීමට අයිතියක් තිබේ ද යන ප‍්‍රශ්නයයි; සමාජ ප‍්‍රතිගමනය නිසා ප‍්‍රයාපිත සාහිත්‍යය යන සංකල්පය තුළ බුද්ධිමය ප‍්‍රතිගමනය නෛසර්ගික ලෙස නොපවතින්නේ ද යන ප‍්‍රශ්නයයි. එහෙත් මෙහිදී එන්සෙන්ස්බර්ගර් ගේ පිළිවදන තුළ ද සත්‍යයක් ගැබ්ව ඇත: සාහිත්‍යය විසින් මෙම තීන්දුව ට විරෝධය දැක් විය යුතු ය; එනම් අවුෂ්විට්ස්වලින් පසුව එහි (සාහිත්‍යයෙහි) පැවතීම යනු නරුමවාදයට යටත් නොවීමකි. සාහිත්‍යයෙහි පිහිටුම ම යනු විරුද්ධාභාසයක් මිස හුදෙක් මෙම තත්ත්වයට ප‍්‍රතික‍්‍රියා දක්වන්නේ කෙසේ ද යන ගැටළුව නොවේ. සැබෑ දුඃඛිතභාවයෙහි බහුලත්වය විසින් අමතක කර දැමීම උසුලන්නේ නැත; පැස්කල්ගේ දේවධාර්මික කියමනක් වන ”කෙනෙකු තව දුරටත් නිදා නොගත යුතුය” යන්න අප විසින් ලෞකිකකරණය කළ යුතු ය. එහෙත් හේගල් විසින් ආපත්තිය පිළිබඳ සවිඥනකභාවය යනුවෙන් හැඳින්වූ මෙම දුඃඛිතභාවය විසින් කලාවෙහි පැවැත්ම තහනම් කරන අතරම එහි අනවරත පැවැත්ම ද ඉල්ලා සිටියි. වර්තමානයේ දී, ක්ෂණික පාවාදීමකින් තොරව මෙම දුඃඛිතභාවයට සිය හඬ, අස්වැසීම සොයා ගත හැක්කේ කලාව තුළ පමණකි. අප යුගයෙහි ඉතාම වැදගත් කලාකරුවන් විසින් මෙය තේරුම් ගෙන ඇත. (තියඩෝර් ඇඩෝනෝ “ප‍්‍රයාපිතභාවය”)

නිර්මාණකරණයෙහි සමාජ වගකීම කුමක් ද?

බොහෝ විචාරකයන් විසින් කලාකරුවන්, කලාකාරියන් නිරුත්තර කරමින් අසන ප‍්‍රශ්නයක් නම් “ඔබගේ නිර්මාණකරණයෙහි සමාජ වගකීම කුමක් ද?” යන්නයි. අප මෙම ප‍්‍රශ්නයම කලා විචාරකයන් වෙත යළි ඉදිරිපත් කළ හොත් ලැබෙන පිළිතුර කුමක් විය හැකි ද? කලාකරුවාගේ වගකීම සමාජ ප‍්‍රගමනයට දායක වීම යැයි අප මොහොතකට එකඟ වුවහොත් කලාවිචාරකයාගේ කාර්යභාරය කුමක්ද? කලාකෘතියක් තුළ ගැබ්වන එම සමාජ පණිවිඩය පාඨකයාට පැහැදිලි කර දීම ද? නැතහොත් කලා කෘතියෙහි දේශපාලනික පනිවිඩය පිළිබඳව තීන්දුවක් ප‍්‍රකාශ කිරීමද? එසේ නම්, විචාරයට බඳුන් වීම සඳහා කලා කෘතියක් තුළ එබඳු පණිවිඩයක් ගැබ්විය යුතුවා පමණක් නොව එය සැණකින් තේරුම් ගත නොහැකි හෝ සැඟවුණු, එබැවින් ම විචාරකයකුගේ පැවැත්ම අවශ්‍ය වන කිසියම් ගුණයක් ද තිබිය යුතු ය. විචාරකයාගේ කාර්යය පිළිබඳ මෙම නිර්වචනය විසින් කලාවෙහි සමාජ වගකීම පිළිබඳ ගැටළුවට පිළිතුරක් සපයනවා වෙනුවට කලාකෘතියක් යනු කුමක් ද යන වඩාත් ගැඹුරු, වඩාත් දුෂ්කර ගැටළුව මතු කරයි. එපමණකුදු නොව, කලා විචාරකයා යනු කවුද, ඔහුගේ හෝ ඇයගේ කාර්යභාරය කුමක්ද යන ගැටළුව එය විසින් වක‍්‍ර ලෙස ගම්‍යමාන කරයි. එම නිසා, අප මෙම සංවාදයෙහි මුල් ගැටළුව වන කලාකෘතියකට/කලාකරුවෙකුට සමාජ වගකීමක් තිබේ ය යන විචාරකයාගේ පෙරසිතාගැනීම වඩා පුළුල් ප‍්‍රශ්න කිරීමකට ලක් කරමු.

කලාකෘතියක් තුළ සමාජ යථාර්තය නිරූපනය විය යුතු ය යන අදහසෙහි මුල් ස්වරූපයන් කලාව යනු ස්වභාව ධර්මයෙහි පිළිබිඹුවක් ය යන ඇරිස්ටෝටලියානු අදහස තෙක් දිවෙයි. විශේෂයෙන් ම දහ අටවන සහ දහ නව වන සියවස්වල යුරෝපීය යථාර්තවාදී නවකතා ආකෘතිය ඇසුරින් බිහි වූ අදහසක් නම් යථාර්තවාදී නවකතාව (හෝ නාට්‍යය) විසින් කිසියම් සමාජයක පවතින සැබෑ තත්ත්වයන් හෝ ගැටළු ප‍්‍රතිිරූපණය කරන්නේ ය යන අදහසයි. මෙහිදී සමාජ යථාර්තය යනු කුමක් ද යන ප‍්‍රශ්නය වෙනුවට ප‍්‍රතිරූපණය යනු කුමක් ද යන ප‍්‍රශ්නය මතු කරගැනීම වැදගත් බව අපගේ අදහසයි. කලාකෘතියක් විසින් සමාජ යථාර්තය ප‍්‍රතිරූපණය කරන්නේ කෙසේ ද? එම ප‍්‍රතිරූපණය, වෙනත් ආකාරයේ සමාජ වියමනකින්, උදාහරණයක් ලෙස ඉතිහාසය, සමාජ විද්‍යාත්මක අධ්‍යයන, ආර්ථික විශ්ලේශන, පමණක් නොව පුරාණ කතා, ඇදහිලි විශ්වාස ආදියෙන් වෙනස් වන්නේ කෙසේ ද? එමෙන්ම එ් කුමන ආකාරයෙන් හෝ සමාජ යථාර්තය නිරූපණය කිරීම සහ කලාකරුවාගේ සමාජ වගකීම වශයෙන් හඳුනාගන්නා දෙය අතර ඇති සම්බන්ධය කුමක් ද?

ස්වායත්ත කලාව සහ ප‍්‍රයාපිත කලාව

මෙම ගැටළුව පැහැදිලි කරගැනීම සඳහා ඉහත අප උධෘත කර දැක් වූ තියඩෝර් ඇඩොනෝගේ ලිපියෙහි මූලික අදහස වෙත යොමු වෙමු. ඇඩෝනෝ මෙම ලිපිය තුළ මූලික කලාකෘති වර්ග දෙකක් සාකච්ඡුාවට බඳුන් කරයි. එනම් ස්වායත්ත කලාව සහ ප‍්‍රයාපිත කලාවයි. ප‍්‍රයාපිත කලාව විසින් සමාජ යථාර්තයෙන්ගෙන් සහ දේශපාලනික කැපවීමෙන් තොර වූ කලාකෘති කෙරෙහි විරෝධය පළ කරන්නේ එ්වා විසින් දරනු ලබන ”අදේශපාලනික ලෙස පෙනෙන දේශපාලනය විසින් සැබෑ ගැටළු මඟ හැර යන්නේ ය යන අදහස නිසා” යයි ඇඩෝනෝ පවසයි. එහෙත්, ඔහු තව දුරටත් පවසන්නේ ”ස්වායත්ත කලාවෙහි දෘෂ්ඨි කෝණයෙන් ගත්කල, එසේ කිසියම් දේශපාලනික අර්ථගැන්වීමක් විසින් නිර්ණය කෙරෙන කලාවම වූ කලි ප‍්‍රයාපිත කලාව විසින් අනතුරු හඟවන්නා වූ ආධ්‍යාත්මික විනාශය” නිරූපණය කරන්නක් බවයි. එනයින් ගත් කල, එබඳු කලාව, එය විසින්ම විරෝධය දක්වන්නා වූ කෲරතර පැවැත්ම තුළට අවශෝෂණය වන්නේ යයි ඇඩෝර්නෝ පවසයි. ඔහු මෙය හඳුනාගන්නේ ප‍්‍රතිවාදයක් ලෙස ය:

ප‍්‍රයාපිත කලාව, කලාව වශයෙන් ගත් කල අත්‍යවශ්‍යයෙන්ම යථාර්තයෙන් වෙන්වී, යථාර්තය සහ කලාව අතර දුර අහෝසි කර දමයි. ”කලාව සඳහා කලාව” විසින්, කලාව යථාර්තයෙන් ස්වායත්ත කිරීම සඳහා වන උත්සාහයෙහි විවාදාත්මක ප‍්‍රාග් අනුභූතිය වන, යථාර්තය කෙරෙහි එය දක්වන නොමැකිය හැකි සම්බන්ධය සිය පරම ප‍්‍රකාශයන් හරහා ප‍්‍රතික්ෂේප කරයි. (තියඩෝර් ඇඩෝනෝ ”ප‍්‍රයාපිතභාවය”)

කලාව පිළිබඳ මෙම ප‍්‍රතිවාදය විසින් හඟවන්නේ ප‍්‍රයාපිත කලාව (එය ප‍්‍රචාරණයක් නොව කලා කෘතියක් වන තාක් දුරට ) (3) එය විසින් අපට විශ්වාස කිරීමට බල කරන තරමටම විරෝධාකල්පී නොවන අතර, ස්වායත්ත කලාව, එය විසින් අපට විශ්වාස කිරීමට බල කරන තරමට ම සමාජ යථාර්තයෙන් වියුක්ත නොවන බවයි. ප‍්‍රයාපිත කලාව වඩ වඩා සටන් පාඨමය හෝ උපදේශනාත්මක වන විට එහි කලාත්මක ව්‍යාකරණය හෙජමොනික බල කණ්ඩායම්වලට පහසුවෙන් අවශෝෂණය කර ගත හැකි ය. ඇඩෝර්නෝ විසින් මෙයට සපයන කදිම උදාහරණය නම් බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් ගේ හුණුවටයේ කතාව කිසියයම් බුර්ෂුවා විචාරකයෙකුට පහසුවෙන් මාතෲ පේ‍්‍රමය පිළිබඳ නාට්‍යයක් ලෙස අර්ථ ගැන්විය හැකි බව ය . එවැනි පහසු යළි අර්ථ ගැන්වීමක් තුළ එහි මුල් උපදේශනාත්මක ආධ්‍යාශය යයි සිතිය හැකි ධනවාදය තුළ සම්පත් බෙදී යාමේ විෂමතාවය පිළිබඳ සාකච්ඡුාව මඟ හැරී යනු ඇත. අනෙක් අතින් ඇඩෝනෝ ස්වායත්ත කලා නිර්මාකරුවන් ලෙස හඳුනාගන්නා ෆ‍්‍රාන්ස් කෆ්කා හෝ සැමුවෙල් බෙකට් ගේ නාට්‍යයක් එතරම් පහසු ලෙස අවශෝෂණය කරගත නොහැකි යයි පෙන්වා දෙයි. කලා කෘතියක් ලෙස එය එය කෙරෙහිම දක්වන සම්බන්ධය විසින්, එය පවතින හෙජමොනික ආඛ්‍යානයන් කෙරෙහි ප‍්‍රතිරෝධය දක්වන්නේ යයි ඔහු පෙන්වා දෙයි.

ඇඩෝනෝගේ මෙම අදහස අප ඉදිරිපත් කලේ දැනට පවතින කලා නිර්මාණ කෙරෙහි තවත් අළුත් මිනුම් දණ්ඩක් ඉදිරිපත් කිරීමට නොවේ. පැහැදිලි ලෙසම ඇඩෝනෝ ගේ මෙම අදහස සංවාදයට විවෘත ය (උදාහරණයක් ලෙස ජෝර්ජ් ලූකාෂ් යථාර්තවාදී නව කතාව පිළිබඳව කරන න්‍යායගතකිරීම් බලන්න). එය කලාව පිළිබඳ පරම විග‍්‍රහයේ තැනක පිහිටුවීම අපගේ අරමුණ නොවේ. අපගේ උත්සාහය වූයේ කලාකරුවාගේ සමාජ වගකීම සදාචාරාත්මක නියමයක් වශයෙන් සහ විචාර මිනුම් දණ්ඩක් වශයෙන් භාවිතා කිරීමේදී ඇය වෙත එල්ලවන වාරණාත්මක බලපෑම කෙරෙහි අවධානය යොමු කිරිමයි. අප මෙම ලිපි පෙලෙහි මුල් ලිපියෙන් ද අවධාරණය කළ පරිදි ලාංකීය විචාර කලාව ආයතනගත තේරීම් කි‍්‍රයාවලියෙන් ඔබ්බට ගමන් කිරීම අතිශයින් සාධනීය කාරණයක් ලෙස අපි දකිමු. එ් අතරම නිශ්චිත දේශපාලන පක්ෂවල මත නියෝජනය කරන්නන්, දේශපාලන කණ්ඩායම්වල නිල ප‍්‍රකාශකයන් කලා විචාර ක්ෂේත‍්‍රය තුළ ප‍්‍රධාන මත නිර්මාණය කරන්නන් බවට රූපාන්තරණය වෙනු අපි දුටුවෙමු. මෙය දේශපාලනිකව ගත්කළ නෛසර්ගිකවම නරක දෙයක් නොවේ; සෑම විචාරකයෙකුම දේශපාලනික මතයක් දරයි. දේශපාලනයෙන් වියුක්ත විචාරකයන් සිටීය යන්න අපගේ ප‍්‍රවාදය නොවේ. එ් වෙනුවට අප මතු කිරීමට උත්සාහ කරන ප‍්‍රශ්නය නම්, කලා කෘතියක් විවේචනය කිරීමේ මිණුම් දණ්ඩ එම දේශපාලන මතයම විය හැකි ද යන්නයි? කලාවේ ව්‍යාකරණය පිළිබඳ මිණුම් දණ්ඩ, එම කලා කෘතියෙන් ඔබ්බෙහි පවතින අත්තනෝමතික දේශපාලනික හෝ වෙනත් මතවාදී මිණුම් දණ්ඩක් විය හැකිද යන්නයි. එමෙන්ම අප විවාදයට ලක් කිරීමට උත්සහ දරන්නේ, එබඳු විචාරකයන් සිය පක්ෂ හෝ කණ්ඩායම්වල මතය සිය විචාරක මිණුම් දණ්ඩ ලෙස භාවිතා කරන අතරම, සිය විචාරය තුළ එය අදෘශ්‍යමාන පූර්ව නිගමනයක් ලෙස තැබීමේ ප‍්‍රවණතාවයයි. කලාකෘතියට බාහිර සහ අත්තනෝමතික වන එබඳු මිනුම් දණ්ඩක් දෘෘෂ්ඨිවාදාත්මක ලෙස ස්වභාවිකකරණය වීමට ඉඩ හැරීම වෙනුවට එය විවාදාපන්න, විචාරකයාගේ පැත්තෙන් ගත්කල සබුද්ධික තෝරා ගැනීමක් ලෙස විචාරය තුළ සනිටුහන් වීමේ වැදගත්කම අවධාරණය කිරීම අපගේ අරමුණයි.

කලා විචාරය පිළිබඳ මෙම ප‍්‍රශ්න කිරීම වූ කලි කලා කෘතියට ව්‍යාජ ස්වායත්තතාවයක් ලබා දීමට කෙරෙන උත්සාහයක් වශයෙන් එක්වරම පෙනී යා හැකි ය. වර්තමාන විකල්ප විචාර සම්ප‍්‍රදාය තුළ එම ප‍්‍රශ්න කිරීම ම ”ම්ලේච්ඡුත්වයක්” ලෙස නම් කිරීමට ඇති හැකියාව පිළිබඳව අප හොඳින් ම සවිඥනික වුව ද අප මෙම ප‍්‍රශ්නය සයිබර් අවකාශයේ විචාරක සහෘදයන් වෙත ඉදිරිපත් කරන්නේ මෙබඳු අපහසු ප‍්‍රශ්න කිරීම්වලින් තොරව දේශපාලනික කලාව ගැන බරපතල ප‍්‍රකාශයන් කිරීමට ඇති නොහැකියා ව වෙත අපගේ සාමූහික අවධානය යොමු කිරීමේ වැදගත්කම නිසා ය. එහෙත් ඇඩෝනෝ ම පෙන්වා දෙන ආකාරයේ ප‍්‍රයාපිත කලාවෙහි දරුණු අන්තයන් පිළිබඳ අපමණ උදාහරණ අපට ලාංකීය කලා ක්ෂේත‍්‍රය තුළ සොයා ගත හැකි ය. උදාහරණයක් ලෙස යුද්ධයට පක්ෂ/විපක්ෂ, පන්ති අරගලය කරන/නොකරන, මනෝවිශ්ලේෂණාත්මක/මනෝවිශ්ලේෂණාත්මක නොවන, ස්ත‍්‍රීවාදී/ස්ත‍්‍රීවාදී නොවන ආදී වශයෙන් වන නිර්මාණ වැඩිකල් නොගොස් පක්ෂ, කණ්ඩායම්, රජය, රාජ්‍ය නොවන සංවිධාන ආදියෙහි නිල ප‍්‍රකාශ බවට පත් වූ ආකාරය අපි දුටුවෙමු. එමෙන් ම කලාකරුවාගේ සමාජ වගකීම පිළිබඳ ව කෙරෙන ප‍්‍රශ්න කිරීම් තුළින් කලාකාරිණිය විචාරකයාගේ මිණුම් දඬුවලට අවිචාරාත්මක ලෙස යටත් කිරීමෙන් නිර්මාණකරුවා වෙත එල්ලවන වාරණාත්මක බලපෑම හඳුනාගැනීම ද වැදගත් ය. අවසාන විග‍්‍රයේදී, කලාව දේශපාලනික වන්නේ එය විසින්, පවතින දේශපාලන අදහසක් වරනැගීම නිසා නොව, එය කලා කෘතියක් ලෙස වඩ වඩා පරිසමාප්ත වන විට, පවතින බල ව්‍යුහයන්ගෙන් වියුක්ත වන විට, එය දෘෘෂ්ඨාවාදාමක යදම් කෙරෙහි දක්වන ප‍්‍රතිරෝධය තියුණු වන නිසා ය. එක් අතෙකින් ගත් කල මෙය විරුද්ධාභාසයකි: කලාව වඩ වඩා දේශපාලනික වන්නේ කලා කෘතිය වඩ වඩා කලාත්මක වන විට ය. විචාරකයා වඩ වඩා කලා විචාරිකාවකු වන්නේ කලා කෘතියක් වෙත සදාචාරාත්මක නියමයන් ඉදිරිපත් කරන විට ද? එසේත් නැතහොත් කලා කෘතියම සිය අධ්‍යයන වස්තුව කොට ගෙන එහි ම වූ සංකීර්ණ කලා ව්‍යාකරණය පිළිබඳ විචාරය ම කලා කෘතියක් බවට පත් කරන විට ද? මේ අර්ථයෙන් ගත් කල, විචාරයම කලාවක් නොවන්නේ ද? විචාරිකාව කලාකරුවෙකු නොවන්නේ ද?

ප‍්‍රභා මනුරත්න
බුද්ධික බන්ඩාර

පසු සටහන්
(1) දෙවන ලෝක යුධ සමයෙහි හිට්ලර්ගේ නාසි හමුදව විසින් පවත්වාගන යනු ලැබූ, මිනිසුන් ලක්ෂ ගනනක් ඝාකනය කල, රුදවුම් කදවුරකි.
(2 ) විරොධාකල්පී සාහිත්‍යය හැදින්වීමට යෙදෙන වචනයකි. මෙහි ඉංග‍්‍රීසි අර්ථය කැපවූ යන්නයි. එබැවින් යම් පරමාදර්ශයකට, අදහසකට, පක්ෂයකට, ව්‍යාපාරයකට, යනාදී වශයෙන් කැපවූ යන අර්ථයද හඟවයි.
(3 ) එය කිසියම් බල කණ්ඩායමක ප‍්‍රචාරණයක් නම්, එය නිර්වචනාත්මක ලෙසම කලාකෘතියක් නොවේ. අප මෙහිදී හඳුනා ගැනීමට උත්සහ කරන්නේ කිසියම කෘතියක් තමා තෙ දක්වන සම්බන්ධය කලාත්මක සම්බන්ධයක් ලෙෂ පවතින නිර්මාණ පිළිබඳව ය. උදාහරණයක් ලෙස ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ගීතය තමා වෙතම දක්වන සම්බන්ධය ව්‍යුහගත වී ඇත්තේ පක්ෂයේ දේෂපාලන ව්‍යාකරණයක් පෙස නම්් එය ”කලා කෘතියක්” යයි හැඳින්වීම දුෂ්කර ය. එහෙත්, එම ගීතය එය කෙරෙහිම දක්වන සම්බන්ධය කලාත්මක ලෙස නම් එහි කතුවරයාගෙ ්ආධ්‍යාශය ජනාධිපති සම්මාන දිනා ගැනීම වුව ද එය කලා කෘතියක් ලෙෂ හඳුනා ගැනේ. අපට මෙහිදී දීර්ඝ ලෙෂ සාකච්ඡුා කළ නොහැකි වුව ද මීට හොඳ උදාහරණයක් මහගමසේකර ගේ කාව්‍ය නිර්මාණ තුළ හඳුනා ගතහැකි බව සටහන් කර තැබීමට කැමැත්තෙමු.

ඡුායාරූපය – බුද්ධික බන්ඩාර

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )